Print this Article


මජ්ක්‍ධිමනිකාය සූත්‍ර ධර්ම අධ්‍යයනය : මූලපරියාය සූත්‍රය

මජ්ක්‍ධිමනිකාය සූත්‍ර ධර්ම අධ්‍යයනය

මූලපරියාය සූත්‍රය

මජ්ක්‍ධිම නිකායානුගත එකසිය දෙපණසක් (152) වූ සූත්‍ර දේශනා අතරින් පළමු වැනි සූත්‍ර දේශනය ‘මූලපරියාය සූත්‍රය’ යි. සියලු ධර්මයන්ට මුල් වූ අසාධාරණ හේතුව (සබ්බ ධම්ම මූලපරියායං) යන අර්ථ දෙන බුද්ධ දේශනයත්, බුද්ධ ඤාණයත් විදහාලන බෞද්ධ දාර්ශනික අර්ථය ඉස්මතු කෙරෙන ගම්භීර වූ සූත්‍ර දේශනයක් ලෙස මෙම සූත්‍රය හැඳින්විය හැකි ය. එහෙයින් පෙළත්, පපඤ්ච සූදනී නම් අටුවාවත් බලා, මූලපරියාය සූත්‍ර සාරයත්, ඒ පිළිබඳ සංක්ෂිප්ත සමාලෝචනයක් කිරීමත් මෙමඟින් අපේක්ෂා කෙරේ.

බුදුරජාණන් වහන්සේ විසින් උක්කට්ඨා නුවර සුභග නම් වනයෙහි වැඩ සිටිය දී භික්ෂූන් අමතා “මූලපරියාය සූත්‍රය’ නම් මේ දේශනය සිදු කරන ලදී.

‘මහණෙනි, සියලු දේට මුල් වූ පඨවිය,ආපය, තේජය, වායුව, භූතයන් ,දේවයන්, ප්‍රජාපති,බ්‍රහ්ම, ආභස්සරයන්, සුභකිණ්ණකයන්, වේහප්පලයන්, අභිභු,ආකාසානඤ්චායතනය, විඤ්ඤානඤ්චායතනය. ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය,දිට්ඨිය (රූපායතනය) සුතය, (ශබ්දායතනය) මුතය (ඵස්සායතනය) විඤ්ඤාතය (ධම්මාරම්මණය) ඒකත්තය (වේදනා, සඤ්ඤා , සංඛාර, විඤ්ඤාණ) නානත්තය (පංචස්කන්ධය) සබ්බය (සියලු සත්කායධර්ම) නිප්පාණය යන කරුණු පිළිබඳ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු (අශ්‍රැතවත්) පෘථග්ජනයා ඒවා හැඳිනගෙන ,එය තණ්හා දිට්ඨි, මාන වශයෙන් වරදවා සිතන්නේ, ඒ ඔහුගේ අපරිඤ්ඤාතය හෙවත් මනාසේ අවබෝධ නොකළ ,පිරිසිඳ දැනීමෙන් තොර නිසා ය.

“මහණෙනි, රහත් බවට නොපැමිණ, හික්මීමෙන් සිටින (සේඛ) භික්ෂුව වරදවා ඒ ගැන නොසිතන්නේ ඔහුගේ පරිඤ්ඤෙය්‍ය හෙවත් දතයුතු දෙය දත් නිසා ය. බඹසර වැස ආස්‍රව නසා, මැනවින් දැන මිදුණු රහත් (ක්ෂීණාශ්‍රව) භික්ෂු වරදවා ඒ ගැන නොසිතන්නේ ඔහුගේ පරිඤ්ඤාත හෙවත් සම්පූර්ණයෙන්ම එය දැනගත් නිසාය. රාගය ක්ෂය කිරීමෙන් වීතරාග වූ නිසාය. ද්වේශය ක්ෂය කිරීමෙන් වීතදෝෂ වූ නිසාය. මෝහය ක්ෂය කිරීමෙන් වීතමෝහ වූ නිසාය. තථාගතයන් වහන්සේ ඒවා වරදවා නොගන්නේ නිරවශේෂ පරිඤ්ඤාණය නිසාය. සම්මා සම්බුදුන් ඒවා වරදවා නොගන්නේ තණ්හාව ක්ෂය කොට සම්බෝධිය පසක් කොටගත් නිසාත්ය යනුවෙන් මෙම දේශනය වදාළ සේක.

ත්‍රිවේදයෙහි පරතෙරට ගිය බ්‍රාහ්මණයන් පන්සිය දෙනෙක් පසුකලෙක බුදුන් වෙත පැමිණ, බණ, අසා, පස්කම් සැපතෙහි ආදීනවය සහ පැවිද්දෙහි අනුහස් දැක, බුදුසසුනේ පැවිදිව, නොබෝ කලකින් සකල බුද්ධ දේශනය උගෙන, පරතෙරට පැමිණියහ.

බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරයි ද, එය ඔවුහු එපරිද්දෙන් ම දනිති. බුදුන් ආත්ම දෘෂ්ටියට වැටෙන කිසිත් නො වදාරණ බැවින් එය මනාව වැටහේ.බුදුන් දන්නා දේ ඔවුහු එපරිද්දෙන් ද දනිතියි මානය ඉපදවූහ. එහෙයින් එම භික්ෂූන් උපන් මානය ඇතිව ශාස්තෘ ගෞරවයත්, ශාස්තෘ උපස්ථානයත්, නො කොට, දම්සභා මණ්ඩපයටත් නො ගොස් ම කල් ගෙවී ය.

උගත්කම නිසා උපන් මානයෙන් යුතුව වෙසෙන මෙම භික්ෂූන් ඒ හේතුවෙන් කිසිදු මාර්ග ඵලයක් නො ලබන නියාව දුටු බුදුරජාණන් වහන්සේ, ඔවුන් පිළිබඳ උපන් මහා කරුණාවෙන්, ඔවුන්ගේ මන්බිඳීම නිමිති (මානාභඤ්ජනත්ථං, සබ්බ ධම්ම මූලපරියායන්හි දෙසනං ආරභි) කොට අට්ඨුප්පත්තික දේශනාවක් (උපන් කරුණු නිමිති කොට) වශයෙන් මෙම දේශනය සිදු කොට වදාළ බව පපංච සුදනී නම් මජ්ක්‍ධිමනිකායට්ඨ කථාව පෙන්වා දේ.

බුද්ධ දේශනයේ විධික්‍රම වන සංශ්ලේෂණ ක්‍රමයත්, විශ්ලේෂණ ක්‍රමයත් භාවිත කොට බුද්ධ ඤාණයේත්, මධ්‍යම ධර්මයේත්, ගම්භීරත්වය මැනවින් පෙන්වා දෙන, අගනා සූත්‍ර දේශනයක්, බැව් මෙම සූත්‍රය අධ්‍යයනයේදී විද්‍යමාන වේ. පපංච සූදනීය ද එය මෙසේ දක්වයි.

‘සංඛිත්තෙනපි දෙසෙති විත්ථාරෙ නපි භාසති
සාළිකායිව නිග්ඝොසො පටිභානං උදීරයි’

සැකෙවින්ද දේශනා කරයි. විස්තර වශයෙන් ද කියයි. සාරිකා පක්ෂියාගේ (විල්ලිහිණියාගේ) මිහිරි අවියත් හඬ මෙන් වැටහීම පහළ කෙරෙයි. නමුත් පෙළ සහ අටුවාව පෙන්වා දෙන පරිදි ධර්ම ව්‍යාඛ්‍යාන සහිත වූ මනහර වූ සවන පිනවන පණ්ඩිත ජන හදමැදුරට අමා අභිෂේකයක් වැනි වූ බුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්ම ස්වරයෙන් වදාරන ලද මෙම දේශනයේ අර්ථය තේරුම් ගැනීමට නොහැකි වූ භික්ෂූන් අනෙක් සූත්‍ර දේශන කෙළවර මෙන් මූලපර්යාය සූත්‍රාවසානයේ සතුටු නොවූහ. (න තෙ භික්ෂු භගවතො භාසිතං අභිනන්දුන්ති)

මජ්ක්‍ධිමනිකාය අටුවාව පෙන්වාදෙන්නේ මාන්නාදික භික්ෂූන් පිළිබඳ අතීත කථාව ගෙනහැර දක්වමින් මූලපරිය ය නම් ජාතකයන් දේශනා කළ බවත්, එය අසා මද (මානය) රහිත වූ ඔවුහු බුද්ධ ගෞරවය ද, බුද්ධෝපස්ථානය ද කරනුයේ ධර්ම ශ්‍රවණයට ද සැලකිලිමත් වූ හ. තවද පසු කලෙක විශාලා මහනුවර දී එම භික්ෂූන්ට ගොතමක නම් සූත්‍රය දේශනා කරන ලදුයෙන් එය අසා, එම පන්සියයක් භික්ෂූන් සිව්පිළිසිඹියා රහත් බවට පැමිණි බව ද අටුවාව දක්වයි.