Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: මරණය සහ පින

මරණය සහ පින

පුද්ගලයකු මෙලොව ජීවත් වී මරණයට පත්වීමෙන් පසු එම තැනැත්තා වෙනුවෙන් පින් පෙත් අනුමෝදන් කිරීම සාමාන්‍ය සිරිතයි. අප කරන පින් අනුමෝදන් කිරීමෙන් එම මළගිය ඥාතියාට ලැබෙනවා ද? යන්න යමෙකුට කල්පනා විය හැකි ය. පරලොව අපට දෘශ්‍යමාන නොවන නිසා මෙලොව සහ පරලොව අතර පවතින සහසම්බන්ධතාව පැහැදිලි නොවේ.

මරණයට පත්වූ පුද්ගලයන් නැවත උප්පත්තිය ලැබූ අවස්ථාවල කළ, කී දෑ ඇතුළත් පුනරුප්පත්ති පර්යේෂණ මගින් මෙය වඩාත් පැහැදිලි කරගත හැකි ය. මෙලොව අතහැර පරලොව ගිය පුද්ගලයන් උප්පත්තිය ලබන ස්ථාන යනුවෙන් දිව්‍යලෝක,බ්‍රහ්මලෝක, යන ස්ථාන සුගති ගණයට අයත් වේ. නරක, තිරිසන් , ප්‍රේත, අසුර යන ස්ථාන දුගති ගණයට අයත් ය. එයින් නරකය යන්න කොටස් 136 කට බෙදෙනවා. තිරිසන් ආත්මය මිනිසුන් සමග ජීවත් වන පිරිසක් වුවත් එය උපත ලැබීමට නුසුදුසු එකක් ලෙස සැලකේ. ජීවිත කාලයේ දී කළ අකුසල් නිසා සුනඛයකු වී උපත ලද තෝදෙයිය බමුණා පිළිබඳ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. එබඳු ආත්මවල උපත ලද විට පින් අනුමෝදන් වීමට නොහැකි වෙනවා.

කුප්පිපාසික, පාංශුපිසාවක, නිජඤාම, තරහික, කාලකංජ, අසුර, පරදත්ත ජීවි යනුවෙන් ප්‍රේත ආත්මභාව කිහිපයක් පිළිබඳව ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. හැමදාම සුදහ ගින්දරෙන් හා පිපාසාවෙන් පෙළෙන ආත්මය කුප්පිපාසික ආත්මයයි. භූමියේ පස් කුණු කමින් ජීවත්වන්නේ පාංශු පිසාවක ආත්මයයි. මේ ආදී ප්‍රේත කොට්ඨාශවල උපත ලැබූ විට පින් අනුමෝදන් වීමට නොහැකි ය. ඒ අය ජීවත්වන පුද්ගලයන් වෙත දෘෂ්ටි හෙළාගෙන සිටිනවා. පින්ගැනීමේ චේතනාවක් නැති ඔවුන්ට පින් දීමට හැකියාවක් නැහැ.

පරදත්තූපජීවි යන ආත්ම කොට්ඨාශයේ උපත ලද විට, ඔවුන් පින් බලාපොරොත්තු වෙනවා. ඒ හැර අන් ලෝකවල අය කිසිවක් බලාපොරොත්තු වන්නේ නැහැ. ජීවත්වීමට කිසිදු රැකියාවක් ද නොමැති නිසා ඔවුන් සිය මානසික ශක්තිය අනුව තමා ජීවත් වූ නිවස වෙත පැමිණෙනවා. පැමිණ ගෙදරින් හැරෙන හන්දියෙන් ද, නැත්නම් ගේ පිළිකන්නේ ද, දොර ජනෙල් පවතින ස්ථානයේද සිට සිඟමන් ගන්නවා. පින් ඉල්ලනවා. හඬාවැටෙනවා. .

මෙබඳු අය හට පින් අනුමෝදන් කිරීම මඟින් එම පින්වල බලයෙන් ඔවුන්ගේ දුක්ඛිත ආත්මවලින් සැපවත් වන බව කියවෙනවා. මියගිය ඥාතීන්ට ද පින් අනුමොදන් වීමේ ප්‍රමාණවත් අවශ්‍යතාවයක් පැවතිය යුතුයි. ඔවුන්ගේ දුක්ඛිත ආත්මවලින් සැපවත් වන බව කියැවෙනවා. මියගිය ඥාතීන්ටද පින් අනුමෝදන් වීමේ අවශ්‍යතාවක් පැවතිය යුතුයි. ඔවුන් සසරින් මිදවීම සඳහා පින්දීමේ අවශ්‍යතාවක් මෙලොව ජීවත්වන අයට ද තිබිය යුතු ය. එවිට අප දෙන පින් ඔවුන්ට ලැබෙනවා.

තිරෝකුඩ්ඩ සූත්‍රයේදී අප දෙන පින් ඔවුන්ට ද ලැබෙන බව තහවුරු වන උපමාවක් තියෙනවා. ඉහළ සිට පහළට හෙළන ලද ජලය පහළට වැටෙනවා. පහළ පරිසරය පිරී ඉතිරී යනවා. ඒ අයුරින් අප දෙන පින් අනිවාර්යයෙන් ම මියගිය ඥාතීන්ට ලැබෙනවා. ඒවා අනුමෝදන් වීමෙන් එම ආත්මභාව සැපවත් වෙනවා.