UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මියන්මාරයෙන් ලැබෙන ස්වෙදගොන් ස්තූපයේ අනුරුව

මියන්මාරයෙන් ලැබෙන ස්වෙදගොන් ස්තූපයේ අනුරුව

" බුරුම කලා ශිල්ප රැසක් ම චෛත්‍යයේ ස්ථාපිත කිරීමට බුරුම ශිල්පීන් විසින් කටයුතු කර තිබේ. චෛත්‍යයේ පේසා වළලු 6ක් පමණ ස්ථාපිත ය. බුරුමයේ අතීතයේ සිට පවත්වාගෙන එන විශේෂ ආරක්ෂකයන් බුරුම මුරායුද ගෙන චෛත්‍යය වටේ ම මුර කරමින් සිටී."

සෝණ හා උත්තර තෙරවරුන්ගෙන් බුරුමයට උරුම වූ බුදුදහම එරට සංස්කෘතිය පෝෂණය කළේය. ලංකාවෙන් ද එරටට ගෙන ගිය බුදු දහමින් එය වඩාත් පෝෂණය විය. ලංකාවේ ද බුදු දහමට වරින්වර සිදු වූ අකටයුතුකම් වළක්වා ගැනීමට හා බුදු දහමේ උන්නතිය උදෙසා බුරුම බුදු දහමින් ලද පන්නරය සුළු පටු නොවේ.

අද දක්වා ම ශ්‍රී ලංකාවේ පැවැත ගෙන එන රාමඤ්ඤ නිකායත්, අමරපුර නිකායන් අපට හිමි වූයේ බුරුමයෙනි. වර්තමානයේ මියන්මාරය නමින් හැඳින්වුව ද ලක් වැසියන් බහුතර පිරිසක් තවමත් මියන්මාරය හඳුන්වන්නේ බුරුමය යන නමින්ම ය. අප අද කතා කරන්නට යන්නේ බුරුම දහමින් අපට ලැබෙන්නට යන තවත් අගනා කලා නිර්මාණයක් ගැන යි. බුරුමයේ පමණක් නොව ලෝකයේ ම බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් ස්වේදගොන් චෛත්‍යයේ අනුරුවක් ශ්‍රී ලංකාවේ ද ස්ථාපිත කිරීමට මේ වන විට පියවර ගෙන ඇත.


මුගුණුවෙල අනුරුද්ධ නා හිමි

ඒ අලංකාර කඳු වළල්ලකින් වට වූ නකල්ස් කඳු වැටියේ මධ්‍යයට වන්නට යි. මේ මනරම් චෛත්‍යය ඉදිවන භූමි භාගයට අපි ගියෙමු. නකල්ස් කඳු වැටියෙන් හමා එන සිසිල් සුළං රැල් නිසා එක තැන සිටගෙන සිටීම පවා අපහසු ය. අප ඉදිරියේ දර්ශනය වන්නේ බුරුමය හෙවත් මියන්මාරයේ ස්වේදගොන් චෛත්‍යයැයි ද සිතුණි. ස්වේදගොන් චෛත්‍යයේ සියලු අංගෝපාංගවලින් සමන්විතව ඉදිකෙරෙන ඝණ්ඨාකාර හැඩයෙන් යුත් මේ ස්තූපය ඉදි කෙරෙමින් පවතින්නේ මාතලේ උකුවෙල බලකඩුව පන්සල් තැන්න ප්‍රදේශයේ අනුරුධ අරණේ ය. අනුරුධ අරණාධිපති ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් මුගුණුවෙල අනුරුද්ධ නාහිමියෝ ය. උන්වහන්සේගේ මූලිකත්වයෙන් ඝන්ඨාකාර හැඩයෙන් යුත් මේ චෛත්‍යය ඉදිකෙරෙන්නේ මෙරට ප්‍රථමවරට ඉදිකෙරෙන බුරුම සම්ප්‍රදායයේ චෛත්‍යය ලෙස යි. එම චෛත්‍යය ෂඩස්‍රාකාරය. බුදුරජාණන් වහන්සේ විසින් ලබා දුන් කේශ ධාතු නිධන් කර ලංකාවේ ගිරිහඬු සෑය ඉදිකළ බව සඳහන් වූවත්, එම කේශ ධාතු නිධන් කර බුරුමයේ ස්වේදගොන් චෛත්‍යය ඉදිකළ බවට බුරුම ඉතිහාසයේ සඳහන් වේ. බුරුමයේ පරම පූජනීය ස්ථානය වන ස්වේදගොන් චෛත්‍යයේ අනුරුවක් ලංකාවේ ඉදිකිරීම බෞද්ධයන් ලත් සැබෑ භාග්‍යයකි.

අනුරුද්ධ නා හිමියන්ගේ උපදේශකත්වයෙන් සිදු කෙරෙන අනුරුධ අරණේ ඉදිවන බුරුම සම්ප්‍රදායයේ ප්‍රථම චෛත්‍යය ඉදිකිරීමට මියැන්මාරයේ යොන්ගොව් හි අවුන්ෂාබු ටාව්යා විහාරයේ මහා සද්ධම්ම ජෝතික ධජ පන්ඩවොන්න සියදෝ හිමියන්ගේ දායකත්වය හිමිව ඇත. මෙම චෛත්‍යය ඉදිකිරීම සඳහා බුරුම ශිල්පීන් 6 දෙනෙකුගේ සහාය ලැබී තිබේ. නකල්ස් කඳු වැටියට මැදිව දිස්වන උකුවෙල, බලකඩුව පන්සලතැන්න පිහිටි අනුරුධ අරණෙහි නිම වෙමින් පවතින මේ සෑය බුරුම ලංකා බෞද්ධ මිත්‍රත්වය පිළිබිඹු කෙරෙන්නකි. ‘බුරුම ලංකා මව්පිය සෑය’ නමින් හඳුන්වා ඇති මේ චෛත්‍යය ඉදිවෙමින් පවතින බිම නිසංසල ය. කලබලකාරීත්වයෙන් තොර ය. මේ චෛත්‍යය නමේ අරුතට ම ගැළපෙන අරණකි. පරිවාර චෛත්‍යය 6 කින් සමන්විත චෛත්‍යය වඩා උස් නොවූවත් එහි ගාම්භීරත්වය කියා පායි. ෂඩාස්‍රාකාරව ඉදිව ඇති නිසා එය වන්දනා මාන කිරීමද ඉතා පහසු ය.

බුරුම කලා ශිල්ප රැසක්ම චෛත්‍යයේ ස්ථාපිත කිරීමට බුරුම ශිල්පීන් විසින් කටයුතු කර තිබේ. චෛත්‍යයේ පේසා වළලු 6ක් පමණ ස්ථාපිත ය. බුරුමයේ අතීතයේ සිට පවත්වාගෙන එන විශේෂ ආරක්ෂකයන් බුරුම මුරායුද ගෙන චෛත්‍යය වටේ ම මුර කරමින් සිටී. චෛත්‍යය ඉදිරිපිටින් ඇති කුටියේ සැකසූ මලසුන් ගෙවල් ද චෛත්‍යයේ මෙන් අලංකර කැටයමින් යුක්ත ය. ඒවායේ වහළ ඉහළට යන්නට සිහින්වන ආකාරයේ කැටයම්වලින් යුක්ත ය.

කැටයම් සංකීර්ණ බවක් පෙන්නුම් කළ ද පැයක් දෙකක් වුව ද එදෙස බලා සිටින්නට හැකි ය. ඒ සංකීර්ණ කැටයම් එකින් එක එවිට අවබෝධ කරගත හැකි ය. අපට නුහුරු මේ චෛත්‍යය සම්ප්‍රදාය අපට හුරු බව හඟවන්නේ ඊට ඉහළින් බෝධීන් වහන්සේත් ඊට පහළින් පිළිම රැසක් ද ඉදිකර ඇති නිසා ය.

චෛත්‍යයට ඇතුළු වන භූමියේ ඉදිකළ කුලුණේ ඉහළින් ම සිටින්නේ භේරුණ්ඩ පක්ෂියා ය. කුලුණේ මුරට කුලුණ පාමුල මුර දේවතාවුන් සිව්දෙනෙක් සිවු දෙස බලා සිටිති. කොත පැළඳ නොමැති මේ චෛත්‍යය ලබන වසරේ කොත් පළඳා මාර්තු මස විවෘත කිරීමට කටයුතු යොදන බව මුගුණුවෙල අනුරුද්ධ හිමියෝ පවසති.

‘ලංකාවට වඩා බුරුමයේ ආර්ථික ශක්තිය අඩු යි. එසේ වුවත් බුරුම ජාතිකයන් අපට මේ චෛත්‍යය ඉදිකර දෙන්නට කටයුතු කළා. එය අප ලද දායාදයක් බව කිව යුතු යි. අවුරුදු සිය ගණනක ඉතිහාසයක් බුරුමය හා ලංකාව අතර තිබෙනවා. ථෙරවාදී බෞද්ධ රටවල් දෙකක් ලෙස මේ සබැඳියාව ඉතාම වැදගත් වන්නේ ලංකාවෙත් බුරුමයට ගිය භික්ෂූන් වහන්සේ එරට ඇරැඹූ ‘සිහළ සංඝ නිකායන්’ අදත් බුරුමයේ තිබෙන නිස යි. අනුරුද්ධ හිමියන් දරන්නේ එවැනි අදහසකි.

ලබන වසරේ සිට අපට වන්දනා මාන කරන්නට ලැබෙන මාතලේ, උකුවෙල, බලකඩුව පිහිටි මේ බුරුම ලංකා මව්පිය ගුණ සෑය අතීත බුරුම, ලංකා ඉතිහාසය සිහි ගන්වනවාට වඩා අනාගත පරපුරට මහත් වූ දායාදයක් බව කිව යුතු ය. බුදු දහම ලොව පුරා පැතිර යමින් පවතින මෙවන් වකවානුවක මේ සුසංයෝගය ඉතාම වැදගත්ව ඇත්තේ බුදු දහමට විවිධ වූ තර්ජන පවා එල්ල වෙමින් පවතින අවදියක ය.

බොහෝ ආර්ථික අංශ අතින් ලංකාවට වඩා ඉදිරියෙන් නො සිටියත් ලක් බුදුදහමේ දියුණුවට ඉදිරියේ දී අපට අත හිත ලබා දීමට එරට බෞද්ධ භික්ෂූන් වහන්සේ සූදානම්ව සිටිති. මේ මව්පිය ගුණ සෑය එහි එක් පියවරක් පමණි.

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 29 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 06.49 ට ලබයි. 30 වන දා සිකුරාදා අපර භාග 04.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 30 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 06 වනදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]