Print this Article


තෙවළා බුදු වදන් අතරින් 13 : ආඝාතය නැති කරගන්නේ කෙසේද?

තෙවළා බුදු වදන් අතරින් 13 :

ආඝාතය නැති කරගන්නේ කෙසේද?

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි භික්ෂූන් ඇමතූ දම්සෙනෙවි සැරියුත් මහා රහතන් වහන්සේ, යමෙකුට උපන් බද්ධ වෛරය සර්වප්‍රකාරයෙන් ම දුරු කළ හැකි කරුණු පහක් පැහැදිලි කළ බව අංගුත්තර නිකායේ දුතිය ආඝාත පටිවිනය සූත්‍රයේ සඳහන් වේ.

ඒ අනුව, (1) ඇතැම් පුද්ගලයෙකුගේ අපිරිසුදු කාය සමාචාර ඇති නමුත්, ඔහුගේ පිරිසුදු වාග් සමාචාරය සලකා ආඝාතය දුරු කළ යුතුය. (2) ඇතමෙකුට අපිරිසුදු වාග් සමාචාරය ඇති මුත් පිරිසුදු කාය සමාචාරය ගැන සලකා ඔහු කෙරෙහි වන ආඝාතය දුරුකළ යුතුවේ. (3) ඇතැමෙකුට අපිරිසුදු කායික හා වාචසික සමාචාර ඇතිමුත්, කලින් කලට සිත පිරිසුදු කෙරෙන යහපත් ආකල්ප ඇති වීමට අවකාශ ඇතැයි සලකා ඔහු කෙරෙහි වන ආඝාතය දුරු කළ යුතුවේ. (4) ඇතමෙකුට අපිරිසුදු කායික හා වාචසික සමාචාර මෙන්ම කලින් කලට සිත පිරිසුදු කෙරෙන යහපත් සිතක් ඇති නොවේ. එබඳු තැනැත්තා ගැන සානුකම්පිත වී ඔහු කෙරෙහි වන ආඝාතය දුරුකළ යුතුවේ. (5) ඇතැම් අයෙකු නිවැරැදි කායික හා වාචසික සමාචාරයන්ගෙන් මෙන්ම චිත්ත පාරිශූද්ධත්වය පිණිස හේතුවන පිරිසුදු ආකල්පවලින් යුක්ත නම්, ඔහු කෙරෙහි ද වන ආඝාතය දුරු කොට ප්‍රසාදය ඇතිකර ගත යුතුවේ.

ආඝාත පටිවිනය සුත්‍රයෙන් පැහැදිලි කෙරෙන්නේ කෙනෙකුගේ සිතේ ඇතිවෙන ආඝාතය හෙවත් බද්ධ වෛරය ක්‍රමයෙන් බැහැර කිරීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම් පහකි.

යමෙකුගේ සිතෙහි තවත් අයෙකු සම්බන්ධයෙන් ආඝාතය හෙවත් බද්ධ වෛරය ඇතිවන්නේ එම පුද්ගලයාගේ කායික, වාචසික හා මානසික චර්යා ඔහු හෝ ඇය දුකට වේදනාවට පත් කරන නිසයි. මෙය කවර පුද්ගලයෙකුට වුව පොදු ධර්මතාවකි.

යමෙක් තවත් කෙනෙකුට දිගින් දිගටම විවිධ අයුරින් චිත්ත පීඩා ඇතිකරන්නේ නම් කායික හිංසනයට ලක්කරන්නේ නම් එම තැනැත්තා ගැන වෛරයක් ඇතිවීම පුහුදුන් මනසේ ස්වභාවයයි. එසේ ඇතිවෙන ආඝාතය හෙවත් බද්ධ වෛරයෙන් දැඩිලෙස සිත දූෂණය වන්නේ එම තැනැත්තාගේ ය. මෙහි බලපෑම නිසා විවිධ අපරාධවලට ඔහු හෝ ඇය පෙළඹිය හැකි ය. ඒ හෙයින් එම අකුශල සහගත සිතිවිල්ල සිතෙන් මුලිනුපුටා දැමීම අවශ්‍ය වේ. සැරියුත් මහරහතන් වහන්සේ භික්ෂූන්වහන්සේලා අමතා පැහැදිලි කොට වදාළේ එය නැති කරන පිළිවෙතයි. උන්වහන්සේ එය පැහැදිලි කිරීමේ දී සිත්ගන්නා සුළු උපමා පහක් භාවිත කොට තිබේ. එයින් එහි අර්ථය මැනවින් විශද වේ. තම සන්තානයෙහි ආඝාතය හෙවත් බද්ධ වෛරය ඇති වීමට තුඩුදුන් පුද්ගලයාගේ චර්යාව ගැන මෙනෙහි කොට ඔහුගේ වාචසික චර්යාව අයහපත් වුවත්, කායික චර්යාව යහපත් නිසා ඔහු කෙරෙහි පහළවන ආඝාත සිතිවිලි ක්‍රමයෙන් බැහැර කළ යුතු වේ. දිරා ගිය රෙදි කඩකින් නො දිරූ කොටස් වෙන්කර ඉරා ගන්නාක් මෙන්, බද්ධ වෛරයට හේතුභූත වූ තැනැත්තාගේ අගුණ නොසලකා ගුණ පමණක් ගැනීමෙන් ආඝාතය බැහැර කිරීම පළමු ක්‍රමයයි.

අපිරිසුදු වාග්-සමාචාර ඇති එහෙත් පිරිසුදු කාය-සමාචාර ඇති පුද්ගලයා සම්බන්ධ බද්ධ වෛරය බැහැර කිරීමේදීත් යට දැක් වූ පරිදි ගුණ පක්ෂය පමණක් සළකා ආඝාතය බැහැර කළ යුතුවේ. ග්‍රීෂ්මයෙන් දැවුණු තැවුණු අයෙකු දිය සෙවෙලින් වැසුණු පොකුණක් දැක ඒ වෙත ගොස් දෑතින් දිය සෙවෙල් බැහැර කොට පිරිසුදු ජලය පානය කිරීමෙන් තම පිපාසය සංසිඳවා ගන්නාක් මෙන්, කෙනෙකුගේ වචනය සම්බන්ධයෙන් ඇති කරගත් වෛරය ඔහුගේ යහපත් කායික ක්‍රියා ගැන සිතා බලා බැහැර කළ යුතුය යන්න දෙවන ක්‍රමයෙන් පෙන්වා දෙයි.

ග්‍රීෂ්ම සමයෙහි ගව කුරයකින් සැදුණු කුඩා වලක එක්රැස් වුණු දියත්තක් දකින තැනැත්තෙකු, එම දියත්ත දෑතින් ගෙන, පානය කළ නොහැකි නිසා දෑත් බිම තබා දන නමා දිවෙන් ගෙන පානය කොට පිපාසාව සංසිඳවාගන්නාක් මෙන්, කායික වාචසික වශයෙන් අයහපත් පුද්ගලයාට ද කලාතුරකින් නමුත් යහපත් සිතිවිලි ඇතිවීමට ඉඩ ඇතැයි සලකා ඔහු කෙරෙහි වන ආඝාතය බැහැර කළ යුතුයි. මෙය ආඝාතය දුරු කරන තෙවන ක්‍රමයයි.

මොනයම් හෝ අයුරකින්වත් කායික, වාචසික හා මානසික වශයෙන් යහපත් ගති ලක්ෂණ පෙන්නුම් නොකරන, සාකල්‍යයෙන්ම දුර්ගුණවලින් පිරි තැනැත්තා ගැන කල්පනා කළ යුත්තේ බරපතල රෝගයකින් පෙළෙන රෝගියෙකු දෙස බලන ආකාරයේ සානුකම්පිත ආකල්පයෙනි. කායික, වාචසික හා මානසික වශයෙන් සාදාචාරාත්මකව පිරිහුණු තැනැත්තා ඔහුගේ පාපසහගත හා අකූශල සහගත ක්‍රියා හේතුවෙන් දුගතිගාමි වෙයි. ඔහුට එවැනි විපතක් නොවේවා! වැරැදි හැසිරීමෙන් වැළකීමට සිතක් ඇතිවේවා! යන ප්‍රාර්ථනාවෙන් යුක්තව සැම අතින්ම අයහපත් තැනැත්තා පිළිබඳ වූ ආඝාතය හෙවත් බද්ධ වෛරය දුරුකළ යුතුයැයි සිව්වන ක්‍රමයෙන් පෙන්වා දෙයි.

අවසන් පස්වන ක්‍රමය යටතේ සාකල්‍යයෙන් ම යහපත් කායික, වාචසික සමාචාරයන්ගේ යුක්ත, කලින් කලට සිත පිරිසුදු කරගැනීමෙහි ලා අවකාස ලබන තැනැත්තා පිළිබඳ වූ බද්ධ වෛරය පහකර ගැනීම පැහැදිලි කරයි. ග්‍රීෂ්මයෙන් පීඩාවට පත් පුද්ගලයෙකු සිහිල්දිය පිරුණු විලක් දැක, එහි බැස මැනවින් ස්නානය කොට පැන් බී සැනහී අනතුරුව සිසිල් සෙවනැති ගස් අතරෙහි සැතපී වෙහෙස නිවා ගන්නාක් මෙන්, පිරිසුදු කායික හා වාචසික සමාචාරයන්ගෙන් යුක්තව කලින් කලට භාවනාවෙහි නිරත වෙමින් අධ්‍යාත්මික ගුණ වඩා ගැනීමෙහිලා ප්‍රයත්න දරණ තැනැත්තා කෙරෙහි වන වෛරය දුරුකොට මුළුමනින් ම ප්‍රසාදය ඇතිකරගත යුතු වේ.

දෙවන ආඝාත පටිවිනය සූත්‍රය භික්ෂූන් අරභයා දේශනා කරන ලද්දක් වුව ද එයින් ඉදිරිපත් කෙරෙන ආඝාත දුරු කිරීමේ පිළිවෙත ගිහි සමාජයට ද පොදු වේ. ආඝාතය හෙවත් බද්ධ වෛරය පුද්ගල භේදයකින් තොරව සැම අයෙකුට පොදු අකුශල සහගත චිත්ත වේගයකි. එයින් පළමුව පුද්ගලයාගේ සිත දූෂ්‍ය වන අතර, දෙවනුව එහි බලපෑම හේතුවෙන් සාහසික ක්‍රියාවලට පෙළඹේ. ඒ අනුව සන්තානගත බද්ධ වෛරය පුද්ගලයාට මෙන්ම සමාජයට ද අහිතකර ය. එය මුළුමනින් ම බැහැර කළ යුතු ආශ්‍රව ධර්මයකි. චිත්තවේග කළමනාකරණය පිළිබඳ අපරදිග මනෝවිද්‍යාවෙහි එන මූල ධර්ම මෙහි මැනවින් අන්තර්ගතව තිබේ. කෙනෙකුගේ සිතෙහි වෛරය හා ආඝාතය ඇතිවන්නේ බාහිර වශයෙන් පුද්ගලයෙක් අරමුණු කරගෙන ය. එම බාහිර පුද්ගලයා විසින් කියන ලද වචනයක් හෝ කරන ලද අයහපත් ක්‍රියාවක් හෝ සිතන ලද අදහසක් හෝ එයට හේතුවිය හැකි ය. කෙනෙකුගේ නරක පමණක් ම නොව යම්කිසි හොඳක් ද තිබේ. නරක පක්ෂය අමතක කොට ගුණ පක්ෂය පමණක් සැලකිල්ලට ගෙන සිතෙහි ඇතිවන ආඝාතය බැහැර කළ යුතු බව මුල් ක්‍රම තුනෙන් ම අවධාරණය වේ. ගුණ පක්ෂයෙහිලා සැලකිය හැකි කිසිදු යහපත් ගුණයක් නැති අයෙකු පිළිබඳ වුව ද, කළ යුත්තේ ඔහුගේ ක්‍රියාව හා එහි ප්‍රතිඵල ගැන සානුකම්පිත වීමකි. එබඳු අයෙකු රෝගියෙක් හා සමාන වේ. එවැන්නෙකු ගැන සිතිය යුත්තේ රෝගියෙකු ගැන සිතන පරිද ිය.

තමාට චිත්ත පීඩා ඇතිකරන දුර්ගුණවලින් පිරි අයෙකු ගැන සානුකම්පිත හැඟීමක් ඇතිකර ගැනීම පහසු කටයුත්තක් නොවේ. එහෙත් චිත්ත පාරිශූද්ධත්වය මෙන්ම කායික මානසික නිරෝගීබව උදෙසා එය සිදුකිරීම අවශ්‍ය වේ. හොඳම යැයි සම්මත පුද්ගලයන් කෙරෙහි වුව වෛරී සිත් පහළ විය හැකි ය. එහි දී ඔවුන්ගේ සද් ගුණ සලකා ප්‍රසාදය ඇතිකරගැනීම කළ යුතුයැයි දැක්වේ. මෙම උපක්‍රම පහෙන් ම පෙන්වා දෙන්නේ ආඝාතය හෙවත් බද්ධ වෛරය බැහැර කළ යුතු ආශ්‍රව ධර්මයක් බවයි. එසේම එය ඉවත්කිරීම සඳහා හැම විටම සුභවාදී ව ධනාත්මකව කල්පනා කළ යුතුයි යන්න සූත්‍රයෙන් ඉදිරිපත්වෙන සමස්ත අර්ථයයි. අන් අය කළ, නොකළ දේ පිළිබඳ අනාදිමත් කලෙක සිට වෛර කරමින්, ආඝාතයෙන් නොතැවී, උපක්‍රමශීලීව එය දුරු කොට සිත සැහැල්ලුකර ගැනීම නිරෝගි සුවය ලැබීමට හේතු වේ.