Print this Article


මහා මංගල සූත්‍රය - 1: සතහට සෙත පිණිස දෙවියන් ඇසූ ප්‍රශ්න

සුත්ත නිපාතයෙන් ...

මහා මංගල සූත්‍රය - 1:

සතහට සෙත පිණිස දෙවියන් ඇසූ ප්‍රශ්න

සුත්ත නිපාතයේ චූළ වර්ගයේ හතරවෙනි දේශනාවක් වන මහා මංගල සූත්‍ර දේශනාව සක් දෙවිඳුගේ මඟ පෙන්වීමෙන් එක්තරා දිව්‍ය පුත්‍රයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ දේශනාවකි.

මෙම දේශනාවට හේතුවූයේ මංගල කරුණු මොනවාද යන්නයි. මංගල කරුණු මොනවාදැයි කියා වසර දොළොසක් පුරාවට දෙව්මිනිසුන් අතර ඇති වූ සංවාදය හෙවත් මංගල කෝලාහලය යි. එකල දඹදිව මහජනයා අතර දකින දේ යහපත් වේ ද? අසන ලද දේ යහපත් වේ ද? පහස ලද දේ යහපත් වේ ද? කවරෙක් යහපත දකිත් ද? කියා යහපත් දේ හෙවත් මංගල කරුණු ගැන කතාබහක් ඇතිවුණා. එහි දී ඇතැම් කෙනෙක් දිට්ඨමංගලික අදහසේ පිහිටා “ මම මංගල යැයි කියන දේ දනිමි. ලොව යහපත වන්නේ දුටු දෙයිනි. ඉතා උතුම් යැයි සම්මත රූප දැකීම යහපත් වෙයි. උදෑසන ම අලංකාර පක්ෂීන් දැකීම, ගෙඩි පිරුණු බෙලි ගසක් දැකීම, අලංකාරව සැරසුණු රජ කුමාරවරුන් හෝ ආජානීය අශ්වයෙක් හෝ පුෂ්ටිමත් ගවයෙකු හෝ ගැබිනියක් හෝ පුන්කළසක් හෝ මෙවැනි උතුම් යැයි සම්මත දේ දැකීම උතුම් මංගල කරුණකැයි පැවසූහ.

එම අදහස් ඇතැම් අය පිළිගත් අතර, ඇතැම් අය පිළි නො ගෙන වාද විවාද කළහ. සුතමංගලික දෘෂ්ඨිගත් අය “ලොව යහපත් වන්නේ අසන දෙය යි. එනම් උසස් යැයි සම්මත ආශීර්වාදාත්මක හඬයි. උදෑසනම දියුණු වේවා, බලාපොරොත්තු ඉටුවේවා, සතුටු සිත් ඇතිවේවා, අද දවස හොඳය, නැකත හොඳය, ආදී ඉතා යහපත් යැයි සම්මත දේ අසන්නට ලැබීම මඟුල් කරුණුයැයි පැවසූහ.

ඒ මතය ද ඇතැම්හු පිළිගත්හ. ඇතැම්හු නො පිළිගෙන වාද විවාද කළහ. මුතමංගලික මතධාරි පිරිස් පහස ලද දේ, විඳින ලද දේ, යහපත් ය, උසස් ය. එනම්, උසස් යැයි සම්මත සුවඳ රස, පහස විඳීම යි. උදෑසනම මල් සුවඳ විඳින්නේ නම්, ගිතෙල් මුසු කිරිබත් කන්නේනම්, සුවඳ මැටි තවරා ගන්නේනම්, ඒවා උතුම් මඟුල් කරුණු යැයි පැවසූහ. ඒ මතද ඇතැම් අය පිළිගෙන, ඇතැම් අය පිළි නො ගෙන එකිනෙකා සමඟ වාද විවාද කළහ. දඹදිවවාසී මිනිසුන්ගෙන් පටන්ගත් මෙම සංවාදය සෑම තැනටම පැතිරීගොස් දෙව්ලොව වෙතද පැතිරිණි. මෙසේ මංගල කරුණු පිළිබඳ දෙවියන් ද, මිනිසුන් ද කතා කළ ද, විමසුව ද එකඟතාවකට පත්නොවී දොළොස් වසරක් ගතවි ය.

එවිට තව්තිසාවැසි දෙවිවරු දෙ දෙව්ලොවට අධිපති සක් දෙවිඳුගෙන් මේ ගැන විමසා සිටියහ. එවිට සක්දෙව් යහපත ගැන පරිපූර්ණ වශයෙන් දන්නා භාග්‍යවතුන් වහන්සේගෙන් අප මේ ගැන විමසූවේනම්, දහම් කරුණු අසන්නට ලැබෙන්නේ යැයි කියා එක්තරා දේවපුත්‍රයෙකුට එය විමසීම භාර කළේ ය.

උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනිඳුනි. . .

ඒ දෙව්පුත්‍ර දිව්‍යාභරණවලින් සැරසී විදුලියක් මෙන් බබළමින්, දේව පිරිස පිරිවරා ජේතවනාරාමයට පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිට මෙම ගාථාව පැවසූවේ ය.

බහූදේවා මනුස්සා ච – මංගලානි අචින්තයුං
ආකංබමානා සොත්ථානං - බ්‍රෑහි මංගල මුත්තමං

දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ සියල්ල ගැන දන්නා සර්වඥතා ඤාණයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ සැබෑ මංගල කරුණු පෙන්වා දෙමින් මෙසේ මංගල සූත්‍ර දේශනාව ආරම්භ කළ සේක.

අසේවනා ච බාලානං - පණ්ඩිතානං ච සේවනා
පූජාච පූජනීයානං - ඒතං මංගල මුත්තමං

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන පළවෙනි මංගල කාරණාව බාලයන් ඇසුරු නො කිරීම යි. (අසේවනා ච බාලානං) මෙහි දී බාල කියා කියන්නේ පින - පව හඳුනන්නේ නැති, කුසල් - අකුසල් ගැන දන්නේ නැති, අසත්පුරුෂයාට යි. එවැනි බාලයෙකු යහපත, අයහපත කළයුත්ත - නො කළ යුත්ත, හඳුනන්නේ නැහැ. ඔහු කාය දුශ්චරිතයෙන්, වචී දුශ්චරිතයෙන්, මනෝ දුශ්චරිතයෙන් යුක්ත යි. එවැනි අසත්පුරුෂ බාලයන් ඇසුරු නො කිරීම පළවෙනි මංගල කාරණය වන අතර අසත්පුරුෂ ග්‍රහණයකට හසුවුණොත් සියලු ම මංගල කරුණු අහිමි වී යනවා. දෙවෙනි මංගල කාරණය පණ්ඩිතයන් ඇසුරු කිරීම (පණ්ඩිතානං ච සේවනා) පණ්ඩිත කියා කියන්නේ සත්පුරුෂයන්ට, කල්‍යාණ මිත්‍රයන්ට, නුවණැත්තන්ට යි. ශ්‍රී සද්ධර්මය තුළ භාග්‍යවතුන් වහන්සේ, රහතන් වහන්සේලාටත්, මගඵලලාභි ආර්ය ශ්‍රාවකයන්ටත් පණ්ඩිත කියා භාවිත කර තිබෙනවා. එවන් සත්පුරුෂයන් ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන ධර්මයන්ගෙන් සමන්විත යි.

එම සත්පුරුෂ ඇසුර සියලු යහපත උදා කරදෙන උතුම්ම මඟුල් කරුණක්. වරක් භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන්ට දේශනාකොට වදාළේ සම්පූර්ණ බුද්ධ ශාසනයම රැඳී ඇත්තේ කල්‍යාණ මිත්‍රයන් මත බව යි. ඒ වගේම ‘පූජා ච පූජනීයානං’ කියන්නේ පිදිය යුත්තන් පිදීම යි. පිදිය යුත්තන්ගෙන් අග්‍රවන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ යි. ඒ වගේ ම පසේ බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ, පිදිය යුත්තන් අතර ඉහළින් ම වැඩ සිටිනවා. ඒ වගේ ම මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝ රත්නය, සීලාදී ගුණධර්ම දියුණු කරන ශ්‍රාවකයන් වහන්සේලා පුද සත්කාරයට සුදුුසු යි. භාග්‍යවතුන් වහන්සේගේ, රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා, උතුම් සෑ රජාණන් වහන්සේලා, බෝධීන් වහන්සේලා ආදී පූජනීය වස්තුන් ද පුුද සත්කාරයට ඉතාම සුදුසු යි. අග්‍ර වූ පින් රැස්වෙනවා. එමනිසා පිදිය යුත්තන් පිදීමත්, උතුම් මංගල කාරණාවක් බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා.

යහපත් තැනක විසුම ද උතුම් මංගල කරුණකි. . .

ඊළඟ මංගල කාරණය ‘පතිරූපදේසවාසෝ ච’ කියන සුදුසු පෙදෙසක වාසය කිරීම යි. සුදුසු ප්‍රදේශය යනු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසෙන තැන යි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටින ප්‍රදේශය යි. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා, බෝධින් වහන්සේලා වැඩ සිටින ප්‍රදේශය යි. ලංකාදීපය වුණත් සුදුසු ප්‍රදේශයක් බවට පත්වුණේ මිහිඳු මහරහතන් වහන්සේ නමැති පරම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ සේවනය කරන්න ලැබුණු නිසාම යි. ඒ හේතුවෙන් පිදිය යුත්තන් පුදන්න ලැබුණා. ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම කළා. ධාතූන් වහන්සේ වැඩමවා ස්තූප නිර්මාණය කළා. ධර්මද්වීපයක් බවට පත්වී මේ රට පතිරූප දේශවාසයක් බිහිවුණා. පතිරූපදේශවාසයේ දී ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න, පින් රැස් කරන්න, කුසල් වඩන්න අවස්ථාව සැලසෙනවා. ඒ සියලු යහපත් කරුණු අපේ ජීවිතවලට උදාකර දෙන්නේ පුබ්බේ ච කත පුඤ්ඤතා කියන පෙර කළ පින් තිබීම නම් වූ මංගල කාරණයෙන්. එම නිසා නිධිකණ්ඩ කියන සූත්‍ර දේශනාවේ දී කල්‍යාණ මිත්‍ර ඇසුරත්, ධර්ම ශ්‍රවණයත් ලැබී සීල, සමාධි, ප්‍රඥා වඩන්නට, මගඵල නිවන් සාක්ෂාත් කරන්නට, උපකාරි වන්නේ රැස්කළ පුණ්‍ය නිධානය බවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

තමා යහමග යාම උතුම් මංගල කරුණකි

පතිරූප දේසවාසය තුළ පෙර කළ පින් තිබෙන කෙනාට මනාකොට ධර්මයට එන්න පුළුවන්කම තිබෙනවා. ඔහු තම දිවිමග යහපත් කර ගන්නවා. තමා මනාකොට ධර්මයේ පිහිටුවා ගන්නවා. (අත්ත සම්මා පණිධි) ඊළඟ ගාථාවේ දී භාග්‍යවතුන් වහන්සේ උතුම් මංගල කාරණා හතරක් දේශනා කොට වදාළා. ඒ තමයි බොහෝ දැන උගත් බව සහ නොයෙකුත් ශිල්ප දත්බව (බාහුසච්චං ච සිප්පංච) විනයකින් යුතු බව, මනාකොට හික්මුණ බව (විනයෝ ච සුසික්ඛිතෝ) සුභාසිත වචන කතාකිරීම (සුභාසිතා ච යා වාචා) කියන දුර්ලභ මංගල කරුණ. මෙවැනි යහපත් දේ ගැන යමෙකුට බොහෝ දැන උගත් බවක් තිබෙනවා නම්, එය මංගල කාරණයක්.

එමෙන් ම තථාගත ශ්‍රී සද්ධර්මය මනාව ඉගෙන ගත්තොත් එය උතුම් මංගල කරුණක් වන්නේ මෙලොව - පරලොව දෙලොව ම සුවපත් කරන නිස යි. නොයෙක් ශිල්ප දත් බව හෙවත් ශිල්පීය ඤාණය හොඳින් ඇතිකරගත් විට ලෞකික වශයෙන් දියුණුව කරා යන්නත් පුළුවනි. තම ශිල්පීය ඤාණය යොදාගෙන බොහෝ පින් රැස්කර ගන්නටත් පුළුවනි. මනාකොට විනයකින් හික්මීම පුද්ගල චරිත සංවර්ධනයටත්, යහපත් සමාජයක් නිර්මාණය වීමටත්, අත්‍යවශ්‍ය සාධකයක්. කයත්, වචනයත් ඇවතුම් පැවතුම් මනාකොට හික්මවාගෙන විනයානුකූල පුද්ගලයෙකුවීම උතුම් මගුල් කාරණයක්. ඔහුගේ වචනය තුළ බොරුව, කේළම, පරුෂ වචන, හිස් වචන නැහැ. සත්‍යවාදී වචන ඇති සමගියට අනුබල දෙන, පි‍්‍රයමනාප, අර්ථවත් වචන කතාකරන්නෙකු බවට පත්වෙනවා. දස කතාවේ යෙදෙන, ධර්ම- විනය කතා කරන, අර්ථවත් දෙයක් සුදුසු අවස්ථාවේ දී කතා කරන චරිතයක් බිහිවෙනවා. ඒ සුභාෂිත වචන ඇති බව (සුභාසිතා ච යා වාචා) උතුම් ම මංගල කාරණයක් බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.