Print this Article


සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදින්න ගෞරව නාමය සහිත හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන අබේසේකරගම ගුණරතන නා හිමි

සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදින්න ගෞරව නාමය සහිත හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන

අබේසේකරගම ගුණරතන නා හිමි

ගුණරතන නාහිමියෝ ඉක්බිතිව පූර්ණ කාලීනව වේහැල්ලේ ශ්‍රී වේළුවනාරාම මූල මහා විහාරස්ථානය කේන්ද්‍රකරගෙන සුවිශාල ආගමික, සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපනික සේවාවන් රැසකට නායකත්වය සැපයූහ.


වේහැල්ලේ වේළුවනාරාම මූල මහා විහාරය

දික්වැල්ල වේහැල්ලේ ශ්‍රී වේළුවනාරාම මූල මහා විහාරාධිපති, ශාස්ත්‍රපති අබේස්කරගම ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව මගින් ‘සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදින්න’ යන ගෞරවනාම සම්මුතිය සහිතව හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා තිබේ.

ලක්දිව ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මේ යැයි, මැනවින් ප්‍රකට කරමින් වැඩ සිටින ගුණරතන නාහිමියන් ගුණ නැණ බෙලෙන් පිරිපුන් ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමකි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගෙනහිර ගිරුවා පත්තුවේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිංහල රජ කාලයේ සිට පැවතෙන නින්දගමක් වැනි වූ අබේසේකරගම නමැති සුන්දර ගම් පියසක් වෙයි. සැදැහැවත් සොඳුරු මිනිසුන් වසන එම පෞරාණික ගම්පියස අබේස්කර පරපුරට අයත් ය.

මෙම අබේසේකරගම මහගෙදර පරපුරෙන් පැවතෙන සද්ගුණවත් මාටින් අබේසේකර මහෝපාසකතුමන්ගේ හා වීරකෝන් රත්නායක හීන්හාමි මහෝපාසිකා මාතාවගේ පුත්‍ර රත්නයක් ලෙස 1952 ඔක්තෝබර් මස 27 වැනි දින පන්වත් කුමරුන් ජන්ම ලාභය ලැබීය. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ හ/ අබේසේකරගම මිශ්‍ර පාඨශාලාවෙන් ය. 1968 මැයි මස 10 වැනි දා ට යෙදී තිබූ වෙසක් පුර පසළොස්වක පොහොය දා වේහැල්ලේ තෝරපිටියේ ශ්‍රී වේළුවනාරාම මූල මහා විහාරස්ථානයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විය. එහි දී උන්වහන්සේගේ ආචාර්යවරයා වූයේ සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මදින්න වේහැල්ලේ දේවමිත්තාභිධාන මාතර හම්බන්තොට දෙදිසාවේ ද්විතීය සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. මාතර මහා මන්තින්ද පිරිවෙනින් හා ගාල්ලේ කුඹල්වැල්ල ශ්‍රී රේවත මහ පිරිවෙනින් ධර්මවිනය භාෂා ශාස්ත්‍රය මැනවින් හදාළ ගුණරතන හිමියෝ 1976 ජූනි 08 වැනිදා මහනුවර මල්වතු මහා විහාරයීය රාජකීය මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූහ.

ඉක්බිතිව 1977 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ගුණරතන හිමියන් 1981 දී බෞද්ධ සංස්කෘතිය පිළිබඳ පන්ති සාමාර්ථයක් ද සහිතව ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගත්තේ ය. තදනන්තරව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද තත් ජාතික අධ්‍යාපන ආයතනයෙන් ම ඒ.බී. විදුහල්පති පුහුණු පාඨමාලාව ද, පන්ති සාමාර්ථයක් ද සහිතව සමත් විය. මෙසේ උසස් අධ්‍යාපනය ද ඉතා සාර්ථකව නිම කළ ගුණරතන නා හිමියන් දික්වැල්ල වැවුරුකන්නල විද්‍යාතුංග විද්‍යායතන පිරිවෙණේ පළමු ගුරු පත්වීම ලැබීය. ඉක්බිතිව පාසල් ගුරු සේවයට පිවිසි උන්වහන්සේ ත්‍රිකුණාමලය මොල්ලිපොතාන සිංහල විද්‍යාලය, ත්‍රිකුණාමලය ගන්තලාව මහා විද්‍යාලය, කඩුවෙල බෝමිරිය බාලිකා කණිෂ්ට විද්‍යාලය, මාලඹේ ශ්‍රී යශෝදරා මහා විද්‍යාලය, මාතර ඌරුගමුව රදම්පොළ මධ්‍ය මහා විද්‍යාලය යන විදුහල්වල ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස සේවය කළහ.

පසුව ගුණරතන නාහිමියන් ඇතුළත් වූයේ විදුහල්පති සේවාවටය. ඒ අනුව විදුහල්පති පදවි දැරූ විද්‍යාල මෙසේ ය.

මාර/ ඌරුගමුවේ රදම්පොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය 1996 සිට 2002 දක්වාද,

මාර / මුරුතගස්පිටිය මහා විද්‍යාලයේ 2002 දී මාස කිහිපයක් ද,

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ 2002 – 2006 දක්වාද,

දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ 2006 දී මාස කිහිපයක් සහ

මාතර මධ්‍ය මහා විද්‍යාලය 2006 - 2009 යේ දක්වා ද සේවය කළහ.

2009 දී සේවය දීර්ඝ කිරීමකින් තොරව විශ්‍රාම ලබාගත් ගුණරතන නාහිමියෝ ඉක්බිතිව පූර්ණ කාලීනව වේහැල්ලේ ශ්‍රී වේළුවනාරාම මූල මහා විහාරස්ථානය කේන්ද්‍රකරගෙන සුවිශාල ආගමික, සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපනික සේවාවන් රැසකට නායකත්වය සැපයූහ.

අබේසේකරගම ශ්‍රී ගුණරතන අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම. මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 23 වනදා පස්වරු 3.00 ට මහනුවර මල්වතු මහා විහාරයේ දී පැවැත් වේ.

අභිනව නාහිමියන් පිළිගැනීමේ උළෙල මෙම මස 25 පස්වරු 3.00 මල්වතු පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්තී අග්ගමහා සද්ධම්මජෝතිකධජ ආචාර්ය පණ්ඩිත නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් වේහැල්ලේ වේළුවනාරාම මූල මහා විහාරයේදී පැවැත්වේ. මෙහිදී අභිනව නාහිමියන් වෙනුවෙන් ‘පුෂ්පාඤ්ජලී’ නමැති අභිස්තව ශාස්ත්‍රීය සංග්‍රහයක් ද එළි දැක්වේ.