Print this Article


අටුවා රසකතා: විශාඛ තෙරුන්ගේමෙත් සිත

විශාඛ තෙරුන්ගේමෙත් සිත

‘අටුවා රසකතා’ ලිපි පෙළෙහි අද ඉදිරිපත් කරන්නේ බොහෝ දෙනාට ධර්මය කියා දෙමින් ගණාචාරිව, අවිවේකී ව විසූ මහාසිව තෙරුන් වහන්සේ තම ශිෂ්‍යයෙකු විසින් කරන ලද ධර්ම සංවේගයෙන් රහත් වූ ආකාරය සඳහන් කතාවකි.

මෙය විසුද්ධි මාර්ගයේ සඳහන් සතර බ්‍රහ්ම විහරයන්හි පළමු බ්‍රහ්ම විහරණය වන මෛත්‍රිය විස්තර කිරීම සඳහා යොදාගත් උදාහරණ කතාවකි. එනම් මෛත්‍රියට අමනුෂ්‍යයින් පවා පි‍්‍රය කරන බව පහදා දීමේ යොදාගත් විශාඛ තෙරුන්ගේ කතාවයි. බුද්ධඝෝස හිමියන් මෙම කතාව යොදාගන්නේ මෛත්‍රි භාවනාවේ ආනිශංස එකොළහ අතර එන ‘අමනුස්සානං පියෝ හෝති යන ආනිශංසය විස්තර කිරීම සඳහා ය.

මෛත්‍රි භාවනාවේ ආනිශංස එකොළහකි. එනම් සුවසේ නිදාගැනීම , සුවසේ අවදිවීම, පාපී සිහින නො දැකීම, අමනුෂ්‍යයින්ට පි‍්‍රයවීම, මිනිසුන්ට පි‍්‍රයවීම, දෙවියන් ආරක්ෂාව, සැලසීම, වස විස අවි ආයුධ ආදියෙන් හානි නොවීම වහා සිත සමාධිගතවීම, මුහුණේ පිවිතුරු බව ඇතිවීම, සිහිනුවණින් කළුරිය කිරීම හා රහත්භාවය නො ලැබුවේ නම් නින්දෙන් පිබිදියෙකු මෙන් දිවි කෙළවර බ්‍රහ්ම ලෝකයේ ඉපදීම යන මේවා ය.

අතීතයේ දඹදිව විශාඛ නමින් සිටු පුත්‍රයෙක් වූ අතර ඔහු එකල ලක්දිව පිළිබඳ දඹදිව පුරා පැතුරුණු කීර්ති ඝෝෂාව අසා එනම්, මුළු දිවයින ම සෑ වලින් අලංකාර ය. සෑම ප්‍රදේශයක් ම කසාවතින් බබළයි. ඕනෑම තැනක් වාසය සඳහා යෝග්‍යය. ඍතු ගුණයන්ගෙන් ද සිත්ගන්නා සුළු ය. සෙනසුන් සුලභ ය. ප්‍රත්‍ය පහසුවෙන් යුක්ත ය. ආශ්‍රයට සුදුසු පුද්ගලයෝ බොහෝ ය. ධර්ම ශ්‍රවණය සඳහා බොහෝ අවස්ථා ඇත යනුවෙනි.

මෙසේ සිතූ ඔහු තමා සතු වූ සියලුම ධනය දූ දරුවනට හා ඤාතීන්ට බෙදා දී එක් කහවණුවක් පමණක් ගෙන ලක්දිවට පැමිණීම සඳහා නැව් තොටට පැමිණියේ ය.

නැව පැමිණීමට මසක් පමණ ගතවන බැවින් නැව් තොටේ දී ඔහු අතේ තිබුණු කහවණුවට බඩු මිලදී ගෙන සුළු වෙළඳාමක් ආරම්භ කරන ලදී. පිළිවෙළින් ඔහු තුන් මසක් ඇතුළත කහවනු දහසක් උපදවා ගැනීමට සමත්විය. ඔහු එම කහවණු දහස ද ගෙන නැව් නැගී ලක්දිවට පැමිණ ක්‍රමයෙන් මහා විහාරයට පැමිණියේ ය.

එහි පැමිණි මෙම පුත්‍රයා මහාවිහාරීය භික්ෂූන් වහන්සේ වැඳ පැවිද්ද ඉල්ලා සිටියේ ය. තෙරුන් වහන්සේලා ඔහු පැවිදි කරන සීමාවට කැඳවූහ. එවිට ඔහු ඉණෙහි තිබු මුදල් පොදිය පසෙක තැබුවේය. තෙරුන් වහන්සේලා ඔහුගෙන් ඒ කුමක් දැයි විමසූහ. එවිට ඔහු "ස්වාමීන් වහන්ස, කහවණු දහසෙකැයි" පැවසී ය. පැවිදි වීමෙන් පසු මුදල් පරිහරණයක් නො කළ හැකි බව පැවසු තෙරවරු එම මුදල්වලට කළ යුතු දෙයක් කරන්න යැයි ඔහුට දැන්වූහ. එම අවස්ථාවේ දඹදිව සිටි පැමිණ විශාඛ උපාසක පැවිදි වන්නේයැයි අසා බොහෝ පිරිස එහි රැස්ව සිටියහ. එවිට විශාඛ උපාසක සිතනුයේ මාගේ පැවිදිවීම බැලීම සඳහා පැමිණි පිරිස හිස් අතින් යෑම නුසුදුසුයැයි කැමැති අයෙකුට රැගෙන යන ලෙස එම කහවනු දහස සීමාමාලකයේ විසුරුවා හළේ ය.

ඉන්පසු පැවිදි වී උපසපන් වූ විසාඛ තෙරණුවෝ උභය ප්‍රාතිමෝක්ෂය හදාරා පස් වසරක් ගුරු ඇසුරෙහි වැඩ සිටිමින් එක් විහාරයක සාර මාසය බැගින් ලක්දිව පුරා සංචාරය කළහ. අන්තිමේ දී සිතුල්පව්වට පැමිණ එහි සාරමාසයක් ගතකොට පසුදා උදෑසන එතැනින් පිටත්වීමට සිතාගෙන නින්දට ගියහ.

මේ බව දැනගත් උන්වහන්සේගේ සක්මන කෙළවර මයිල ගසේ සිටි රුක් දෙවියා පියගැටපෙළෙහි සිට අඬන්නට විය. තෙරුන් වහන්සේ මේ රාත්‍රියේ හඬන්නේ කවරෙක්දැයි එළියට පැමිණ විචාළහ. එවිට රුක් දෙවියා "ස්වාමීනි මම කෙළවර මයිල ගසේ සිටින රුක් දෙවියාය යනුවෙන් පැවසී ය. එවිට තෙරුන් වහන්සේ ඔබ හඬන්නේ කුමටදැයි" විමසූහ.

එවිට රුක් දෙවියා පවසන්නේ “ස්වාමීනි ඔබ වහන්සේ මෙහි වැඩ වාසය කරද්දී ඔබ වහන්සේගේ මෛත්‍රී භාවය නිසා අමනුෂ්‍යයෝ ඉතා සාමයෙන් සොම්නසින් විසූහ. ඔබ වහන්සේ මෙතනින් වැඩියහොත් ඔවුනොවුන් පෙර සේ කෝලාහල කරති. අඬදබර කරති. නපුරු වදන් කියති. මේ නිසාය මා හැඬුවේ” යනුවෙන් පැවසී ය.

එවිට උන්වහන්සේ මා මෙහි වැඩසිටීමෙන් ඔබට යහපතක් වන්නේ නම් තව කලක් වැඩසිටිමියි පවසා නතර වූ හ. නැවතත් කලක් ගතවීමෙන් උන් වහන්සේ එම ස්ථානයෙන් බැහැර වැඩමවීමට සිතී ය. පෙර සේ ම, දෙවියා නැවතත් හඬන්නට විය. නැවතත් තෙරුන් වහන්සේ නතර වූ හ. මෙසේ තෙරුන් වහන්සේ කීපවතාවක් ම එම ස්ථානයෙන් වැඩමවීමට සිතූ නමුත් දෙවියාගේ හැඬීම නිසා අපවත් වනතෙක් ම එහි වැඩ සිටියහ.