Print this Article


සරු දිවියකට සරු දේ සරු ලෙසින් දකිමු

සරු දිවියකට සරු දේ සරු ලෙසින් දකිමු

“සාරංච සාරතෝ ඤත්වා
අසාරංච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති
සම්මා සංකප්ප ගෝචරා”
(ධම්මපදය – යමකවග්ගය)

යහපත් අදහස් ගොදුරු කොට ඇත්තෝ සරු දෙය ම ලබන්නාහු ය.

මෙහි සරු දෑ ලබන්නෙකු පිළිබඳ අවධානය යොමු කොට ඇත්තේ සරු දෑ නොලබන්නෙකුගේ ගති ලක්ෂණ පිළිබඳ විස්තර කිරීමෙන් පසුව ය. ඒ අනුව එහි ‘අසාරේ සාර මතිනෝ’ යන්නෙන් දක්වා ඇත්තේ නිසරු දෙය සරු ලෙස ගැනීම පිළිබඳව ය. නිසරු දෙය යනු විවිධ සම්පත් නොනිසි අයුරින් එක්රැස් කිරීමේ උත්සාහය වන අතර එය සිව්පසය යන පූජනීය නාමයෙන් හඳුන්වන අතර ආහාර, වස්ත්‍ර, නිවාස, බෙහෙත් යන මූලික මිනිස් අවශ්‍යතා අරමුණු වන බව සඳහන් කළ යුතුව ඇත. සියලු සමාජ සංස්ථා අතර මෙම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණක් නොව බලය සඳහා ද ඇත්තේ මහත් අරගලයෙකි. මෙහිදී එබඳු පුද්ගලයන් සරු දේ හෙවත් යහපත් දෙය ලෙස පිළිගනු ලබන්නේ දස අකුසලයන් හා දස වස්තුක මිත්‍යා දෘෂ්ටියයි. ‘මිච්ඡා සංකප්ප’ යන්නෙන් වැරදි දෑ නිවැරදි දෑ ලෙස දකිමින් පස්කම් සැපෙහිම ඇලෙමින්, ගැලෙමින් වැරැදි ආකල්පයන් අනුව සමාජ විරෝධි ක්‍රියාවන්හි නිරතවීම අදහස් කරනු ලැබේ.

මෙසේ ක්‍රියා කරන ලද පුද්ගල ක්‍රියාකාරීන් පිළිබඳ අපේ ධර්ම සාහිත්‍යයෙහි බහුල වශයෙන් තොරතුරු වාර්තාකොට තිබේ. එබඳු පුද්ගල චරිත පිළිබඳ විමසා බලනවිට පැහැදිලිවන මූලික ලක්ෂණයක් වන්නේ ඔවුන් යම් යම් මිත්‍යා සංකල්පයන්ගේ මන්මත්ව ක්‍රියා කර ඇති ආකාරයයි. මෙසේ පුද්ගල මනස මත් කරවන කරුණු සත් විස්සක් පිළිබඳව සඳහන් ය. ඒවා නම් කර ඇත්තේ ද ‘මද’ යන නමිනි. ඉන් මත්වීම, මත්පැන්, මත්ද්‍රව්‍ය යනාදියෙන් මත් වීමට වඩා බරපතල තත්ත්වයන් පෙන්නුම් කරයි. ඒවා නම් ජාති මදය, ගෝත්‍ර මදය, ආරෝග්‍ය මදය, යොබ්බන මදය, ජීවිත මදය, ලාභ සත්කාර මදය, ගරුකාර මදය, පුරෙක්කාර මදය, පරිවාර මදය, භෝගජන්න මදය, යස මදය, ඉද්ධි මදය, සීල මදය, ආරෝහ පරිණාම මදය, කතඤ්ඤ මදය, පිණ්ඩපාතික මදය යන නම් වලින් දැක්වේ. අපේ ධර්ම සාහිත්‍යයෙහි මෙබඳු මදයන්ගෙන් මත්ව වැරැදි සංකල්පනාවන්ගෙන් දිවි ගෙවන ලද පුද්ගල චරිත බහුල වශයෙන් දැක ගත හැකි ය. ඒ අතර ධනයම සාර වශයෙන් ගෙන ‘භෝග මදයෙන්’ මත්ව සිටි සිටුවරයෙක් ලෙස තෝද්‍යෙය නම් බමුණු සිටුවරයෙක් පිළිබඳ තොරතුරු වාර්තාකොට තිබේ. ඔහු තමා සතුව පැවති මහා ධනයට තිබූ දැඩි ඇල්ම හේතුකොට ගෙන මිය යාමෙන් පසු එම නිවසෙහි ම සුනඛයෙකු ව උපන් ආකාරය පිළිබඳව සඳහන් ය. සුබ නම් වූ ඔහුගේ පුතු මෙම සිදුවීම පිළිබඳ ව තථාගතයන් වහන්සේගේ පැහැදිලිකිරීම අසා සම්මා සංකල්පයට එළැඹි ආකාරය වැදගත් සිදුවීමකි. එසේම නන්දා සහ හේමා යන නම්වලින් හඳුන්වන ලද ඉතා රූමත් කාන්තාවන් දෙදෙනා පිළිබඳව සිදුවීම ද අපේ අවධානයට යොමුකරගත හැකි ය. මෙම රාජකීය කාන්තාවන් දෙදෙනා ම තථාගතයන් වහන්සේගෙන් ශාසනික තනතුරු ලැබීමේ සාංසාරික පුණ්‍ය මහිමයක් වූයේ නමුත් ‘රූප මදයෙන්’ මත්ව, ධර්මයෙන් ඈත්ව බුදුරදුන් දැකීමට ද අකැමැති වූ හ. අකැමැත්තෙන් වුව ද තථාගතයන් වහන්සේ වෙත එළැඹි මෙම කුලඟනන් දෙදෙනාගේ මන් බිඳෙන ලෙස උපක්‍රමශීලී ව රූපමය ධර්ම දෙසුමකට යොමු කරන ලද්දේ, නිසරු හැඟීම් බැහැර කොට සරු දහමට එළැඹි ආකාරය විචිත්‍ර වූවකි.

එසේම එහි ‘සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ’ යනාදී වශයෙන් සඳහන් සරු දෙය සරු ලෙසම පිළිගැනීමේ සම්මා සංකල්පය නිසා සසරින් එතෙර වීමේ වාසනාව ලබන ආකාරය පිළිබඳව ප්‍රකාශ වේ. වසර 2600 ඉක්මවාලු ශාසන ඉතිහාසයෙහි එබඳු පුද්ගලයන් ගණනය කළ නොහැකි තරම් විශාල පිරිසක් සිටි බව සඳහන් කළ යුතුව ඇති අතර අනේපිඬු සිටුතුමා, විශාඛා උපාසිකාව ආදීන් ප්‍රමුඛ භික්ෂු භික්ෂුණීන්, උපාසක උපාසිකාවන් පිළිබඳ අද දවසේ ද මහත් ගෞරවයෙන් සිහිපත් කරනු ලබන්නේ ඔවුහු සරු දෙය සරු ලෙස දකිමින් තම ජීවිතය සරු කරගත් උත්තම ගණයේ පුද්ගලයන් වන නිසා ය. මෙසේ සාර දෑ සාර වශයෙන් සඳහන් වන කරුණු පිළිබඳව එදා බුද්ධ කාලීන සමාජයේ මෙන්ම අද සමාජයෙහි ද පිළිගැනීම වන්නේ විවිධ සම්පත්වලින් පරිපූර්ණවීම සාරවත්වීම ලෙසත් එසේ නොමැතිවීම අසාරවත් වීම ලෙසත් ය. එය ලෞකික පුහුදුන් සමාජයෙහි සාමාන්‍ය පිළිගැනීම ය. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද සාර ධර්ම ලෞකිකත්වය ඉක්මවාලූ පෙන්වාදීමක් වන අතර උන්වහන්සේ විසින් දේශිත එම සාරධර්ම අප විසින් නොපිළිගන්නේ නම්, එය අපේ ශ්‍රාවකත්වයට ද නොගැළපෙනු ඇත.

තථාගතයන් වහන්සේ විසින් මෙම දේශනය සංජය පරිබ්‍රාජකතුමා අරමුණු කොට දේශනා කරන ලද්දේ උපතිස්ස කෝලිත නම් වූ තරුණ බමුණු කුමාරවරුන් දෙදෙනා තමන් වහන්සේ වෙත එළැඹීම පසුබිම් කොටගෙන ය. පසු කාලීනව අගසව් තනතුරු ලබන ලද මෙම බමුණු තරුණයන් දෙදෙනා රජගහනුවර ආසන්නයෙහි ඔවුන්ගේ නම් වලින්ම හඳුන්වන ලද ගම් දෙකකට අයත් වූවෝ වෙති. ඉතා යස ඉසුරින් යුතුවැ හැදී වැඩි ශිල්ප ශාස්ත්‍රයන්හි ද මනා නිපුණතාවයකට පත්ව සිටි මෙම තුරුණු දෙමිතුරෝ එක් දිනක් කිසියම් නාට්‍යයක් නැරඹීම සඳහා ගොස් එහි අසාරභාවය පිළිබඳ මහත් කළකිරීමට පත් වූ හ. එවකට කීර්තිමත් තව්සෙකු වූ සංජය පිරිවැජිතුමා සමීපයට ගොස් ඔහුගේ ඉගැන්වීම් අනුව එම දහම ප්‍රගුණ කිරීමෙහි යෙදුණි. එහි පරතෙර තෙක් උගත් මෙම බමුණු කුමරුවන් තමන් අපේක්ෂිත සරු දහම එය නොවන බව වටහා ගෙන සත්‍ය ගවේෂණය සඳහා නික්ම යන ලදී. එසේ ගමන් ගන්නා අතරතුර රජගහ නුවර එක් මාවතක දී අස්සජි මහරහතන් වහන්සේ දැක පැහැදී පිළිසඳර කතාවෙහි නියළුුණේ, උන්වහන්සේ විසින් තථාගත ධර්මය යනු කුමක් දැයි අවස්ථානුකූල ව ඉතා කෙටියෙන් හඳුන්වා දෙන ලදහ. එය ඇසූ සැනින් සෝවාන් මඟඵල ලබන ලද උපතිස්ස පිරිවැජි තෙමේ තමන් අසන ලද සරු දහම කෝලිත පිරිවැජියාට ද දේශනා කරන ලද්දේ ඔහු ද සෝවාන් මඟඵලලාභි වූයේ ය. අනතුරුව මෙම දෙදෙනා සංජය පිරිවැජිතුමා හමුවට පැමිණ තමන් ලද උසස් සරු දහම පිළිබඳ සඳහන් කොට බුදුරදුන් හමුවීමට යාම සඳහා යෝජනා කරන ලදී. එහෙත් එම සරු දහම පිළිගැනීමට අකමැති වූ සංජය පිරිවැජිතුමා වෙතින් ඉවත් ව බොහෝ පිරිසක් සමඟ තථාගතයන් වහන්සේ වෙත පැමිණි මෙම බමුණු කුමරුවන් දෙපළ පැවිදි දිවියට පත්වූහ. රහත් බව ලැබ සම්බුදු සසුනෙහි අගසව් තනතුර සඳහා ද පත් වුණි. සංජය පිරිවැජිතුමා මහත් සේ කළකිරීමට පත්ව ශෝකීව මහත් පරිහානියට පත් විය. බුදුරදුන් මෙම සිදුවීම පාදක කොටගෙන නිසරු දහමෙහි ඇති සදොස් බවත්, සරු දහමෙහි ඇති නිදොස් බවත් පෙන්නුම් කොට ධර්ම දේශනා කළ සේක.

සරු නිසරු දේ තෝරා ගැනීම නිරන්තරයෙන් ම බෞද්ධයන්ට පැවරී ඇති වගකීමක් ලෙස සඳහන් කළ හැකි අතර ඒ සඳහා වැරැදි ආකල්පයන්ගෙන් ඉවත්වීමේ අවශ්‍යතාවය දහමින් පෙන්නුම් කොට තිබේ. එසේ නිවැරැදි ආකල්පයන් ඇති කර ගැනීම සඳහා අද දිනය ඉතා උචිත වේ. පෙර වස් සමාදන් වූ භික්ෂූහු මහා පවාරණයෙන් පවාරණය වීම වප් පුරපොහෝ දිනයෙහි සිදු වූ මහා විනය කර්මයක් ලෙස දැක්විය හැකි මතුනොව අදට යෙදෙන ඉල් පුරපොහෝ දිනය දක්වා වූ එකුන් තිස් දිනක කාලය කඨිනාස්ථරන කාල සීමාව ලෙස විනය ග්‍රන්ථයන්හි සඳහන් වන අතර චීවර මාසය ලෙස සාමාන්‍ය ජන වහරෙන් භාවිත කෙරේ. මෙම වකවානුව තුළ බොහෝ දෙනා මහා කුසලයන්ගෙන් පළමු වැනි පින්කම වූ කඨින මහා පින්කමෙහි සරුසාර ආනිසංසයන් ලැබීම සඳහා උත්සුක වූයේ මහත් කැපවීමකිනි. එමෙන්ම කඨින චීවර පූජාවන් සිදුකළ හැකි අන්තිම දිනය වන්නේ ද අද දිනයයි. බුද්ධ චරිතයෙහි සහ ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් රාශියක් අද දිනයෙහි සිදුවී ඇත. එපමණක් නොව ඒ අතර ජටිල දමනය, ප්‍රථම ධර්ම දූත පිරිස ධර්ම ප්‍රචාරය පිණිස පිටත්ව යාම, මෙතේ බෝසතුන් විවරණය ලැබීම මෙන්ම පසුවස් විසූ භික්ෂූන් වහන්සේලාගේ පවාරණ දිනය වන්නේ ද ඉල් පුරපොහෝ දිනයයි. මෙම සිදුවීම් ද මතකයට නංවාගනිමින් නිසරු දෙයින් බැහැරව, සරු සංකල්පනාවලින් යුතුව සසර සරුසාර කොටගෙන, සසරින් එතෙර වීම සඳහා අදිටන් කරගත යුතුව ඇත.