Print this Article


ලැබෙන අවමන් ඉවසමු මෙත් සිතින්

ලැබෙන අවමන් ඉවසමු මෙත් සිතින්

කිසියම් කෙනෙකුට කිපෙන්නට, ක්‍රෝධ කරන්නට හේතුවන කරුණක් තිබුණ ද එය ක්‍රියාත්මක කරන්නට නොදී ඉවසීමෙන් එය සංසිඳවා ගන්නේ නම්, ඔහු උතුම් පුද්ගලයෙකි.

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තංව ධාරයේ
තමහංසාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහො ඉතරෝ ජනො”

මෙම ගාථාව ධම්මපදයේ ක්‍රෝධ වර්ගයෙහි සඳහන් වන්නකි. මෙම ගාථාවෙන් පෙන්නුම් කරන්නේ ක්‍රෝධ නොකිරීමේ ඇති වැදගත්කමයි. එනම් තමා තුළ ඇති වූ ක්‍රෝධ සිතිවිල්ල අවබෝධයෙන් තේරුම්ගෙන, හිත සන්සුන් කරගැනීමේ ඇති වටිනාකම පෙන්වා දීමයි.

මෙම ගාථාව දේශනා කළේ එක්තරා දේවතාවියක් මුල්කරගෙනයි. ජේතවනාරාමයට ආසන්නයෙහි එක්තරා දෙවඟනක් එක් වෘක්ෂයක් තම නිවස කරගෙන, වාසස්ථානය කරගෙන සිටියා ය. භික්ෂුවක් තමාට අවශ්‍ය කුටියක් සෑදීම සඳහා ලී හා අතු සොයා යමින් මෙම ගස දෙස බලා ගහ කපන්නට සූදානම් විය. මෙය දුටු ගහට අධිපති, ගස වාසස්ථානය කරගත් දෙවඟන තම දරුවා ද පෙන්වා මේ ගස නොකපන ලෙස ඒ භික්ෂුවගෙන් ඉල්ලා සිටියා ය. මේ ගස මගේ වාසස්ථානය යි. මෙය කපා විනාශ කළොත් මට යන්න තැනක් නැහැ. ඒ නිසා, ස්වාමීන් වහන්ස, වෙන ගසක් සොයා ගන්න, මගේ නිවස වූ මේ ගස කපන්න එපා යැයි” ඉල්ලා සිටියා ය.

නමුත් මේ ඉල්ලීමට කන් නොදුන් භික්ෂුව ගස කපන්නට පොරෝ පහරක් ගැසුවේ ය. ගසේ අත්තට ගැසූ පොරෝ පහර දරුවාගේ අතකට ද වැදිණි. තමාගේ අහිංසක ඉල්ලීම ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසා කෝපයට පත් දෙවඟන කෝපයෙන් පුපුරමින් හාමුදුරුවන්ට ගැසීමට අත්දෙක එස වුව ද, එස වූ අත් දෙක පහළට හෙළන්නට පෙර ඇය මෙසේ සිතුවා ය. වැරදිලාවත් මා පහර දුන්නොත් ඒ පහරින් මේ භික්ෂුව මරණයට පත්වනු ඇත. මේ භික්ෂුව සිල්වත් ය. ඒ පාපකර්මයෙන් අනිවාර්යයෙන්ම මා අපාගතවනු ඇත. අනන්ත අප්‍රමාණ කාලයක් සසර අපාදුක් විඳින්නට සිදුවේ. මේ ගැන සිතා තමා තුළ ඇති වූ අධික කෝපය ඉවසීමෙන් සංසිඳුවාගෙන අත් දෙක පහළට හෙළුවා ය. අනිත් අතට මා කළාක් මෙන් අනික් දෙවිවරු ද තම නිවාස වූ වෘක්ෂයන් කපා ගැනීමට එන භික්ෂූන්ට ද පහර දෙනු ඇත. එසේ වුවහොත් බරපතල පාපකර්මයක් වනු ඇත. මේ ගැන සිතා හඬමින් තම දුක් ගැනවිල්ල කීමට ජේතවනාරාමයෙහි වැඩ සිටින බුදුරදුන් හමුවට පැමිණියා ය. බුදුරදුන් හමුවට පැමිණි දෙවඟන තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා ය.

බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් මාගේ නිවස වූ වෘක්ෂය මා එපා කියද්දීම කපා විනාශ කළ බවත්, මා තුළ ඇති වූ කෝපය නිසා උන්වහන්සේට පහර දීමට අත් දෙක එස වුවත් ඒ පහර දීමෙන් ඇතිවිය හැකි බරපතල විපාකය සලකා තරහ සංසිඳුවා ගනිමින් අත්දෙක පහළට හෙළූ බවත් ප්‍රකාශ කළා ය. දේවතාවියගේ ඉවසීම විශිෂ්ට බව ප්‍රකාශ කළ බුදුරදුහු ඇයගේ ක්‍රියාවට ප්‍රශංසා කළහ.

එහිදී බුදුරදුහු ඉහත කී ගාථාව වදාරමින් වේගයෙන් යන රථයක් අතුරු අන්තරාවක් නොවී, කරදරයක් නො වී පදවන්නාක් මෙන් යම්කිසිවෙකු තුළ ඇතිවන කෝපය සංසිඳුවා ගැනීමේ ඇති වැදගත්ම අගය කළහ. දෙවඟනගේ වාසස්ථානය වෙනුවෙන් අලුත් වෘක්ෂයක් ද බුදුරදහු ලබා දුන්හ. බුදුරදුන් දිවැසින් බලනවිට ඒ අසල වෘක්ෂයක් වාසස්ථානය කරගෙන සිටි දෙවියෙකු එයින් චුත වී යනු දැක ඒ වෘක්ෂය වාසස්ථානය කරගන්නා ලෙසත් දෙවඟනට දැන්වූහ. ඒ අනුව බුදුරදුන් පෙන්වා දුන් නව වෘක්ෂය තම වාසස්ථානය කරගත් අතර අනිත් දෙවිවරු ද එම දෙවඟනට විශේෂත්වයක් දක්වන්නට වග බලා ගත්හ.

මෙම සිද්ධිය අප වෙත මහඟු පාඩමක් උගන්වා ඇත. එනම් ක්‍රෝධය, තරහ, වෛරය, ඊර්ෂ්‍යාව ආදී සිත් නරක් කරන සිතිවිලිවල ඇති භයානකකමත්, එම සිතිවිලි ක්‍රියාත්මක වන්නට නොදී සිත පවිත්‍රව තබාගන්නට හැකියාවක් ඇත්නම් එයින් ලබන මහඟු සුවය ඔබට අත්විඳින්නට පුළුවන් වන බවත් ය.

උදේ පටන් රෑ නින්දට යනතුරු ඔබගේ එදිනෙදා ක්‍රියාදාමය දෙස බලන්න. ඔබගේ සිත අවුල්වන, වික්ෂිප්ත වන, නොසන්සුන්වන, පසුතැවිලි වන අවස්ථා දෙස බලන්න. සිත් තුළ කෝපය, ක්‍රෝධය, තරහ, වෛරය, ඊර්ෂ්‍යාව ඇතිවන අවස්ථා දෙස බලන්න. එබඳු අවස්ථාවලදී ඔබ මානසිකව කොතරම් පීඩාවට වේදනාවට පත්වූවා දැයි බලන්න.

ගෙදර දී ඔබගේ දරුවන් සමඟ තරහින්, කේන්තියෙන් කටයුතු කළ අවස්ථා දෙස බලන්න. දරුවන්ගේ සමහර ක්‍රියාකාරකම් ඔබ කෝප ගන්වා ඇත. භාර්යාවගේ ක්‍රියාකාරකම් දෙස බලා ඔබ කෝප වූ අවස්ථා තිබෙන්නට පුළුවන. ස්වාමිපුරුෂයාගේ නුරුස්සන ක්‍රියාකාරකම්වලින් ඔබ වේදනාවට පත් වූ අවස්ථා කොතෙකුත් තිබෙන්නට පුළුවන. තම පරිසරය, වටාපිටාව හා සමාජය සමඟ කේන්තියෙන් නො ඉවසීමෙන් ප්‍රශ්න උග්‍ර වූ අවස්ථා කොතෙකුත් තිබෙන්නට පුළුවන. තම කාර්යාලයේ දී, වැඩපළේ දී ආයතනයේ දී තරහින් වචන හුවමාරු කරගත් අවස්ථා මෙන් ම වෛරයෙන් පිපිරී ක්‍රියා කළ අවස්ථා ද මතකයට නංවන්නට පුළුවන. සමහර අවස්ථාවල සිතේ ඇති වූ ක්‍රෝධය වචනයෙන් හා ක්‍රියාකාරකම්වලින් පෙන්නුම් කිරීමට ගොස් විවිධ මාදිලියේ ප්‍රශ්න ඇති වූ අවස්ථා ද සුලබ විය හැකි ය. තරහෙන්, කේන්තියෙන් ක්‍රියා කළ සෑම අවස්ථාවකම ඔබ මානසිකව මෙන් ම ශාරීරිකව ද අසහනයට, වේදනාවට පීඩනයට පත් වූ බව ඔබ මේ වන විට ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගෙන සිටිනු ඇත. ක්‍රෝධය ඇතිවීමට බලපාන දසවිධ ආඝාත වස්තූන් පිළිබඳව බුදුදහමෙහි සඳහන් ය. ක්‍රෝධය, තරහ, වෛරය, ඇතිවීමට හේතු වන කරුණු දහයක් මෙහිදී පෙන්නුම් කර ඇත.

අසවල් තැනැත්තා මගේ දියුණුවට අකැමැති වී ඇත. මගේ දියුණුවට බාධා කර ඇත. මගේ දියුණුව වළක්වා ඇත.

දැනුත් ඒ අය මගේ දියුණුවට බාධා කරති. මගේ දියුණුව වළක්වති.

අනාගතයේ දී ද ඒ අය මගේ දියුණුවට බාධා කරනු ඇත.

ඒ තරහකරුවෝ මගේ මිතුරාගේ, දියුණුවට බාධා පමුණුවනු ඇත.

දැනුදු ඒ අය මගේ මිත්‍රයාගේ, හිතවතාගේ දියුණුවට බාධා කරති.

අනාගතයේ දී ද ඔවුහු මගේ මිතුරාගේ හිතවතාගේ දියුණුවට බාධා පමුණුවනු ඇත.

අසවල් අය මගේ සතුරාට විරුද්ධකාරයාට උදව් උපකාර කර ඇත.

අසවල් අය අනාගතයේ දී මගේ සතුරාට, විරුද්ධකාරයාට උදව් උපකාර කරනු ඇත.

යනුවෙන් නව විධ ආකාරයකින් සිතා විරුද්ධකාරයා කෙරෙහි වෛර කිරීම, ක්‍රෝධ කිරීම නවවිධ ආඝාත වස්තු ලෙස ධර්මයේ සඳහන් කර ඇත.

සමහර විට වැස්ස වසින විටද, වැස්ස නොවසින විටද, අව් රශ්මිය ඇතිවිටද, අව් රශ්මිය නැති විටද, සුළඟ ඇතිවිටද, සුළඟ නැති විටද, ඇවිදීමේ දී පා ගල්මුල්වල හැපුණු විටද, කෝප ගන්නා අවස්ථා කොතෙකුත් දැක ගන්නට පුළුවන. මෙයට අස්ථාන ක්‍රෝධය යැයි කියති. අස්ථාන ක්‍රෝධයත් සමඟ ආඝාත වස්තු දහසක් ධර්මයෙහි සඳහන් ය. ක්‍රෝධ සූත්‍රයට අනුව ද මිනිසා ක්‍රෝධයෙන් බලන, ක්‍රෝධයෙන් සිතන, ක්‍රෝධයෙන් බලා ඊර්ෂ්‍යාවෙන් පුපුරන අවස්ථා හතක් පෙන්වා දී ඇත. බුද්ධ චරිතය යනු අපගේ ජීවිත නිවැරැදිව හැඩගස්වා ගැනීමට මඟ කියාදෙන වටිනා පාඩම් පොතකි. බුද්ධ චරිතය තුළ ක්‍රෝධයෙන්, තරහෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් සිටි කිසිම අවස්ථාවක් දැක ගන්නට නැත. තමන් විනාශ කරන්නට ආ දේවදත්ත කෙරෙහිත් තම පුතු වූ රාහුල කෙරෙහිත් දැක්වූයේ එකම බැල්මකි. මාගන්ධියා බැමිණිය, චිංචිමානවිකාව වැනි කාන්තාවන් නොයෙකුත් නින්දා අපහාස, ඇණුම් බැණුම් සිදු කළ ද බුදුරදුහු ඒ කිසි දෙයකින් කම්පා නොවූහ. අස්ථානයෙහි කරන චෝදනා ගැරහුම් පවත්වන්නේ දින හතක් වැනි කාලයක් පමණක් බව බුදුරදුහු පෙන්වා දුන්හ. නින්දා අපහාසවලට පිළිතුරු දීමට බුදුරදුහු සූදානම් නො වූහ. මෙත් සිතින් ඉවසා වදාළහ. නිරපරාදේ සිදු කරනු ලබන දෝෂාරෝපණ ඒ අය වෙතට පෙරළා යනු ඇත.