Print this Article


බෝසත් වෙළෙන්දාගේ තැනට සුදුසු නුවණ

බෝසත් වෙළෙන්දාගේ තැනට සුදුසු නුවණ

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයේ එකල සිටි එක්තරා සොර වෙළෙන්දෙකු මුල්කරගෙන මෙම ජාතක කතාව වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කරන කාලයේ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර වෙළෙඳ කුලයක උපත ලැබූහ. නම් තබන දිනයේ දී එතුමාට පණ්ඩිතයෝ යනුවෙන් නම් තැබූහ. බෝසතාණන් වහන්සේ වැඩිවියට පැමිණි පසු අති පණ්ඩිත නම් වෙනත් වෙළෙන්දෙකු සමඟ එක්ව වෙළඳාම් කළහ.

දිනක් මේ දෙදෙනා එක්ව බරණැස් නුවරින් පන්සියයක් පමණ වූ ගැල්වල බඩු පටවාගෙන ජනපදයන්හි ගොස් වෙළෙඳාම් කර ලාභ ලබා නැවත බරණැස් නුවරට ම පැමිණියහ.

අනතුරුව මොවුන් දෙදෙනා එක්ව වෙළෙඳාමෙන් ලබන ලාභය බෙදා ගැනීමට සූදානම් වූ විට තමාගේ නම ගැන ඉහළින් සතුටු වූ කපටි වෙළෙන්දා පණ්ඩිත වෙළෙන්දා අමතා “ පණ්ඩිතයෙනි, මේ ලාභයෙන් කොටස් දෙකක් මා හට ලැබිය යුත්තේ ය.

“අති පණ්ඩිතයෙනි, ඒ කවර කාරණයක් නිසාද?”

“පණ්ඩිතයෙනි, නුඹ පණ්ඩිතයෝ ය. මම අතිපණ්ඩිත වෙමි. එබැවින් පණ්ඩිතයන් එක කොටසක් ලැබීමට සුදුසු වන්නේ ය. මම අති පණ්ඩිත බැවින් කොටස් දෙකක් ලබන්නට සුදුසු වන්නෙමි.” යි කී ය.

එය ඇසූ බෝසත් පණ්ඩිත වෙළෙන්දා ඔහුගේ බස් පිළි නොගෙන, “අති පණ්ඩිතයෙනි, අප දෙදෙනාගේ බඩු මිලත්, ගැල් සඳහා යොදන ලද ගොනුන් ප්‍රමාණයත් එක සමාන නො වන්නෙහි ද? එසේ වූ කල තොප මේ ලාභයෙන් කොටස් දෙකක් ලබන්නට කාරණාව කුමක්දැ?” යි විමසූහ.

මේ අයුරින් දෙදෙනා අතර විවාදයක් ඇතිවිය. අති පණ්ඩිතයෝ ද තවත් උපක්‍රමයක් කල්පනා කොට තමාගේ පියා කැඳවා ඔහුට උපදෙස් දී ගස් බෙනයක් තුළ ඔහු සඟවා, පණ්ඩිත වෙළෙන්දා සමීපයට ගොස්,

“යහළුව, මට කොටස් දෙකක් ලැබීමට සුදුසු බැව් හෝ නුසුදුසු බැව් මේ වෘක්ෂ දේවතාවා දන්නෙහි ය. එබැවින් අප ගොස් දේවතාවන්ගෙන් විචාරා විනිශ්චය කොට කියන්නක් කරමු” යි පැවසී ය. දෙදෙනා ම වෘක්ෂය සමීපයට ගොස් වෘක්ෂ දේවතාවා අමතා “වෘක්ෂ දේවතාවුන් වහන්ස, මොහු පණ්ඩිත නම් වේ. මම අති පණ්ඩිත නම් වෙමි. අප දෙදෙනා විසින් එක්ව වෙළෙඳාම් කරන ලද්දෙමු. එහි දී අප ලබන ලද ලාභයෙන් කොටස් දෙකක් කවරෙක් විසින් ලැබිය යුතු වන්නේ ද? එක් කොටසක් කවරෙකුට හිමිවිය යුතු වන්නේදැයි පවසනු මැනැව.” කී හ.

වෘක්ෂ දේවතාවගේ තීරණය ඇසූ බෝසත් පණ්ඩිත වෙළෙන්දා මෙහි කිසියම් උපායක් ඇතැයි සැක සිතා” “දැන් තා වෘක්ෂ දේවතාවා වන බවත්, වෘක්ෂ දේවතාවා නො වන බවත් දැන ගන්නෙමි” යි පවසා පිදුරු ගෙන ගස් සිදුර පුරවා ගිනි දැල්වී ය. එවිට ගස් බෙනයෙහි සැඟව සිටි අතිපණ්ඩිත වෙළෙන්දාගේ පියා ගිනි දැල්ලට පිළිස්සී ගස් බෙනයෙන් එළියට පැන ඒ ගසෙහි ම අත්තක එල්ලී දරා ගත නො හැකි වේදනාවෙන් හඬමින්,

“මේ ලෝකයෙහි කරුණු කාරණා දන්නා වූ පණ්ඩිත පුද්ගලයා ම උතුම් වන්නේ ය. නමින් අතිපණ්ඩිත වුවත් වංචා අදහස් ඇති අනුවණ පුද්ගලයාගෙන් යහපතක් නො වන්නේ ය. නුවණ ඇති අවංක සාධාරණ තැනැත්තාගෙන් ම යහපතක් වන්නේ ය. කුමක් නිසා ද යත් වංචා අදහස් ඇති අනුවණ පුද්ගලයාගෙන් යහපතක් නො වන්නේ ය. කුමක් නිසා ද යත් වංචා ස්වභාවය ඇති අති පණ්ඩිතයන්ට පියා වී මාගේ ශරීරයේ අඩක් පිළිස්සී ගියේ ය.” ආදී වශයෙන් බැගෑපත්ව ප්‍රකාශ කළේ ය.

අනතුරුව පණ්ඩිත වෙළෙන්දා සහ අතිපණ්ඩිත වෙළෙන්දා එක්ව වෙළඳාමෙන් ලද ලාභය කොටස් දෙකක් කොට සමව බෙදා ගෙන විසිර ගියහ.

එකල සොර වෙළෙන්ඳා මේ දැන් මේ සොර වෙළෙන්ඳාම ය. නුවණැති වෙළෙන්ඳා නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය.