Print this Article


පූජාච පූජනියනං

මුංහේනේ මෙත්තාරාම නා හිමි

1961 වර්ෂයේ මැයි මස 17 වන දින කළුතර දිස්ත්‍රික්කයේ මුංහේන නම් ග්‍රාමයේ දී වෙල්ගම ලියනගේ මෙත්තානන්ද නම් කුමරුවා ජන්ම ලාභය ලැබී ය. මුංහේන කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලත් මේ දරුවා 1972 නොවැම්බර් 17 වන දින නවුන්තුඩුවේ සිද්ධත්තාරාමයේ දී දොඩම්ගොඩ සෝරත හිමියන් විසින් පැවිදි දිවියට පත් කරවන ලදී. සාමණේර හිමියෝ “මුංහේනේ මෙත්තාරාම” නම් විය.

මෙත්තාරාම හිමියෝ බත්තරමුල්ල ශ්‍රී ධම්මානන්දාරාමය වෙත කැඳවාගෙන එනු ලැබූහ. 1973 දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූ මෙත්තාරාම හිමියන් 1979 වසර දක්වා යක්කඩුවේ ප්‍රඥාරාම නා හිමියන්ගේ සෙවණෙහි අධ්‍යාපනය ලැබූහ. දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙන 1979 පෑළියගොඩට ගෙනයාමෙන් පසුව මෙත්තාරාම හිමියෝ පන්නිපිටියේ විද්‍යාලංකාර පිරිවෙන වෙත යවනු ලැබූහ. දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යාපනය ලබන කාලයේදී සේරුවිල මංගල රාජ මහා විහාරයෙන් පැමිණි දෙහිවත්තේ චන්ද කිත්ති නම් සමවයසේ භික්ෂූන් වහන්සේ නමක් සමඟ සමීප හිතවත්කමක් ගොඩ නගා ගත් මෙත්තාරාම හිමියෝ 1979 චන්දකිත්ති හිමියන් සමඟ සේරුවිල මංගල රාජ මහා විහාරයට වැඩියහ. එහිදී දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහ නා හිමියෝ, මෙත්තාරාම හිමියන් තම ශිෂ්‍ය භික්ෂුවක ලෙස පිළිගෙන සේරුවිල සරණකිත්ති හිමියන් යටතට පත් කළහ. එතැන් පටන් ඒ හිමියන්ගේ අධ්‍යාපනය පිළිබඳ බරපැන දරණ ලද්දේ දඹගස්ආරේ මහ නා හිමියන් විසිනි. මෙසේ සේරුවිල මංගල රාජ මහා විහාරස්ථ භික්ෂු පරපුරේ පුරුකක් බවට පත් වූ මෙත්තාරාම හිමියෝ එතැන් සිට සිය ආචාර්ය හිමිවරුන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානයේ දියුණුව සඳහා ඉමහත් කැපවීමෙන් කටයුතු කළ අතර ත්‍රස්තවාදි තර්ජන පැවති සමයේ විහාරස්ථානය රැක ගැනීමට දිවි පරදුවට තබා කටයුතු කළ සරණකිත්ති හිමියන්ට මහත් ශක්තියක් විය. 1982 දී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතළත්ව දර්ශනය පිළිබඳ උපාධි පාඨමාලාවක් ද හැදෑරීය.

1987 වර්ෂය වන විට පැවති නොසන්සුන්කාරි තත්වය මත විශ්වවිද්‍යාල වසා දමා තිබූ කාලය තුළ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කාවන්තිස්ස විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් පත්වීමක් ලැබීමෙන් මෙත්තාරාම හිමියන්ගේ ගුරු ජීවිතය ආරම්භ විය. 1990 ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලැබීමෙන් පසුව උන්වහන්සේ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්මපීඨයේ කථිකාචාර්ය තනතුරක් ලැබීය. 2000 රුවන්පුර ජාතික අධ්‍යාපන පීඨයේ ආගමික හා සංස්කෘතික අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළහ.

මෙත්තාරාම හිමියන් ඉසිපතන විද්‍යාලයේ සේවය කළ කාලයේ කොටපළ අමරකිත්ති හිමියන්ට හංවැල්ල සමනබැද්ද ප්‍රදේශයෙන්, ඉඩමක් ලැබී තිබුණේ ය. අමරකිත්ති හිමියෝ එම ඉඩම මෙත්තාරාම හිමියන්ට පැවරූහ. තමන් වහන්සේ එතෙක් නතර වී සිටි කුඩාබුත්ගමුව පියදර්ශනාරාමයෙන් හංවැල්ලට පැමිණ මෙත්තාරාම හිමියන් සමනබැද්දේ සුගත දහම් මැදුර ආරම්භ කළහ. සමනබැද්දට පැමිණීමෙන් පසු එම ප්‍රදේශයේ ජනතාව සඳහා මාසික ධර්මදේශනා පැවැත්වීම නිසා ජනතාව තුළ විශාල ආගමික ප්‍රබෝධයක් ජනිත කිරීමට උන්වහන්සේට හැකිවිය.

සේරුවිල මංගල රාජ මහා විහාරයට නිතර නිතර වැඩම කොට සංවර්ධන කටයුතු සම්බන්ධව සොයා බැලීමටත්, එවකට විහාරාධිපති ධුරය දැරූ සේරුවිල සරණකිත්ති නා හිමියන්ගේ කටයුතුවලට උපකාර කිරීමටත් උත්සුක වූහ. සරණකිත්ති නා හිමියන්ගේ අපවත් වීමෙන් පසු සේරුවිල මංගල රජ මහා විහාරය සහ ලංකා පටුන සමුද්‍රගිරි විහාරයේ විහාරාධිපති ධුරයට උන්වහන්සේ පත් විය.

අධ්‍යාපනය හා ශාසනික සේවයට අමතරව සේරුවිල ප්‍රදේශවාසින්ගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහාද මෙත්තාරාම නා හිමියන්ගෙන් ඉටුවන සේවාව අති විශිෂ්ඨය. නැගෙනහිර පළාතේ දැනට නටබුන් වී ඇති පුරා විද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා උන්වහන්සේ පෙරමුණ ගෙන ඇත. අමරපුර මහා නිකායේ කල්‍යාණවංශික පාර්ශ්වය විසින් උන් වහන්සේ වෙත ප්‍රවචනකීර්ති ශ්‍රී වාගීස්වර යන ගෞරව නාමයෙන් නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරයද පිරිනමා ඇත.

මෙත්තාරාම නාහිමියන්ගේ පැවිදි දිවියට 2018 නොවැම්බර් 17 වන දිනට 46 වසර සපිරිණි. උන්වහන්සේට නිරෝගී සුව හා තිර ජීවනය ප්‍රාර්ථනා කරමින් පින්කම් මාලාවක් පැවැත්විණි.

****

පත්බේරියේ විමලඤාණ නා හිමි

රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝ නායක පත්බේරියේ විමලඤාණ නාහිමියන්ගේ 69 වන ජන්ම දිනය 2018 අගෝස්තු 20 දිනට යෙදී තිබිණි.

රත්නපුර කුරුවිට කෙත්වතුවලින් සරුසාර ගම්මානයක් වූ පත්බේරිය ගම් පියසේ ජයසිංහ මුදියන්සේලාගේ උක්කු බණ්ඩාර නිලමේතුමාට හා මනම්පේරී මුදියන්සේලාගේ පොඩිහාමු මනම්පේරි මැණිකේ දම්පතීන්ට 1949 අගෝස්තු 20 දින ජයසිංහ මුදියන්සේලාගේ පත්මසිරි ජයසිංහ බණ්ඩාර නමින් පුත්රුවනක් ලැබිණි. කුඩාකල පත්බේරිය පිරිමි විදුහලෙන් හා පරකඩුව නාරද මහ විදුහලෙන් ඉගෙනුම ලැබීය. එම කුමරුවා රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක නා හිමියන් හා තලාවිටියේ ප්‍රේමාලෝක නා හිමිවරු වෙතින් කිරුලපන ශ්‍රී පූර්වාරාමයේ දී පත්බේරියේ විමලඤාණ නමින් පැවිදි භූමියට ඇතුළත් විය. සිංහල භාෂා පිළිබඳ දැනුම බේන්දලුවේ ශ්‍රී නන්දාරාමාධිපති මණ්ඩාවල සීලානන්ද නා හිමියන් වෙතින් මූලික බණ දහම් කටයුතු පිළිබඳ දැනුම රද්දැල්ලේ පඤ්ඤාලෝක නා හිමියන් වෙතින් ද ලැබීය. 1962 දී මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වී 1969 දී එහිදී ස්‍යාම රාජත්‍යාගය ද පිළිවෙලින් ප්‍රාචීන, මධ්‍යම, රාජකීය පණ්ඩිත, ප්‍රාරම්භ, මධ්‍යම විභාගවලින් ද මනා ලෙස සමත් විය. 1975 දී කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේදී උපාධිය සමත් වී 1989 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මඟින් ශාස්ත්‍රපති උපාධිය ද සමත් විය.

1977 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ සංස්කෘත භාෂාව පිළිබඳ කථිකාචාර්ය පදවියට පත් වූ නා හිමියන් 1979 සිට උපාධිධාරී උපගුරුවරයෙකු වශයෙන් ගුරු සේවයට එක් වී ප්‍රධාන පිරිවෙන් කිහිපයකම සේවය කළේ ය. 1999 දී පිරිවෙන් පරීක්ෂකවරයෙකු වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට එක් වූ නා හිමියෝ ගාල්ල රත්නපුර දිස්ත්‍රික්කවලට අමතරව තවත් දිස්ත්‍රික් කිහිපයක රාජකාරී වැඩ කටයුතුවල නිරත විය. රත්නපුර දිස්ත්‍රික්කයේ පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා කෘත්‍යාධිකාරී හිමිවරු හා පිරිවෙන් ගුරුවරු දැනුවත් කිරීමට වැඩමුළු පවත්වා පිරිවෙන්වල ඇති අඩුපාඩු සොයාබලා ඒවා නිසි ලෙස සකස් කිරීමට ද නාහිමියෝ මහත් කැපවීමකින් කටයුතු කළහ.

විවිධ සමිති සමාගම් කිහිපයකම නිලතල දරමින් ආගමික මෙන්ම සමාජ සේවාවන් රාශියක් ඉටු කරන නා හිමියන් නිකාය භේදයෙන් තොරව සියලු මහා සංඝරත්නය සමඟ පි‍්‍රය මනාපව කටයුතු කරන අතර සිංහල, මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි ජනතාව සමඟ ද ඉතා සුහදව කටයුතු කිරීමට නා හිමියන් සමත් විය. නා හිමියන් විසින් ඉටු කරන කැපී පෙනෙන ආගමික සේවාවන් අතර තම ගුරු දේවෝත්තම රද්දැලලේ ශ්‍රී පඤ්ඤාලෝක අනු නාහිමියන්ට උපහාර පිණිස පිහිටුවා ඇති ධර්මනිකේතන පිරිවෙන තුළින් දක්ෂ, උගත්, විවිධ භාෂා දැනුමෙන් පරිණත භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සසුනට දායාද කර ඇත.

කිරුලපන ශ්‍රී පූර්වාරාමය ඇතුළු තම විහාර ගණයේ සියලු විහාර මනාලෙස දියුණු කිරීමට ද, සතර පේරුවේ සියලු දායක දායිකාවන්ගේ ආගමික හා සමාජීය කටයුතු නොපිරිහෙලා ඉටු කිරීමට ද සමත් විය. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාව වෙතින් සම්මාන නාමයක් ද සහිතව රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමී ය. හිතවත් පත්බේරියේ විමලඤාණ නාහිමියන් විසින් සම්බුද්ධ ශාසනයේ දියුණුවට හා සමාජ සේවාවන් ඉදිරියටත් ඉටු කිරීමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

****

පානම ශ්‍රී චන්ද්‍රරතන නාහිමි

සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනසාර සරණපාල වෙල්ලස්ස දිගාමඩුලු දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක පානම ශ්‍රී චන්ද්‍රරතන නා හිමියන්ගේ 54 වන ජන්ම දිනය දෙසැම්බර් 04 දිනට යෙදී .තිබිණි..

1964 දෙසැම්බර් 04 දින මෙලොව එළිය දුටු පුණ්‍යවන්ත කුමරා නන්දසිරි නම් විය. මූලික අධ්‍යාපන කටයුතු පානම විදුහලෙන් ලැබූ අතර තම මව්පියන්ගේ අනුමැතියෙන් කොස්සාපොල සරණපාල හිමියන් විසින් 1977 අපේ‍්‍රල් 29 දින පානම චන්ද්‍රරතන නමින් සසුන් ගත විය. පැවිදි ජීවිතයට අදාළ මූලික අධ්‍යාපන කටයුතුවල නිරත වීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමට සමත් විය. ජාතික අධ්‍යාපන ආයතනය මගින් පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හිමිකරගැනීමට හා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළින් ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට ද උන්වහන්සේ සමත් විය.

උපසම්පදා භූමියට 1981 ජුනි 14 දින ඇතුළත් වු නාහිමියන් හට පානම මහ විදුහලේ ආචාර්යවරයෙකු වශයෙන් රජයේ ගුරු සේවයට එක් වීමට අවස්ථාව සැලසිණි. කැප්පෙටිපොළ ශී‍්‍ර සුනන්දාරාම විහාරස්ථානයේ ආගමික හා සමාජසේවා කටයුතුවල නිරතවෙමින් සිටි අවදියේ පානම ප්‍රදේශයේ තම හිතවත් දායක පිරිසක් පැමිණ කරන ලද බලවත් ඉල්ලීමෙන් පානම ශ්‍රී බෝධිරුක්ඛාරාම යේ වස් විසීමට තීරණය කළේය.

එතැන් සිට මේ දක්වාම පානම ශ්‍රී බෝධි රුක්ඛාරාමයේ වැඩ වසමින් පානම් පත්තුවේ ජනතාවට මෙන්ම ලක්වාසී බෞද්ධ ජනතාවට ද ඉමහත් ආගමික හා සමාජසේවා කටයුතු රාශියක් ඉටු කරනු ලබයි.

පැරැණි ගොඩනැගිලිවලින් සමන්විත වූ ශ්‍රී බෝධිරුක්ඛාරාමය වර්ෂ කිහිපයක් ඇතුළත ප්‍රදේශයේ දර්ශනීය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට නන් දෙසින් පැමිණෙන බෞද්ධ ජනතාවට නේවාසික පහසුකම් සලසාදීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීමට ද නා හිමියෝ ක්‍රියා කළහ. ශාස්ත්‍රවෙල මනිනාගපබ්බත රජමහා විහාරය ඇතුළු ප්‍රදේශයේ පිහිටි පැරැණි විහාරස්ථාන කිහිපයක්ම අංග සම්පූර්ණ ලෙස වැඩිදියුණු කිරීමටත් විහාරස්ථාන නොමැති ප්‍රදේශවල අභිනව විහාරස්ථාන කිහිපයක් පිහිටුවීමට ද කටයුතු කළේය.