Print this Article


වසර 105 ක් සපිරෙන විතාරන්දෙණියේ ශ්‍රී සුදර්ශනාරාමය

වසර 105 ක් සපිරෙන විතාරන්දෙණියේ ශ්‍රී සුදර්ශනාරාමය


සෑ රදුන් වහන්සේ

අපේ පන්සල ගමේ පන්සල අපේකම රැක්කා
අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ සිටියා
අපේ ගම්වල අපේ දරුවන් සසුන් ගත කරවා
නිවන්පුර වැද නිවී සැනහෙන මාවතේ යැව්වා
අපේ දෙස බස අපේ පන්සල නිසාවෙන් රැකුණා........

රඹුකන ශ්‍රී සිද්ධාර්ථ හිමියන් විසින් පබඳින ලද උක්ත ගීතයෙන් කියැවෙන්නේ පන්සලෙන් ගමටත්, සමාජයටත්, ආගමටත්, මව්බිමටත්, ජාතියටත් සිදුවන අමිල සේවාවෙන් කොටසකි.

ඉපැරැණි රෝහණයේ ගිරුවාගම් දොළොස් දහස් රටට අයත් වූ නූතන දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඓතිහාසික විතාරන්දෙණිය ග්‍රාමයේ පිහිටා ඇති ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය ආරම්භ කොට 2018 වර්ෂය වන විට වසර 105 ක් ගත වේ. පුරා සියවසකට වැඩි කාලයක් තුළ විවිධ යුග පසුකරමින්, අනේකවිධ සමාජ, ආර්ථික විපර්යාසයන්ට නො සැලී මුහුණ දෙමින් අපේකම, අපේ රට, අපේ ආගම රැක ගනුවස් මිල කළ නො හැකි තරම් සේවාවක් සුදර්ශනාරාමයෙන් සිදුව තිබේ.


රන්වැට සහිත බෝධින් වහන්සේ

සිංහල භික්ෂුවංශය පිරිහීගොස් තිබූ මහනුවර යුගයේ එය නැවත පුනර්ජීවනයට පත් කළ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ගේ සඟ පරපුරෙන් පැවත එන වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරේ පහතරට යුගකාරක යතිවරයන් වහන්සේ නමක් වූ මුලනේ ගුණානන්ද නා හිමියන් විසින් 1913 වසරේ දී සුදර්ශනාරාමය ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ. කිරින්දේ දේවානන්ද හා පලපොත ධම්මානන්ද ආදී පසුකාලීන විහාරාධිපතීන් වහන්සේලා විසින් විහාරස්ථානය තවදුරටත් සංවර්ධනය කරමින් බොදු ජනයාගේ අධ්‍යාත්මික දියුණුව සඳහා සුවිසල් සේවාවක් සිදු කොට ඇත්තාහ.

මෑත කාලීන ලාංකේය සඟ පරපුරේ මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ විතාරන්දෙණියේ චන්දජෝති නා හිමි සුදර්ශනාරාම සඟ පරපුරේ අද්විතීය චරිතයකි. උන්වහන්සේ කොළඹ වාණිජ අගනගරයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය ගොඩනංවා බොදු ලකුණ ස්ථාවර කළහ. කොටි ත්‍රස්තවාදීන්ගේ රුදුරු ප්‍රහාරයකින් අපවත් කරන ලද චන්දජෝති නා හිමියන් රටට ජාතියට පමණක් නොව මුළුමහත් බෞද්ධ ලෝකයාට ම මහත් සේවාවක් සිදුකළ ශ්‍රේෂ්ඨ බුද්ධපුත්‍රයන් වහන්සේ නමකි.


කිරින්දේ ගුණසිරි හිමි

ස්වභාව ධර්මයේ ආපදා හමුවේ වියැකීමට ගිය ශ්‍රී සුදර්ශනාරාමය ඊට මදක් මෑතින් නව භූමිභාගයක ස්ථාපනය කරමින් සුදර්ශනීය විහාරයක් ලෙස පුනර්ජනනය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ කඳුරුපොකුණ සිරි ධම්මතිලක පරිවේණාධිපති ධූරය දැරූ වර්තමාන විහාරාධිපති කිරින්දේ ගුණසිරි ලොකු හාමුදුරුවන් වහන්සේ විසිනි. උන්වහන්සේගේ අනූපමේය කැපවීම, අප්‍රතිහත ධෛර්ය හා නොසැලෙන නායකත්වය නිසා දශක හතරක තරම් කාලයක් තුළ සියලු විහාරාංගවලින් සමලංකෘත නව විහාරස්ථානයක් විතාරන්දෙණිය ග්‍රාමයට උරුම ව තිබේ.

සීමාමාලකය සහිත සංඝාවාසය, ප්‍රධාන ධර්මශාලාව, නව බුද්ධ මන්දිරය, චෛත්‍ය රාජයාණන් වහන්සේ, රන්වැට සහිත බෝධීන් වහන්සේ, දෙමහල් ධාතු මන්දිරය, නව දාන ශාලාව සහිත සංඝාවාසය හා විෂ්ණු කතරගම දේව මන්දිරය ආදී සකලවිධ විහාර අංගයන් ම උන්වහන්සේගේ අනුශාසනා මත ඉදිකර අවසන් ව තිබේ. නව බුද්ධ මන්දිරය නූතන බෞද්ධ චිත්‍ර සම්ප්‍රදායේ සිතුවම්වලින් අලංකාර කර තිබේ. විහාරස්ථාන පිවිසුමේ වාහල්කඩ ද ඉදිවෙමින් පවතී. විහාරස්ථානයේ සකලවිධ අංගයන් ම කෙටි කාලයකින් ඉදිකර අවසන් කිරීමට හැකි වීම විශ්මය දනවන්නකි. ගුණසිරි ලොකු හාමුදුරුවන්ගේ කැපවීමේ ප්‍රතිඵලයකි.

භෞතික සම්පත් ගොඩනැඟීම පමණක් ස්වකීය කාර්යභාරය ලෙස නො සලකන ගුණසිරි ලොකු හාමුදුරුවන් වහන්සේ මානව සම්පත් අධ්‍යාත්මික ව දියුණු කිරීමට ද ප්‍රවේශ රැසක් ගෙන තිබේ. ශ්‍රී ගුණානන්ද දහම් පාසල දහස් ගණනක බොදු දරුවන්ගේ හදවත් යහගුණයෙන් පෝෂණය කරවයි. ගමෙන් පන්සලට පමණක් නොව, පන්සලෙන් ගමට ද සබඳතා තරවිය යුතු බව වටහා ගෙන සිටින උන්වහන්සේ ගම්වැසියන්ගේ අඩුපාඩු, දුෂ්කරතා විමසා බලා හැකි අයුරින් උපකාර කිරීම ද සිදු කරති. ගමත්, පන්සලත් අතර වූ සබඳතාව ගිලිහී යා නො දී යළි පණගැන්වීම යුගයේ අවශ්‍යතාවක් වන බවට බෞද්ධ වියතුන් දක්වන අදහසට එය සමපාත වේ. එමෙන් ම විතාරන්දෙණිය ශ්‍රී සුදර්ශනාරාම සඟ පරපුරේ යතිවරයන් වහන්සේ රැසක් වර්තමානයේ දෙස් විදෙස්හි බෞද්ධ ප්‍රබෝධයට උරදෙමින් සිටිති.

මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමි, කථිකාචාර්ය විතාරන්දෙණියේ මේධානන්ද හිමි, මනෝ විද්‍යා උපදේශක කිරින්දේ පේමසිරි හිමි ඒ අතර ප්‍රමුඛ වෙති. විතාරන්දෙණිය ශ්‍රී සුදර්ශනාරාමය බෞද්ධ ලෝකයාට ම සුවසෙත සලසන සදහම් අරණකි.


සිතුවම් සහිත ධාතු මන්දිරය

අසූ මහා ශ්‍රාවක ප්‍රතිමාවහන්සේලා

සම්බුදු මැදුර

ධාතු මන්දිරය