Print this Article


පහන් සිතක කවි

වෙනස කිම

දිගු - සැප ජීවිත
කෙටි – දුක් ජීවිත
කියා මොන වෙනසක්ද?
සැරිසරන්නේ
දුක් සසරෙනම්

****

කඨින චීවර පූජාව

කිසි දින කිසිම දුගතියකට නො වැටේය
රිසි දින නිවන වෙත මග සකසා දේ ය
දිසි මඟ ආනිසංසය පිරි පින්කමය
නිසි ලෙස පුදන ගුරු කඨිනය චීවරය

සැප දින නො කළ හැකි, වසරට වරකි මෙය
සබැඳෙන පැවිදි ගිහි සවියෙන් තැනෙයි එය
උපදින භවය පිළිබඳ යහ සොඳුරුමය
සුවදෙන පින්කමට නියමිත මේ සමය

****

නිවීම

පිඬුසිඟා වඩින සඳ
වේගවත් පහර වැද
හිමි සිරුර
දැඩි ලෙසින් පෙලු නමුත්
සිතෙක්, පුද්ගලයෙක් යැ යනු
ස්කන්ධ පංචකය
මම කොට ගැනීමෙන්
මගේ කොට ගැනීමෙන්
සකස් වූ
සංස්කාර ගොඩක් පමණක් යැයි
පිරිසිඳ දුටු
පින්වත්
සැරියුත් සමිඳුනි
කාටනම් හැකි වේවිද
සසල කරවන්නට
සසර දිනූ
නිසසල
ඔය මෙත් සිත

****

මතට – දුමට තබමු තිතක්

මංගල්ලෙට , අවමඟුලට දානෙට පිරිතට
කැන්දති මත් වතුර සමඟ දුම්වැටි ගෙදරට
රංචු ගැසී පානය කර ඇණ ගෙන ගුටි බැට
රංඩු දබර කරති විපත් කරගෙන සිරුරට

සිතුම් පැතුම් දෑ හැඟුමන් උතුරන හද තුළ
ගතින් සිතින් සහ දිරියෙන් ගන්වන සවිබල
නැණින් ගුණෙන් හැඩ වී පිබිදෙන්නට දරු කැළ
මතින් දුමෙන් තොර වේවා මගෙ දිවයින හෙළ

****

පින් කරමු

උපතට විපත දෙකටම ඇරැයුම් නොමැතී
තනියට සුසානයෙ කිසිවෙක් ළඟ නොමැතී
තිලොවට තිලක හිමි සදහම් මඟ නැවතී
සසරට බියව පින්කම් වල යෙදෙමු නිතී

****

සතුට

ඉපදී මැරෙන යළි ඉපදෙන නො තිර බවේ
සතුටින් පෙනෙන සිත නිතරම දුකින් තැවේ
මේකයි ලෝ දහම කවුරුත් එයට තැවේ
ඉන්නා ටික දවස සතුටින් ඉඳිමු ලොවේ

කරුණා දයා මුදිතා මෙත් මල් පීදී
සිල්වත් බවින් පිරී පිරිසුදු සිත් පෑදී
බුදු බණ රැඳුණු සිත් ඇති ගුණයෙන් තාදී
දකිනෙමු නිවන් අපි මේ අත් භවයේ දී

****

සිත

එහෙ දුවයි
මෙහෙ දුවයි
එක තැනක
ඉන්න බැරි
දැල් දාලවත්
අල්ලන්න බැරි
අකීකරු
සිත