UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

තෙල්වත්තේ නන්දතිස්ස නා හිමි

දඩල්ල ශෛලමධ්‍යාරාමාධිපති කොළඹ 08, එෆ්.ආර්. සේනානායක අනුස්මරණ සමාජ සේවා භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පිළියන්දල, විද්‍යාශාන්ති පිරිවෙන් නියෝජ්‍ය පරිවේණාධිපති අමරපුර මූල වංශික මහා නිකායේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී තෙල්වත්තේ නන්දතිස්ස හිමියන් ආදර්ශවත් මහා තෙරනමකි.

ගා/තෙල්වත්ත ධම්මික නිවසේ විසූ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කොට විශ්‍රාම ලැබූ පරලොව සැපත් දේවරාහන්දි සැක්මන් සිල්වා මහතාට දාව නල්ලාහන්දි ලීලාවතී ද සිල්වා මෑණියන්ට උපන් දරුවන් හත්දෙනාගෙන් බාලයා ලෙස 1968. සැප්තැම්බර් 25 දින ජන්ම ලාභය ලැබූ උන්වහන්සේට 2018 සැප්තැම්බර් 25 දිනට පණස් වසරක් සපිරේ. උන්වහන්සේට සෙත්පතා නොවැම්බර් 19 දින සහ 20 දින කඨින පින්කමට සමගාමීව පින්කම් මාලාවක් දඩල්ල ශෛල මධ්‍යාරාමයේදී පැවැත්වීණි.

බලපිටිය වැලිතර අම්බරුක්ඛාරාමාධිපති අමරපුර මූලවංශික නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අහුන්ගල්ලේ විමලනන්දතිස්ස මහා නාහිමියන්ගේද, බලපිටිය ගොරකගොඩ ධම්මිකාරාමාධිපති තත් නිකායේ අනුනායක විනයාචාර්ය අකුරල විමලතිස්ස නාහිමියන්ගේද ශිෂ්‍යයකු ලෙස පැවිදි උපසම්පදාව ලැබූ නාහිමියෝ පනස් වසරක දිවිය තුළ රටටත්, ජාතියටත්, ආගමටත් සුවිශාල සේවයක් සිදු කොට ඇත.

මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරයට අයත් ව එවකට ගරා වැටී තිබූ ගාල්ල දඩල්ල ශ්‍රී ශෛලමධ්‍යාරාමය අද වන විට සියලු විහාරාංගයන්ගෙන් සමන්විත වූ රමණීය විහාරස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට උන්වහන්සේට හැකි විය.

අමරපුර සංඝ සමාගම පිහිටුවා වදාළ මහකරාවේ ශ්‍රී ඥානවිමලතිස්ස නාහිමියන් අනුස්මරණය කරමින් ගමේ දරුවන්ට ද හම් අධ්‍යාපනය ලබාදීම සඳහා ශී‍්‍ර ඥානවිමලතිස්ස නාහිමි නමින් දහම් පාසලක් 1991 ජනවාරි 05 දින ආරම්භ කළහ. ගම්වැසියන්ගේ මරණයකදී පිහිටට අවශ්‍ය සියලු උපකරණ සහිතව එකමුතු අවමංගල්‍යාධාර සමිතියක් පිහිටුවීමට කටයුතු කළ අතර අවමංගල අවස්ථාවකදී උපකාරයක් ලෙස රු. 5000/- ක මුදලක් ලබාදීමට ද කටයුතු යෙදීය.

අවමගුල් ගෙයක් වූ විට ජනතාව වෙනුවෙන් තම පෞද්ගලික මුදලින් උදව් කළහ. ජලවිදුලිය නොමැති පවුල්වලට ඒවා ලබාදීමට ද, ආර්ථික දුෂ්කරතා ඇති දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ද තම පෞද්ගලික වියදම් ලබාදීමෙන් පිළිසරණ වූ හ. ගමට පැමිණීමට තිබූ මාර්ගය සකස් කොට හිටපු ගාලු උප නගරාධිපති බී.එස්. අබේසේකර මහතා සිහිවීම පිණිස එම පාර නම් කොට රජයේ ලියාපදිංචි කිරීමටද කටයුතු කළේ නාහිමියන්ගේ මූලිකත්වයෙනි.

2004 .12.26 දින සුනාමි උවදුරට බිලිවීමට ගිය ජීවිත ගණනාවක් තම අතින් ම බේරාගැනීමට ක්‍රියා කළහ. එතැනින් නොනැවතුන උන්වහන්සේ මාස තුනක් පමණ තම විහාරස්ථානය ඊට කඳවුරක් කොටගෙන අනාථ වු තම දායක කාරකාදීන්ට ඉඳුම් හිටුම් කෑම බීම ලබා දෙමින් පිහිටවූහ. සුජන සංහිත ශී‍්‍ර සේවා පරමේෂ්වර ගෞරව නාමයෙන් පිදුම් ලැබීමට ද එම සිද්ධීන් හේතු විය.

2009 ශාසනික සේවය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අටියෙන් උන්වහන්සේ කටයුතු කළහ. එම අභියෝගාත්මක ගමනේ දී බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරිව වැඩවිසූ බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ආශිර්වාදය දිවි ගමනට විශාල අස්වැසිල්ලක් විය. උන්වහන්සේගේ මග පෙන්වීම පරිදි පිළියන්දල විද්‍යාශාන්ති පිරිවෙන් ආචාර්යවරයෙකු ලෙස අධ්‍යාපන සේවයේ යෙදෙමින් ශාසනික කටයුතුවල යෙදෙන අතරතුර කොළඹ 8, කිතුලවත්තේ එෆ්. ආර්. සේනානායක අනුස්මරණ සමාජ සේවා භික්ෂූ ගිලන් මධ්‍යස්ථානය ගොඩනංවන්නට මුල පිරූහ. එම විහාරස්ථානයේ අද වන විට රෝගී භික්ෂූන් වහන්සේලාට නැවතී නොමිලයේ උපස්ථාන ලබාගැනීමට කාමර කුටි 15 ක් ඉදිකරගෙන යමින් පවතී. එසේම අඩු පහසුකම් ඇති මහල් නිවාසවාසීන්ට හා පැල්පත්වාසින්ට අවමංගල කටයුතු නොමිලයේ ම කරගැනීමට වර්ග අඩි 4000 කින් යුතු ගොඩනැගිල්ලක් ද ඉදිකරමින් පවතී.

නාහිමිපාණන් වහන්සේගේ ශාසනික,ජාතික, ආගමික සේවාව ඇගයීම සඳහා අමරපුර මූල වංශික මහා නිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සංඝ සභාව මගින් කොළඹ මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් ද, ප්‍රවචනලංකාර ශාසනජෝති යන ගෞරව නාමයෙන් ද පිදුම් ලැබූහ.

ජාතික, ආගමික, සාමාජික සේවයක නිරත වන තෙල්වත්තේ නන්දතිස්ස නාහිමියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා.


මාකෙහෙල්වල විමලධම්ම හිමි

මාකෙහෙල්වල විමලධම්ම ස්වාමීන් වහන්සේගේ පැවිදි දිවියට 2018 ඔක්තෝබර් 11 වෙනි දින පණස්වසරක් සම්පූර්ණ විය.

සතර කෝරළ මහ දිසාවේ ගල්බඩ කෝරළයේ මාකෙහෙල්වල ගම් පියසේ දරුවන් දස දෙනෙකුගෙන් යුත් පවුලක හත්වන දරුවා ලෙස උන්වහන්සේ උපත ලැබූහ. දසනායක මුදියන්සේලාගේ විජේරත්න නිලමෙතුමා උන්වහන්සේගේ පියාණන් වූ අතර, මුණසිංහ මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ මෑණියන් විය.

අලව්ව, ඉහළ වළකුඹුර පුරාණ විහාරාධිපතිව වැඩ විසූ මණ්ඩාවෙල ධම්මාරාම හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1968 ඔක්තෝබර් 11 වෙනි දින පැවිදි දිවියට ඇතුළත්වූ මාකෙහෙල්වල විමලධම්ම ස්වාමීන් වහන්සේ හැරමිටිගල ශ්‍රී ශාස්ත්‍රාලංකාර පිරිවෙනින් සහ පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනින් අධ්‍යාපනය ලැබූහ. 1980 ජුනි 22 වෙනි දින මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූ උන්වහන්සේ 1988 දී ගුරු හිමියන් වහන්සේගේ අපවත්වීමෙන් පසු විහාරාධිපතිත්වයට පත්වූහ.

ශාසනික හා සමාජයීය කටයුතු කෙරෙහි ඉමහත් උනන්දුවක් හා කැපවීමක් දක්වන විමලධම්ම ස්වාමීන් වහන්සේ ශ්‍රී ධම්මාරාම දහම් පාසල සහ සිරි පැරකුම් අවමංගල්‍යාධාර හා සුබසාධක සමිතිය ආරම්භ කිරීමෙන් ප්‍රදේශවාසීන්හට සුවිශේෂී සේවයක් ඉටු කරති. උන්වහන්සේ වසර තිහක පමණ කාලයක සිට වෙසක් පොහොය දින සිල් සමාදන්වන සැදැහැවතුනට ‘බුදුසරණ’ පත්‍රය ලබාදෙන අතර අසරණ පවුල් කීපයකට නිවාස ඉදිකර දීමටද කටයුතු කර ඇත.

වසර දහයකට අධික කාලයක සිට අලව්ව දකුණ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි තනතුර සහ අලව්ව රණවිරු සංසදයෛ් අනුශාසක තනතුර දරණ උන්වහන්සේ බඹරගල රජමහා විහාරයේ ශී‍්‍ර ධම්මාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස අවුරුදු විසිනවයක් තිස්සේ කටයුතු කරමින් ධර්මානුකූල පරපුරක් බිහිකිරීමේ උදාර මෙහෙයක නියැළී සිටිති. මාකෙහෙල්වල විමලධම්ම ස්වාමීන් වහන්සේට සිය ශාසනික ගමන් මගෙහි තවත් බොහෝ දුරක් නිදුක් නිරෝගී සුවයෙන් යුතුව වැඩම කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.


රඹුක්වැල්ලේ පඤ්ඤාසාර නා හිමි

මහනුවර දිස්ත්‍රික්කයේ මැදිවක, රඹුක්වැල්ල නම් ගමේ 1937 ඔක්තෝබර් 05 වැනි දින සෙනෙවිරත්න බණ්ඩා නමින් පුත් රුවනක් ජන්ම ලාභය ලැබී ය. වාසල මුදියන්සේලාගේ හීන් බණ්ඩා නිලමේ සහ දිසානායක මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ නම් මව්පියන්ගේ ඇසුරේ හැදී වැඩෙමින්, වයස අවුරුදු 13 දී පැවිදි බිමට පත්වූහ. ඒ 1950 දී පමණ, පිංගල්පොත්ත රජමහා විහාරාධිපතිව වැඩ විසූ උඩතම්මිට ශ්‍රී විමලසාර, ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙනි.

තලගුනේ හංවැල්ල මහා විද්‍යාලයෙන් ගිහි කල අධ්‍යාපනය ඇරඹූ උන්වහන්සේ පැවිදි අධ්‍යාපනය ශාස්ත්‍රාරවින්ද විද්‍යායතනයෙන් ලැබූහ. වැඩිදුර අධ්‍යාපනය සඳහා මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වී ඇත. විද්‍යෝදය පිරිවෙනේදී, දිවයිනේ ප්‍රථමයාට හිමි ස්වර්ණ මුද්‍රිකාවද, වාර්ෂිකව ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට හිමි ස්‍යාමරාජ ත්‍යාගය ද, දිනාගන්නට උන්වහන්සේ සමත් වූහ. අනතුරුව උන් වහන්සේ රාජකීය පණ්ඩිත උපාධිය ද සමත් වූහ. එසේම විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත්හ.

පඤ්ඤාසාර නාහිමියෝ ප්‍රාචීන භාෂා මෙන්ම ඉංගී‍්‍රසි හා දෙමළ භාෂාවන් ද ඉතා හොඳින් ප්‍රගුණ කළහ.උන්වහන්සේ ජීවිත කාලය තුළම විවිධ විෂයන් අධ්‍යයනය කිරීමට රුචියක් දැක්වූහ. එක් වරෙක අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමිපාණන්ගේ මූලිකත්වයෙන් බණ දහම් උගත් ශිෂ්‍ය රත්නයක් වූහ.

ශාස්ත්‍රාරවින්ද, විද්‍යායතන පිරිවෙනේ පරිවේනාධිපති ධුරයට පත්වූහ. පඤ්ඤාසාර නාහිමියන් පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද පිරිවෙන අංග රාශියකින් පරිපූර්ණ කළහ.

ශාස්ත්‍රාරවින්ද ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය, ශාස්ත්‍රාරවින්ද බාහිර උපාධි අංශය, ශාස්ත්‍රාරවින්ද ඉංගී‍්‍රසි මාධ්‍ය පාසල, දේවපාල විද්‍යාලය, පරිගණක අංශය, ඉංගී‍්‍රසි මාධ්‍ය පෙර පාසල, වෘත්තීය පුහුණු ඒකකය, අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය, ආබාධිත දරුවන්ගේ සංවර්ධන පාසල, සංස්කෘතික මධ්‍යස්ථානය

ඉංගී‍්‍රසි භාෂා දැනුම, ගැමි පරිසරයක ජීවත්වන දූ දරුවන්ට ද ලබාදීම උන්වහන්සේගේ අභිලාශයක් විය.

වර්තමානය තුළ ශාස්ත්‍රාරවින්ද පිරිවෙනේ බොදු, කිතුනු, හින්දු, ඉස්ලාම් යන සියලු ආගම්වලට හා ජාතීන්ට අයත් දරු දැරියෝ අධ්‍යාපනය ලබති. විවිධ ආගම්වලට හා ජාතීන්ට අයත් ගුරු මඬුල්ලක් ද එහි සේවය කරති.

2008 දෙසැම්බර් 01 වැනිදා පඤ්ඤාසාර නාහිමියන් අපවත් වී වදාළහ.උන්වහන්සේගේ ශිෂ්‍ය දුනුකේ දෙණියේ කුසලධම්ම හිමියන් විසින් නාහිමියන් කළ මෙහෙවර නොපිරිහෙළා ඉටු කරති.

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 29 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 06.49 ට ලබයි. 30 වන දා සිකුරාදා අපර භාග 04.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 30 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 06 වනදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]