Print this Article


බුදුගුණ සමවත

ඉකුත් වසරේ වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 38

බුදුගුණ සමවත

අර්හත් ගුණ සමවත

ස්වාමීනි, බුදුරජාණන් වහන්ස! ඔබ වහන්සේ වාසනා ගුණ නම් වූ සසර පුරුදු ඇතිකරවන සේක. කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. සන්තාන කෙලෙසන්නා වූ ත්, පුනර්භවය ඇති කරන්නා වූ ත්, මතු භවයන්හි දී දුක් විපාක හා ජරාමරණ ගෙනදෙන්නා වූ ඒත් ලෝභාදී කෙලෙස් සතුරන් අර්හත් මාර්ගඥාන අවියෙන් නැවත නූපදින සේ සිඳලූ සේක. නාභිය හා නිම්වලල්ල එක් කරන ගරාදීන්ට උපමා ඇති අවිද්‍යාදී අංගයන්ගෙන් ප්‍රත්‍ය වු සංසාර චක්‍රයේ අරයන් කඩා බිඳ දමා සිඳලූ සේක. අසමසම වූ පූජාවන්ට සුදුසු වූ සේක. රහසින්වත් පාපක්‍රියා ,පාප වචන කතා නොකරන, නොසිතන පිරිසුදු සන්තාන ඇති සේක. අර්හත් නම් වන සේක. මෙසේ අර්හත් ගුණයෙන් සමන්වාගත වූ සම්මා සම්බුද්ධ රත්නයටම මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

සම්මා සම්බුද්ධ ගුණ සමවත

ස්වාමීනි, බුදුරජාණන් වහන්ස! සංස්කාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිබ්බාණ යන පඤ්චවිධ නෙය්‍යමණ්ඩල පරෝපදේශයකින් තොරව ස්වකීය නුවණින් අවබෝධ කළ සද්ධර්මදේශකායණන් වහන්ස! ඔබවහන්සේ පිරිසිඳ දත යුතු වූ දුක්ඛආර්ය සත්‍යය පිරිසිඳ අවබෝධ කළ හෙයින් ද, ප්‍රහාණය කළ යුතු වූ දුක්ඛ සමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කොට අවබෝධ කළ හෙයින් ද සාක්ෂාත් කළ යුතු නිරෝධ සත්‍යය සාක්ෂාත් කොට ගත් හෙයින් ද, භාවිත කළ යුතු දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය භාවනා වශයෙන් භාවිත කොට අවබෝධ කළ හෙයින් ද, සම්මා සම්බුද්ධ නම් වන සේක. මෙසේ සම්මා සම්බුද්ධ ගුණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මම නමස්කාර කරමි. මාගේ සමස්කාරය වේවා!

විජ්ජාචරණ ගුණ සමවත

ස්වාමීනි, බුදුරජාණන් වහන්ස! ඔබ වහන්සේ දසවිධ විදර්ශනා ඥාන, මනෝමය ඍද්ධිඥාන, ඍද්ධිවිධ ඥාන, දිව්‍ය ශ්‍රෝත ඥාන, පරචිත්ත විජානන ඥාන, පුබ්බේනිවාසානුස්සති ඥාන, දිව්‍ය චක්ෂුභිඞඥාන, ආශ්‍රවක්ෂයකර ඥාන යන ත්‍රිවිද්‍යා අෂ්ඨ විද්‍යා ඥානයන්ගෙන් සමන්වාගත වන සේක.

කෝටියක් සංවර සීල නම් වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීල, භෝජනයේ පමණ දැනීම, නොනිදා අවදිකරගත් සිහි ඇති බව, ශුද්ධා ගුණය, පවට ලජ්ජා බිය ඇති බව නම් වූ හිරි ඔතප් ගුණ, බොහෝ ඇසු පිරූ තැන් ඇති බව නම් වූ බහුශ්‍රැත බව, වීර්යය, ස්මෘතිය, මති නම්වූ නුවණ, ප්‍රථම ධ්‍යානය, දුතිය ධ්‍යානය, තෘත්‍රිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය යන පසළොස්චරණ ධර්මයන්ගෙන් ද සමන්වාගත වන සේක. මෙසේ විදුචරණ ගුණයෙන් සමන්වාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

සුගත ගුණ සමවත

ස්වාමීනි, බුදුරජාණන් වහන්ස! ඔබ වහන්සේ, බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා පරිභෝග කොට වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශෝභන ගමන් විලාස ඇති සේක. අජාති අජර අව්‍යාධි අමර අශෝකණීය ශාන්ත සුන්දර නිවනට පැමිණ වදාළ සේක. සිව් මග නැණින් නැසූ කෙලෙසුන් වෙත නැවත නොපැමිණෙමින් නිවන් දෙසට ගමන් ගත් සේක. දීපංකර පාද මූලයේ පටන් බෝධි මණ්ඩලය දක්වා සූවිසි බුදුවරයන් වහන්සේලා හමුවෙහි සූවිසි විවරණ ශී‍්‍ර පතුල් ගෙන පාරමී දම් පිරීමේ පිළිවෙතට සමාපන්නව ශාස්වත, උච්ඡේද, කාමසුඛ, අත්තකිලමථ යන දෘෂ්ඨීන්ට නොපැමිණ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ප්‍රතිමණ්ඩිත මධ්‍යම ප්‍රතිපදාවට අනුගත වූ සේක. දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත සියලු සත්ව ප්‍රජාව සහිත ලෝකයාට අසම වු අසමසම වූ සුන්දර ගමන් විලාස ඇති සේක. එහෙත් “සුගත” නම් වන සේක. මෙසේ සුගත ගුණයෙන් සමන්වාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

ලෝකවිදූ ගුණ සමවත

ස්වාමීනි, බුදුරජාණන් වහන්ස! ඔබ වහන්සේ රූප,වේදනා, සංඥා , සංස්කාර, විඥාන යන පඤ්චස්කන්ධ ලෝකය ද, උපාදාන සහිත පඤ්චස්කන්ධ ලෝකය ද, ඍතු ප්‍රත්‍යාදින්ගෙන් හටගත් ඉර, හඳ, තාරකා ගස්වැල් සහිත වු මේ සංස්කාර ලෝකය ද, සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ සේක. සඳ හිරු නිසා බැබළෙන මේ සහශ්‍රී ලෝක ධාතුව ද, සඳ හිරු දහසක් නිසා බැබළෙන චූලනී ලෝකධාතුව ද, සඳ හිරු කෝටියක් නිසා බැබළෙන ත්‍රි සහශ්‍රී ලෝකධාතුව හෙවත් කෝටියක් සක්වල ද, දස සහශ්‍රී ලෝකධාතුව ද,අනන්ත අපරිමාණ සහශ්‍රී ලෝකධාතු යන අවකාශ ලෝකය ද සතර අපාය, මනුලොව සදෙව්ලොව යන කාම ලෝකය ද අවබෝධ කළ සේක. බ්‍රහ්ම පාරිසජ්ජාව ආදි රූප ලෝකය ද ආකාසානඤ්චායතනාදී අරූප ලෝකය ද දැනීම් තේරුම් ඇති සංඥා භවය ද, දැනීම් තේරීම් නැති අසඤ්ඤ භවය ද, දැනීම් තේරීම් ඇත්තෙක් නැති, නැත්තෙත් නැති නේවසඤ්ඤානාසඤ්ඤා භවය ද, රූප ස්කන්ධ පමණක් ඇති ඒක වෝහාර ලෝකය ද, නාම ස්කන්ධ පමණක් ඇති චතු වෝහාර ලෝකය ද, පඤ්ච ස්කන්ධයම ඇති පඤ්ච වෝහාර ලෝකය ද අවබෝධ කළ සේක. මෙසේ සියලු ලෝකයන්හි සිඳෙන බිඳෙන ස්වභාවය ද, හටගැනීම් ස්වභාවය ද, මිදීමේ ස්වභාවය ද, මිදීමේ ප්‍රතිපදාව ද ඉතිරිවක් නැතිව සර්ව සම්පූර්ණ අවබෝධ කළ බැවින් ‘ලෝකවිදූ’ නම් වන සේක. මෙසේ ලෝකවිදු ගුණයෙන් සමන්වාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!