Print this Article


70 වන සංවත්සරය සමරන අමුණුගොඩ දහම් පා දහම් පාසල

70 වන සංවත්සරය සමරන අමුණුගොඩ දහම් පා දහම් පාසල


ආචාර්ය මණ්ඩලය

සියනෑ කෝරළයේ අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු විහාරස්ථ ‘දහම් පා’ දහම් පාසලට වසර 70 ක් සපිරෙයි.

‘දහම් පා’ දහම් පාසල දිගුකලක් ධර්ම ශාස්ත්‍රීය සේවාවන්හි යෙදෙමින් සම්බුද්ධ ශාසනයට හා සමාජ අභිවර්ධනයට ඉටුකළ මෙහෙය අතිවර්ණිත ය. මෙම අභිමානවත් ගමන් මග අනුස්මරණය කරමින් සමරන ධර්ම ප්‍රාසාද ප්‍රාසාදිනී සංවත්සරික උළෙල සහ ත්‍යාග ප්‍රදානෝත්සවය උඳුවප් මස 9 වන රිවි දින පස්වරු 2.00 සිට 5.00 දක්වා සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක සද්ධර්ම වාගීශ්වරාචාර්ය විනය කීර්ති ශ්‍රී අමුණුගොඩ සෝමානන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද මැද දහම් පාසල් පරිශ්‍රයේ දී පැවැත්වේ.


ගම්පහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක
බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති
පරකන්දෙනියේ ධීරානන්ද හිමි

අමුණුගොඩ රාජමහා විහාරස්ථානය වළගම්බා රජ දවස දක්වා දිවෙන ඉතිහාසයක් ඇති පෞරාණික සහ බලසම්පන්න පුණ්‍ය භූමියකි. ඒ බව දුර දක්නා නුවණින් දුටු හය වන පැරකුම්බා රජු මෙහි ගල් ලෙන තුළ පිළිමයක් තැන්පත් කොට බෝධි රෝපණයක් ද කර ශිලා ලේඛනය කරවීමෙන් විහාරස්ථානයක පෙරමග සනිටුහන් වී ඇත. ඒ අනුව එතැන් සිට තාවකාලික භික්ෂු වාසයක් පැවතුන අතර 1900 වසර පමණ වන විට කොස්සින්නේ සීලානන්ද මහා ස්වාමීන්වහන්සේ ගේ මඟපෙන්වීමෙන් ගුණානන්ද ලොකු හාමුදුරුවෝ මෙහි ස්ථිර වාසයට පැමිණ ඇත. කොස්සින්න රජමහා විහාරයේ සිටි උන්වහන්සේගේ ශිෂ්‍ය ශ්‍රී මේධානන්ද හිමියන්ට විහාරයේ වගකීම පවරා උන්වහන්සේ කොස්සින්න විහාරයට වැඩම කර ඇත.

ගුණ නැණ සපිරි දරු පරපුරක් බිහි කිරීම සඳහා බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණින් 1948 දී මේධානන්ද හිමියන් විසින් ‘පැරකුම් රිවිදින දහම් පාසල’ යන නමින් ආරම්භ කර අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන එන ‘දහම් පා’ දහම් පාසල සියනෑ කෝරළයේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රමණීය භූමියක පිහිටි ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කරනු ලබන උතුම් ධර්ම ප්‍රාසාදයකි. සියනෑ කෝරළයේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයාණන් වහන්සේලා වන අමුණුගොඩ මේධානන්ද හිමි, කුඹුරුගොඩ ධම්මානන්ද හිමි, අමුණුගොඩ සෝමානන්ද හිමි, පරකන්දෙනියේ ධීරානන්ද හිමි, ගෝනවල පියනන්ද යන ස්වාමීන් වහන්සේලා පිළිවෙළින් දහම් පාසලේ ප්‍රධානත්වය ගෙන කටයුතු කර ඇති අතර ගම්පහ ජාත්‍යන්තර සාම මහ පිරිවෙන්හි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති කන්දෙයායේ දේවානන්ද හිමියෝ වර්තමාන දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන් කටයුතු කරති.

වත්මන් විහාරාධිපති අමුණුගොඩ සෝමානන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොට ඇති මහා සංඝරත්නයේ අනුශාසනා හා සදූපදේශ තුළ ක්‍රියාත්මක වන දහම් පාසල ආදර්ශමත් මෙහෙවරක යෙදේ. දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, දරු දැරියන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්, මව්පියන්, ඇතුළු සතර පේරුවේ දායක කාරකාදීන්ගේ සාමූහික ශක්තිය ලබා ගනිමින් මෙම ධර්ම විද්‍යාලය පළාතම බබළවන ආයතනයක් බවට පත් වී තිබීම බොදු සැදැහැතියන් ලැබූ මහඟු දායාදයකි.


සිසු දරුවන්ගෙන් කොටසක්

පන්සියයකට අධික සිසු දරුදැරියන් ප්‍රමාණයක් මෙහෙයවමින් නිස්සරණාධ්‍යාශයෙන් ක්‍රියාකරන ආචාර්ය මණ්ඩලය, දහම්පා ශිෂ්‍ය නායක මණ්ඩලය දහම් පාසලේ අභිවෘද්ධිය සඳහා පුරෝගාමීව ක්‍රියා කිරීම ප්‍රශංසා කටයුතු ය.

දැනුම පමණක් නොව ආකල්ප වර්ධනය තුළින් සුපේශල ශික්ෂාකාමී දරු පරපුරක් බිහිකිරීම උදෙසා දහම් පාසල මගින් කටයුතු රාශියක් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. ඒ අතර දහම්පා උදා විකාශය, වාර්ෂික නිවාසාන්තර තරග, විවාද තරග, දම් සරණිය බැති ගී සරණිය, බෝසත් ශිෂ්‍ය සමිතිය, දහම්පා සූර්ය මංගල්‍යය, ග්‍රාම ප්‍රදක්ෂිණා පෙරහර, රුක් රෝපණ වැඩසටහන්, සීල සමාදාන, ධර්ම දේශනා ආදිය ප්‍රමුඛ වේ.

දහම් පා නාමය මුළු ලංකාව පුරාම විහිදුවමින් සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් මාලාවේ ගම්පහ මණ්ඩලය තුළ අනෙකුත් ධර්ම විද්‍යාලයන්ට ආදර්ශයක් වෙමින් වසර ගණනාවක් අඛණ්ඩව ප්‍රථම ස්ථානයේ රැඳී සිටීමට ‘දහම් පා’ දහම් පාසල සමත්ව ඇත. දහම් දැනුම, ප්‍රායෝගික දැනුම, ගාථා ගායනා, පාලි ගාථා ගායනා, ගද්‍ය රචනා, චිත්‍ර, මව්පිය ගුණ ගී ගායනා, කථික නිපුණතාවය යන තරග ඉසව් ඔස්සේ කැපී පෙනෙන දක්ෂතා දක්වන දහම් පා දූ දරුවෝ මෙවර ද ගම්පහ මණ්ඩලය තුළ ප්‍රථම ස්ථානයට පත්වීම සංවත්සරය සමරන මේ මොහොතේ කැපී පෙනෙන සිදුවීමකි.

කුසලතාවයෙන්, දැනුමෙන් මෙන්ම ගුණයෙන් ද පිරි දරු පරපුරක් සිරි ලක් මවට දායාද කිරීම සඳහා තවත් චිරාත් කාලයක් ‘දහම් පා’ දහම් පාසල් නාමය යෙහෙන් වැජඹේවා යි ප්‍රාර්ථනා කරමු.

 


ප්‍රශංසනීය මෙහෙවරක්

“ධම්ම පීති සුඛං සෙති – විපස්සන්නෙන චෙතසා”

“දහම් රසය වළඳන තැනැත්තා කෙලෙසුන්ගෙන් සුපිරිසුදු සිතින් සුවසේ වසයි.”

සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම වාගීශ්වරාචාර්ය විනය කීර්ති ශ්‍රී අමුණුගොඩ සෝමානන්ද නායක ස්ථවිරයන් වහන්සේගේ විහාරාධිපතිත්වයෙන් හා ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති, හිටපු නියෝජ්‍ය විදුහල්පති විහාරාධිකාරී, ‘දහම් පා’ දහම් පාසලේ අනුශාසක පරකන්දෙනියේ ධීරානන්ද ස්ථවිරයන් වහන්සේගේ කැපවීමෙන් පවත්වාගෙන යනු ලබන අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රාජමහා විහාරස්ථ ‘දහම් පා’ දහම් පාසලේ 70 වන සංවත්සරය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් එවීමට ලැබීම සතුටට කරුණකි.

අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රාජමහා විහාරස්ථානය පෞරාණික විහාරස්ථානයකි. වසර 600 කට වඩා පැරැණි බෝධීන් වහන්සේ නමක් වැඩ සිටින මෙම විහාරස්ථානය සියලු විහාරාංගයන්ගෙන් සමන්විත වූවකි. මෙම විහාරස්ථානය තුළ වර්ෂ 1948 දී ආරම්භ කරන ලද පැරකුම් රිවිදින දහම් පාසල” අද වන විට ‘දහම්පා’ දහම් පාසල යන නමින් ප්‍රකට ව පවතී. ප්‍රදේශයේ දූ දරුවන් නැණ නුවණින් හා යහගුණයෙන් පිරිපුන් අනාගත පරපුරක් වශයෙන් මෙරටට දායාද කිරීමේ අභිලාෂයෙන් ඉටුකරනු ලැබීම කාගේත් ප්‍රසාදයට හේතු වේ.

බුද්ධ දේශනාව මාධ්‍ය කොට පවතින දහම් පාසල් අධ්‍යාපනයේ සුවිශේෂීත්වය නම් දරුවන්ගේ අභ්‍යන්තර හැඩගැස්මට මුල්තැන දීමයි. එය අරමුණු කොට දහම් දැනුම පමණක් නොව ආකල්ප හා කුසලතා වර්ධනය කෙරෙහි මුල්තැන දෙන මෙම දහම් පාසල ගම්පහ ශාසනාරක්ෂක මණ්ඩලය තුළ අනෙකුත් දහම් පාසල්වලට ආදර්ශයක් දෙමින් ප්‍රථම ස්ථානයේ රැඳී සිටීමට සමත්වීම අගය කළ යුතු ය.

දහම් පාසල් අධ්‍යාපනයෙන් ඈත් වෙමින් සිටින වත්මන් දරු පරපුර දහම් පාසල කරා යොමුකරවා, දහම් අධ්‍යාපනය කෙරෙහි අභිප්‍රේරණයක් ඇති කොට ප්‍රදේශයේ දරුවන් තුළ ධර්මඥානය හා ධාර්මික දිවිපැවැත්ම පිළිබඳ අධ්‍යාපනයක් ලබා දීමට කැපවූ මෙහි වැඩසිටි විහාරාධිපතීන්වහන්සේලාට හා ආචාර්ය මණ්ඩලයට පුණ්‍යානුමෝදනා කරන අතර වර්තමාන විහාරාධිපතීන් වහන්සේ හා දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයට ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවායි සුභාශිංසනය කරම්හ.


සැත්තෑ වසරක මාහැඟි මෙහෙවරක්

සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක ගරුතර අමුණුගොඩ සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අධිපතිත්වයෙන් පවතින ශ්‍රී පරාක්‍රමබාහු රාජමහා විහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ ඉතා වටිනා සිද්ධස්ථානයකි. මෙම පුණ්‍ය භූමිය තුළ 1948 වර්ෂයේ දී සිරිපැරකුම් දහම් පාසල නමින් ආරම්භ කළ ‘දහම් පා’ දහම් පාසල මේ වන විට අඛණ්ඩව වසර හැත්තෑවක් ප්‍රදේශයේ බොදු දූ දරුවන් වෙනුවෙන් සිදුකොට ඇති සේවා ප්‍රශංසනීය ය. අධ්‍යාපනයේ මූලික පරමාර්ථය පූර්ණ පෞරුෂ වර්ධනයෙන් යුත් පුරවැසියකු සමාජයට දායාද කිරීමයි. ඒ සඳහා දරුවා තුළ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කළ යුතු ය. අද රටේ පවතින තරගකාරී අධ්‍යාපන ක්‍රියාවලිය දෙස බලනවිට දැනුමෙන් පමණක් දරුවන් පෝෂණය කිරීමට ප්‍රමුඛත්වයක් දී ඇති බව පැහැදිලි ය. දැනුම, ආකල්ප, කුසලතා සංවර්ධනය කොට පූර්ණ පෞරුෂ වර්ධනයෙන් යුත් පුරවැසියකු සමාජයට බිහිකරන ප්‍රධාන ආයතනය ලෙස දහම් පාසල සඳහන් කළ හැකි ය.

වසර හැත්තෑවක් පැමිණි ගමන් මඟ ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යෑමට විහාරාධිපති අමුණුගොඩ සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, පරකන්දෙණියේ ධීරානන්ද ස්ථවිරයන් වහන්සේටත්, විහාරස්ථ සියලුම භික්ෂූන් වහන්සේලාටත්, ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් තෙරුවන් සරණින්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන්, අටමස්ථාන සොළොස්මස්ථානවල ආශීර්වාදයෙන්, දළදා හාමුදුරුවන්ගේ ආශීර්වාදයෙන්, විද්‍යාලංකාර පිරිවෙනේ වැඩසිටින නිර්මල සර්වඥ ධාතූන් වහන්සේගේ මෙන් ම, මුළු ත්‍රිපිටකයම සංගායනා කළ විද්‍යාලංකාර පින්බිමේත් ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනය සැලසේවායි ආශීර්වාද කරන අතර, දහම් පාසලේ දරුවන් රටට ආදරේ ඇති, ජාතියට ආදරේ ඇති, ආගමික ශ්‍රද්ධාව ඇති, අපේකම අගයන යහපත් පුරවැසියන් වේවායි මම ප්‍රර්ථනා කරමි.


ආදර්ශවත් හා අද්විතීය කාර්යභාරයක්

සියනෑ කෝරළයේ, ඉඹුල්ගොඩ, අමුණුගොඩ, කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රාජමහා විහාරස්ථ ‘දහම් පා’ දහම් පාසලට හැත්තෑ වසරක් සපිරීම ප්‍රදේශයේ ධර්මෝන්නතිකාමී බෞද්ධ ජනතාවගේ මෙන්ම අප සියල්ලන්ගේ ද මහත් ප්‍රසාදයට හේතු වේ.

1948 වර්ෂයේ පැරකුම් රිවිදින දහම් පාසල යනුවෙන් ආරම්භ කොට, අනතුරුව 1959 වර්ෂයේ ‘දහම් පා’ යනුවෙන් නම් ලැබ මේ තාක් අඛණ්ඩ වූත්, ප්‍රසංසනීය වූත් ජාතික ආගමික මෙහෙවරක නියැළෙනු පිණිස මෙකී ධර්ම පාඨශාලාවට හැකි වූයේ අමුණුගොඩ මේධානන්ද හිමි, කඹුරුගොඩ ධම්මානන්ද හිමි, අමුණුගොඩ සෝමානන්ද නාහිමි වැනි ධර්ම ඤාණයෙන් ද, පිළිවෙතින් ද සුවිශිෂ්ට මහා සංඝරත්නයේ ආනුභාවයෙනි.

‘දහම් පහය’ හෙවත් ‘ධර්ම ප්‍රාසාදය’ යන නාමය අර්ථවත් කරමින් ‘දහම් පා’ දහම් පාසල, එදා සිට මේ දක්වා ප්‍රදේශයේ සිසු දරු පරපුර දහමින් ශික්ෂිත මිනිස් පිරිසක් බවට පත්කිරීමට ආදර්ශවත් හා අද්විතීය කාර්යභාරයක නියැළී සිටී.

මේ වන විට දහම් පා දහම් පාසල සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයක් විසින් සිසු දරු දැරියන් පන්සියයකට අධික පිරිසක් ආගමාලයෙන් ද, දේශ වාත්සල්‍යයෙන් ද ඔදවත් කරනු පිණිස කැප වෙමින් කරනු ලබන සේවාව උදාර ය. අද මේ දහම් පාසල සිසුන් දහසකට වුව ද ධර්ම අධ්‍යාපනය ලද හැකි තරමින් මානව හා භෞතික සම්පත්වලින් පරිපූර්ණත්වයට පත්ව තිබීම යනු ගරුතර අනුශාසක හා ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේලාගේ ද, අනෙකුත් භික්ෂූන් වහන්සේලාගේ ද, ආචාර්ය මණ්ඩලයේ ද දායක කාරකාදීන්ගේ ද ධෛර්යය, කැපවීම හා අධිෂ්ඨානය ප්‍රකට කරන සාධකයකි. දහම් දැනුම මතු නොව ආකල්ප හා කුසලතා වර්ධනය වෙනුවෙන් ද කැප ව සිටින මේ දහම් තක්සලාව දරු දැරියන්ගේ කථික නිවේදන හා ගායන ආදී හැකියාවන් එළිදැක්වීමට ද මහත් දිරිබල සපයයි. අනෙකුත් ධර්ම විද්‍යාලයන්ට ආදර්ශයක් වෙමින් විශේෂ ජයග්‍රහණ පවා ලබා ඇති ‘දහම් පා’ දරු දැරියෝ දහම් පාසල නමැති සංකල්පයට නව නිර්මාණාත්මක ජීවනයක් ලද මහඟු අවස්ථාවක් මෙහි දී අත්විඳිති.

ඔවුන්ගේ වෙසෙස් කුසලතා එළි දක්වමින් පැවැත්වෙන ‘ධර්ම ප්‍රාසාද ප්‍රසාදිනී’ දහම් පා හැත්තෑ වන අභිනන්දන සංවත්සර උළෙලේ කටයුතු සාර්ථක වේවායි ශුභාශිංසන පළ කරන අතර ‘දහම් පා’ ධර්ම පාඨශාලාව තවත් ශතවර්ෂාධික කාලයක් තිරසරව පවතීවා යි ප්‍රාර්ථනය කරමි.


‘දහම් පා’ දහම් පාසලට දිගාසිරි!

‘දහම් පා’ දහම් පාසල ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් ඉතා දීප්තිමත් දහම් පාසලක් වශයෙන් ප්‍රකටය. මෙයින් වසර හැත්තෑවකට ඉහත දී ආරම්භ කළ මෙම දහම් පාසල මගින් දැයට දායාද කළ ගුණවත් නැණවත් දරු පිරිස අපමණ ය. වත්මන් විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක අමුණුගොඩ සෝමානන්ද නායක ස්වාමීන්වහන්සේ හා ගම්පහ ප්‍රාදේශීය ශාසනා රක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පරකන්දෙනියේ ධීරානන්ද ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් ගම්පහ ජාත්‍යන්තර සාම මහාපිරිවෙන්හි නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති ප්‍රධානාචාර්ය කන්දෙයායේ දේවානන්ද ස්වාමීන්වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කැපවීම මත දහම් පාසල ලබා ඇති දියුණුව ඉතා ප්‍රශංසනීයය. විශේෂයෙන් දහම් පාසලට අවශ්‍ය ප්‍රමාණවත් භෞතික හා මානව සම්පත් සම්පූර්ණ කරගැනීම ලබා ඇති විශාල ජයග්‍රහණයකි.

‘දහම් පා’ දහම් පාසල් දරුවන්ගේ හැකියාවන් ඔප්නැංවීම සඳහාත්, පුරුදු ප්‍රගුණ කරවීම සඳහාත් යොදා ඇති වැඩසටහන් මම අගය කරමි. මේ නිසාම වසර ගණනක් සමස්තලංකා දහම් පාසල් සිසු නිපුණතා වැනි වැඩසටහන්වලින් උසස් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වී ඇත. සැත්තෑ වසර අභිමානනීය සංවත්සරය සමරන මෙම මොහොතේ සදාචාරසම්පන්න, ගුණගරුක, යහපත් දරු පරපුරක් දැයට දායාද කිරීම උදෙසා ‘දහම් පා’ දහම් පාසල ගන්නා අනගි උත්සාහය මම කෘතවේදී ව අගය කරන අතර ඒ සඳහා කාලය, ධනය, ශ්‍රමය පරිත්‍යාග කරමින් කැපවීමෙන් කටයුතු කරන ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ප්‍රධාන සමස්ත ආචාර්ය මණ්ඩලයට මාගේ ප්‍රණාමය පුද කරමි. රටට දැයට සමයට ගුණ නැණින් පිරිපුන් දරු කැලක් බිහි කිරීමට ‘දහම් පා’ දහම් පාසලට මම දිගාසිරි පතමි.!


කටයුතු සාර්ථක වේවා

දහම් පාසලක් පවත්වාගෙන යාමේ මූලික ඉලක්ක සහ අරමුණු අතිශය සාධනීය ලෙස සම්පූර්ණ කරන බෞද්ධ අධ්‍යාපනික ආයතනයක් ලෙස කුඩුමිරිසේ ‘දහම් පා’ දහම් පාසල හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. සෑම වසරක ම ප්‍රාදේශීය, දිස්ත්‍රික් සිසු නිපුණතාවල දී මෙම දහම් පාසලෙහි සිසු දරුවන් ලබා ගන්නා ජයග්‍රහණ නිසා ම බොහෝ අවස්ථාවල සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම්වලදී තබන ජයග්‍රාහී සටහන් නිසා ම ගම්පහ දිස්ත්‍රික්කයට යම් කීර්තියක් ලබාදීමට සමත් වී තිබීම සතුටට හේතුවකි. දැයේ බොදු දරුවන් විශාල පිරිසකට දහම් අධ්‍යාපනය ලබා දෙමින් ඔවුන්ගේ පෞරුෂය වර්ධනයට මෙම දහම් පාසල තුළින් ලබා දෙන ශක්තිය නිරන්තරයෙන් අගය කරන අතර ‘දහම් පා’ දහම් පාසලෙහි සියලු කටයුතු අතිශයින් ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.