Print this Article


බෝසත් දරුවන්ට: සදහම් දෙසුමත් ඇසුමත් හැමසිත් සුවදෙත් කවදත් කොතැනත්

සදහම් දෙසුමත් ඇසුමත් හැමසිත් සුවදෙත් කවදත් කොතැනත්

පින්වත් දරුවනේ, අද අප කතා කරන්නේ දස පුණ්‍ය ක්‍රියාවන්හි සඳහන් ඉතාමත් වැදගත් කුසල කර්ම දෙකක් පිළිබඳවයි. ධර්ම දේශනා කිරීම සහ ධර්මය ශ්‍රවණය කිරීම. ඒ කියන්නේ බණ කීමත්, බණ ඇසීමත් කියන කරුණු පිළිබඳවයි.

ධර්මය දේශනා කිරීම මහා පින්කමක්. එහෙමනම් බණ දේශනා කරන හාමුදුරුවන්ට මොන තරම් පින් තිබෙනවා ද? ධර්මය දේශනා කරන්න, කරන්න පින් ලැබෙනවා. ඇයි දන්නවාද දරුවනේ, බණ දේශනා කළොත් තමයි මේ ලෝකයේ පවතින ඇත්ත, නිවැරැදි ස්වභාවය, යහපත් දේ, ගුණ ගරුක දේ දැන ගන්නට පුළුවන් වෙන්නේ. අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, මේ අකාරුණික ලෝකයට කාරුණික බව දේශනා නොකළා නම්, වෛරී සහගත ලෝකයට මෛත්‍රිය ගැන කියලා නොදුන්නා නම්, කළගුණ නොදන්නා ලෝකයට කළගුණ සැලකීම ගැන කියලා නොදුන්නා නම්, ලෝභ සහගත ලෝකයට දානය ගැන කියලා නොදුන්නා නම් මේ ලෝකය මොන තරම් කුරිරු වේවිද? බණ කියන, බණ ඇහෙන මේ රටේ ඇතැම් මිනිසුන්ගේ ගුණ දහම් මේ තරම් පිරිහිලා නම්, මේ ඇහෙන බණ ටිකත් නතර වුණොත් ඒ අයහපත් පිරිස් වන මෘගයින් බවට පත්වේවි. ඒ නිසා තමයි දරුවනේ, ‘සුඛා සද්ධම්ම සවණං’ කීවේ.

සද්ධර්මය අසනවිට සැප ගෙන දෙනවා. දැන් සමහර අය සිතයි බණ අහලා සැප ලබන්නේ කොහොමද කියලා. දරුවනේ, අප සැපයි කියා හිතාගෙන ඉන්නේ මොනවාද? ඇස පිනවීමයි. කන පිනවීමයි. නාසය, දිව, ශරීරය පිනවීමයි. මේ ඉන්ද්‍රියයන් පිනවීම සැපයි තමයි. එහෙත් තාවකාලිකයි. සැප අවසන් වන විට දුකයි.තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙනවා නම් දුකක් නේද දරුවනේ. මේ දුක නැති කරන්න, හැමදාම සතුටින් ඉන්න මග තමයි ධර්මය තුළ තිබෙන්නේ. ඒ නිසයි බණ දේශනා කිරීම පිනක් වෙන්නේ. බණ ඇසීමෙන් ආනිශංස රාශියක් ලැබෙනවා. ස්වාමීන් වහන්සේ නමකට ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කරන විට පිළිපැදිය යුතු චාරිත්‍ර තිබෙනවා. ඒ ගැනත් දැන ගන්නට ඕනෑ. ධර්ම දේශනාවකට ආරාධනා කරන විට දැහැත් වට්ටියක් පිළිගැන්වීමෙනුයි ආරාධනා කරන්නට ඕනෑ. ධර්ම දේශනාව සඳහා නිවසට වැඩම කළ අවස්ථාවේ දී උන්වහන්සේගේ පා ධෝවනය කරන්න ඕනෑ. ධර්මාසනය අලංකාරව පිළියෙළකොට තිබෙන්නටත් ඕනෑ. ධර්මය දේශනා කරන ලෙස නැවත දැහැත් වට්ටියක් පිළිගන්වා ආරාධනා කරන්න ඕනෑ. ඉන්පසු ධර්ම දේශකයාණන් වහන්සේ ඉදිරියේ බිම ඉඳගෙන බණ අහන්න ඕනෑ. උස් අසුන්වල ඉඳගෙන බණ අහන්නේ නෑ.

‘බිම ඉඳ සිට කී බණ නාසන්නේ
විමතිව උඩ සිට බණ නාසන්නේ’

හාමුදුරුවෝ බිම හිඳ බණ කියනවා නම් උඩ සිට බණ අසන්නේ නෑ. උඩ සිට බණ කියනවා නම්, අසනීපයක් නොවේ නම් උඩ ඉඳගෙන බණ අසන්නේත් නෑ. ඒත් දරුවනේ, අද සමහර අය බණ අහන්නෙත් වැරැදියටමයි. සමහරු පුටුවල ඉඳගෙන එයත් විලාසිතාවක් වගේ. අපේ දරුවෝ නම් ඒ නරක පුරුදුවලට හුරු වෙන්න එපා.

බණ අසන ආකාරය ගැන දැන් ඉගෙන ගනිමු.

ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ඕනෑ තුන් සිත පහදවාගෙනයි. ඒ කියන්නේ, බණ ඇසීමට පෙර ගෞරවය, සිතේ සතුට ඇති කර ගන්නට ඕනෑ. පෙර බණ අසන වෙලාවටත් ඒ ගෞරවය, සතුට තිබෙන්නට ඕනෑ. බණ ඇසීමෙන් පසුවත් සතුටු වෙන්න ඕනෑ. ධර්මය පිළිබඳ ව ගෞරවය ඇති කර ගන්නට ඕනෑ. ඒ විදිහට දහම් ශ්‍රවණය කළොත් ආනිශංස පහක් ලැබෙනවා.

‘අස්සුතං සුණාති’

නො ඇසූ දෙයක් අසන්නට ලැබෙනවා. ‘සුතං පරියො ධ පෙති’

ඇසූ දේ පිරිසුදුව දැන ගන්න ලැබෙනවා.

‘කංඛා විහරති’

සැක දුරු කරගන්න හැකි වෙනවා. ඒ කියන්නේ, ධර්මය පිළිබඳ ව යම් සැකයක් ඇති වී තිබුණොත් බණ ඇසීමෙන් පසුව ඒ සැකය දුරුවෙනවා.

‘චිත්ත මත්ත පසීදති’

සිත පහදවා ගන්න පුළුවන්කම ලැබෙනවා. අප සිත පහදවා ගන්නට ඕනෑ කුමක් පිළිබඳව ද? තුනුරුවන් පිළිබඳව, බණ අහනවානම් තමයි බුදුරජාණන් වහන්සේ ගැන දැන ගන්න ලැබෙන්නේ. උන්වහන්සේ අප වෙනුවෙන් මොනතරම් කැපවුණා ද කියල දැනගන්න හැකි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු පැහැදීමක් ඇති කර ගන්න හැකි වෙන්නේ. ධර්මයේ වටිනාකම අහලා චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, සතර සතිපට්ඨානය ගැන කෙටියෙන් කියනවා නම් සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ගැන දැනගෙන පැහැදීමක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට භික්ෂූන් වහන්සේගේ වටිනාකම ගැන, උන්වහන්සේලාගේ ගුණ ගැන දැනගෙන පැහැදීමක් ඇතිකර ගන්න පුළුවන් වෙන්නේත් බණ ඇසීමෙන් තමයි. ඒ නිසයි දරුවනේ ‘චිත්ත මත්ත පසීදතී’ කීවේ. ඒ වගේ ම ඒ පැහැදීම නොසෙල්වෙන ලෙස පවත්වාගන්නටත් ඕනෑ. බොහෝ අය ළඟ තිබෙන්නේ සෙලවෙන පැහැදීමක්. නොසෙල්වෙන පැහැදීම ඇතිකර ගන්නට නම් දිගින් දිගටම බණ අහන්න ඕනෑ.

ඊළඟ ආනිශංසය ‘දිට්ඨිං උජුං කරොති’

අප ධර්මය ගැන වැරැදි දැකීමක් ඇති කර ගත්තා නම්, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ඨියට පත්ව සිටියා නම් බණ ඇසීමෙන් සම්‍යයක් දෘෂ්ඨියට පත්වෙනවා. පෙනෙනවා නේද බණ කියනවිට, බණ ඇසෙනවිට ලැබෙන ආනිශංස, ඇසීම තමයි දරුවනේ ප්‍රඥාව ලැබෙන මඟ. පුංචි දූ පුතුන් ඉගෙනුම ලබන මොහොතේ කළයුතු පළමු දේ හොඳින් අහගෙන සිටීමයි.

අපේ බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයා දමනය කළ ආකාරය දන්නවා නේද? ආලවක මහා සැඩ පරුෂ ස්වරයෙන් බුදුරජාණන් වහන්සේට එළියට යන්න කීවා. පළමු අවස්ථාවේ උන්වහන්සේ එළියට වැඩම කළා. ආපසු එන්න කීවා. කීකරු දරුවෙක් වගේ උන්වහන්සේ ආපසු වැඩියා. දෙවැනි, තෙවැනි වතාවටත් ඒ ලෙස ප්‍රතිචාර දැක්වූවා. ඒත් සිව්වැනි වතාවේ නම් උන්වහන්සේ වැඩියේ නෑ. දරුවන් දන්නවාද ඇයි කියලා. ඒ, ආලවක පිළිබඳ ව තිබූ අනුකම්පාව නිසයි. කිසිදු පුද්ගලයෙකුට බුදු කෙනෙකුට තුන්වතාවකට වඩා අණ කළ නොහැකියි. යම් විදිහකින් හතරවන අවස්ථාවේ ආලවකගේ කීමට බුදුරජාණන් වහන්සේ වැඩියා නම් ආලවකගේ හිස සත්කඩකට පැලෙනවා. එවැනි දඬුවම් දෙන්නේ දෙවිවරු. ඊට පසුව ආලවක මොනවාද දන්නවාද කළේ. තමන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස බුදුරජාණන් වහන්සේට කීවා. පිළිතුරු නොදුන්නොත්,

‘පාර ගංගායං කිපිස්සාමි’

දෙපයින් අල්ලා පරසක්වල ගසනවා කීවා. දැන් ආලවක බුදුහිමියන්ගෙන් ප්‍රශ්න අසනවා.

‘කතං සු ලභතෙ පඤ්ඤං’ ප්‍රඥාව ලබන්නේ කෙසේද?

ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘සුස්සුතං ලභතෙ පඤ්ඤං අප්පමත්තො විචක්ඛනො’ ඒ කියන්නේ, හොඳින් අහන්නට ඕනෑ. ඇසූ දේ හොඳින් විමසා බලන්න ඕනෑ. එවිට තමයි ප්‍රඥාව ලැබෙන්නේ.

එතැනදීත් විස්තර කෙරුණේ බණ ඇසීමේ ආනිශංස නේද? ඒ කියන්නේ කියන දේ ඇසීම දියුණුවීමේ, ප්‍රඥාව ලබා ගැනීමේ පියවරක්. ‘කීකරුකම’ කියන්නේත් එයයි.

එහෙම නම් අකීකරු දරුවෝ දියුණුවෙන්නේ නෑ. කීකරු දරුවෝ දියුණු වෙනවා.

එහෙමනම් මේ පින්වත් දරුවන් හොඳින් මතක තබාගන්න ඕනෑ, මොනවාද? ධර්ම දේශනා කරවීම, ධර්ම දේශනා සඳහා දායකත්වය ලබා ගැනීම, පන්සලේ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වෙනවා නම් කොඩිවැල්වලින් සැරසීම, නිවසේ ධර්ම දේශනාවක් පවත්වනවා නම් දන්නා හඳුනන හැමෝටම ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කිරීම, දැන්වීම් ඇලවීම ආදී මේ සියලු දේ ධර්ම දේශනාවට අදාළ කුසල ක්‍රියා බව. මේ වසරේ පටන් තමන්ගේ උපන් දිනයට ධර්ම දේශනාවක් පවත්වන බවටත්, යහළුවෝ හැමෝම එක් රැස් කරගෙන එම ධර්මදේශනාව ශ්‍රවණය කරලා ආශිර්වාද ලබා ගන්නා බවටත් අධිෂ්ඨාන කරගන්නට ඕනෑ. එවිට මුලින් සඳහන් කළ අනුසස් පහම ලබා ගන්නට පුළුවන්.