Print this Article


බුහුමනට ලක්වන උපාසක පැවතුම්

බුහුමනට ලක්වන උපාසක පැවතුම්

සම්මාසම්බුද්ධ ශාසනයෙහි සිව්වනක් පිරිසක් පිළිබඳව කියැවෙනවා. මේ සිව්වනක් පිරිස පෙළගැස්වීමේ අනුපිළිවෙළක් තිබෙනවා. භික්ෂු, භික්ෂුණී, උපාසක හා උපාසිකා යන පිළිවෙළින් ඒ සියලු ම දෙනා බුද්ධශ්‍රාවකයෝ ලෙස යි පැහැදිලි කරන්නට පුළුවන් වන්නේ.

මේ හැරුණහම අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට එක්රැස්වන පිරිස් අනුව කොටස් අටක් ගැන බෝධිවංශයෙහි සඳහන් වෙනවා. ඒ අටකොටස කවුරු ද? යන්න පැහැදිලි කර ගැනිම ත් මෙහි දී වැදගත් වෙනවා. භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා වශයෙන් මුල දී ප්‍රකාශ කෙරුණු සිව්වනක් පිරිසට තවත් පිරිස් හතරක් එකතු වෙනවා. චාතුම්මහාරාජික පිරිස, තාවතිංස පිරිස, මාර පිරිස, බ්‍රහ්ම පිරිස යනුවෙනි.

ඉතින් මේ පිරිස් බුදුරජාණන් වහන්සේගේ දින චරියාව අනුව ඔවුන්ට වෙන් කර තිබෙන මධ්‍යම රාත්‍රියෙහි බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ උන්වහන්සේගේ දේශනාවන්ට සවන් දී ඇති බව ත්‍රිපිටකයේ එන සූත්‍රධර්මවලට අයත් නිදාන කථා වන්ගෙන් පැහැදිලි වෙනවා. මේ අවස්ථාවේ දී අප විශේෂයෙන් කරුණු සොයා බලන්නේ මෙහි කියැවෙන උපාසක පිරිස පිළිබඳව යි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස් අටක් වශයෙන් ගතහොත් එයින් 3 වන තැනට පෙළ ගස්වා තිබෙන්නේ “උපාසක” කොටසට ගැනෙන පිරිස බව අප විසින් අමතක කරන්නට හොඳ නැහැ. එයින් අදහස් කරන්නේ මේ උපාසක පිරිස අපේ මේ බෞද්ධ ජනසමාජය තුළ වැදගත් තැනකට පත් වෙනවා කියන මේ කාරණය යි. සැබෑ උපාසකවරයා බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන සරණ ගිය, පස්පව්වලින් වැළකි අයෙකු වෙනවා.

අපේ බෞද්ධ සාහිත්‍යයේ එන ඉතා වැදගත් දේශනා රැසක් අඩංගු වන ධර්මග්‍රන්ථයක් ලෙස “මිළින්ද ප්‍රශ්නය” හෙවත් “මිළින්දපඤ්හ” නම් පාලි ග්‍රන්ථය හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ ග්‍රන්ථයේ දී මිළිඳු නම් මහරජතුමාට නාගසේන හාමුදුරුවන් වහන්සේ විසින් උපාසකවරයෙකු තුළ දක්නට ලැබෙන ගුණ දහයක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව සැබෑ උපාසක බවට පත් වූ තැනැත්තා නිරන්තරයෙන් මහාසංඝයා වහන්සේගේ සුවදුක් ගැන සොයා බලන උන්වහන්සේ සමඟ සමාන සුව දුක් අනුභව කරන කල්‍යාණ මිත්‍රත්වයට පත් වූ අයෙකු බවට පත් වෙනවා. මෙම කාරණය අපේ අතීත වෙහෙර විහාරස්ථානවල වැඩවිසූ භික්ෂූන් වහන්සේලා හා ගිහි උපාසක ජනතාව ගත කළ ජිවිත දිහා බලන කොට වඩාත් පැහැදිලි වෙනවා.

එදා බටහිර ජාතීන් ලංකාවේ අණසක පිහිටුවා ගන්නට උත්සාහවත් වෙන කොට ඒ තත්ත්වය ඇති කරන්නට ඒ අයට බාධකව පැවතුණේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේවානම්පියතිස්ස මහරජතුමාගේ සහාය ලබා ගෙන ඉතා කෙටි කලකින් ගම්නියම්ගම්වල වෙහෙර විහාරස්ථාන ඇති කළාට පස්සේ බුද්ධාගම ශීඝ්‍රයෙන් මේ ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරී ගියා වගේ ම ගමේ විහාරස්ථානයේ වැඩවාසය කරන භික්ෂූන් වහන්සේ ත්, ගමේ ජීවත්වන බෞද්ධ උපාසක උපාසිකාවෝත් ඉතා සමීප සම්බන්ධයක් ඇති ව දුක සැප එකට බෙදා හදා ගෙන ජීවත් වුණා. මේ නිසා බටහිර ජාතීන් නිතර ම ඔවුන්ගේ අරමුණු ඉටු කරගන්ට නො හැකිව පරාජයට පත් වුණා.

එදා ගමේ ජිවත් වුණු උපාසක පිරිස කිසි ම ආකාරයකින් මහාසංඝයා වහන්සේගෙන් ඈත් කරන්ට හැකියාවක් තිබුණේ නැහැ. එහෙම තිබිලා ක්‍රමානුකූල ව මෙහි සත්‍යය වටහා ගත් එම බටහිර ජාතීන් එම ගමේ උපාසක පිරිස භික්ෂූන් වහන්සේගෙන් ඈත් කරලීමට විවිධ උපක්‍රම යොදා එම ගමේ උපාසක උපාසිකා පිරිස හා භික්ෂූන් වහන්සේ අතර පැවති මිත්‍රත්වය නැති කළා. ඉන් ජයගත් පසුව එම පිරිසට ලංකාව නතු කර ගැනීමට හැකියාව උදාවුණා.

දෙවැන්න මේ උපාසකවරු දිවිහිමියෙන් සද්ධර්මය පිහිට කොට ජිවත් වීමයි. මේ නිසා බෞද්ධ උපාසකවරු සමාජයේ ගරු බුහුමනට ලක්වුණා. පස්පව්වලින්, දසඅකුසලයෙන් ඈත් වුණු සැබෑ දැහැමි දිවිපෙවෙතක් ම ගත කළා. එමෙන් ම සැදැහැති උපාසකවරයා බෞද්ධ පුදපූජා, වත්පිළිවෙත් නිරන්තරයෙන් ම යෙදී කටයුතු කරනවා. මේ නිසා ගමේ පන්සලට එක්රැස්වෙලා එම බෞද්ධ පූජා උත්සව සංවිධානය කරනවා. අදත් අපේ වෙහෙර විහාරස්ථානවල පවත්නා දාන, ශීල, භාවනා විවිධ වැඩසටහන්, බෝධි පූජා, ධර්මදේශනා, පිරිත් දේශනා, කඨින පින්කම් හා දන්සැල ආදිය දිහා බලනවිට මේ කාරණය අපට වඩාත් පැහැදිලි වෙනවා. ඒ වගේ ම සර්වඥ ශාසනයට යම් විපත්තියක්, කරදරයක්, විනාශයක්, පිරිහීමට හේතුවක්, කරුණක් දැනගත් විගස ඒ තත්වය පිටු දැක එයින් මේ සර්වඥ ශාසනය මුදවා ගෙන එය යථා තත්වයට පත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගැනිම සඳහා නිරතුරුව ම වීර්යය කරනවා. මේ කරුණු පිළිබඳවත් අපේ ඉතිහාසයෙන් මෙන් ම වර්තමානයෙන් නිදසුන් සපයා ගතහැකි අවස්ථා බොහොමයක් තිබෙනවා.

මේ දිනවල අපේ රටේ උද්ගතව තිබෙන අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පිරිසුදු බුදුදහම විකෘති කිරිමට ගන්නා ඇතැම් උත්සාහයන් දැක්ක අපේ බොහෝ ගිහි බෞද්ධ පිරිස් ඒ වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරමින් විවිධ අවිහිංසාවාදි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය අපට පැහැදිලි ව පෙනී යනවා. ඒවගේ ම නිවැරැදි පිළිවෙත් අනුගමනය කරමින්, සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටා, වැරැදි මත ඉවතලමින් සම්මා සම්බුද්ධ ශාසනයේ දියුණුවට ක්‍රියා කිරීම තවත් උපාසක ලක්ෂණයක් විදිහට මිළින්ද ප්‍රශ්නයෙහි සඳහන් වෙනවා.

ඒ වගේ ම තෙරුවන් විෂයයෙහි පවත්නා ශ්‍රද්ධාවට පලුද්දක් ඇති නො කරගනිමින් වෙනත් අන්‍යාගමික මතවාද, විවිධ ලාභ ප්‍රයෝජන මත අනුගමනය නො කරමින් හැමවිට ම බුද්ධාදි රත්නත්‍රය කෙරෙහි නො බිඳෙන ශ්‍රද්ධාවෙන් ජිවිතය පවත්වා ගෙන යාමට ක්‍රියා කරනවා. එමෙන් ම ඊළඟ උපාසක ගුණය ලෙස පෙන්වා දී තිබෙන්නේ කය හා වචනය සංවර කර ගත් සැබෑ සිල්වත් පැවැත්මකින් කටුයුතු කරන අයෙකු වන බව. නිතර ම ජීවත්වන සමාජයේ කොයි කවුරුත් සමඟ සමඟියෙන් ජීවත්වීමට රුචි බවක් දැක්වීමත්, සමඟියෙන් ක්‍රියා කිරීමත් තවත් උපාසක ලක්ෂණයක් ලෙස පෙන්වා දී තිබෙනවා. ඒ වගේ ම කිසිම අයෙකුට ඊර්ෂ්‍යාවෙන් කටයුතු නො කිරීම, තමන්ට ලාභ ප්‍රයෝජන උදෙසා හෝ වෙනත් වංචනික හැඟීමකින් ශාසනික කටයුතුවල නො යෙදෙන අයෙකු ලෙස ක්‍රියා නො කිරීමත් තවත් උපාසක ලක්ෂණයකි. ඒ වගේ ම සැබෑ ලෙස ම බුදුන්, දහම් හා සඟුන් සරණ ගිය අයෙකු බවටත් පත්වීම, යන මේ උපාසකයා තුළ පවතින ගුණ ලෙස නාගසේන හාමුදුරුවෝ මිළිදූ මහරජුට පෙන්වා දී තිබෙනවා.

මේ ආකාරයෙන් බලනවිට දැන් අපට වැටහෙනවා “උපාසක බව” යන්න මොන තරම් වටිනා අර්ථ එකතු කර ගත් චරිත ලක්ෂණවල එකතුවක් ද යන්න. එහෙම නම් උපාසකවරයෙකු බවට පත් වීම කිසියම් ගිහි ජිවිතයක ලබන්නට පුළුවන් ඉහළ ම ගෞරව නාමයක් බව, උසස් ම තත්වයක් බව මේ කරුණු මගින් පැහැදිලි වෙනවා.

ඊළඟට වැදගත් වන්නේ ඒ උපාසක බවේ තියෙන වටිනාකම තේරුම් ගෙන එය මැනවින් ආරක්ෂා කර ගැනීම යි. ඒ මොක ද? ඒ උපාසක බව තමන් වෙතින් ගිලිහීයාමට හේතු වන කාරණාත් පවතින බව බුදු රජාණන් වහන්සේ “උපාසක අපරිහානීය’ සූත්‍රයෙන් අපට පැහැදිලි කර දී තිබෙනවා. සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයක මේ “උපාසක බව පිරිහෙළන කරුණු හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයින් පළමු වැන්න වන්නේ භික්ෂූන් වහන්සේ දැකීමට අප්‍රිය වී උන්වහන්සේලාගෙන් දුරස්ථ වීම යි.

මෙහි දී භික්ෂූන් වහන්සේ ත් උපාසකවරයා ත් අතර තිබිය යුතු සම්බන්ධය නිසා උපාසකබව වැඩි දියුණුවන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ “භික්ඛුමිත්ත සූත්‍ර දේශනාවේ” පෙන්වා දී තිබෙන විදියට භික්ෂුව ගිහි ජනතාවට සිටින බරපතල කල්‍යාණ මිත්‍රයෙක් යන්න පැහැදිලි කර තිබෙනවා. දෙවනුව උපාසක බවට බාධක ව පවතින කරුණ ලෙස බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා සද්ධර්මශ්‍රවණයෙන් දුරස්ථ වීම. දහම් ඇසීම මගින් ශ්‍රද්ධාව, ප්‍රඥාව වර්ධනය වී විමුක්ති මාර්ගයට යොමු වෙනවා. සද්ධර්මශ්‍රවණයෙන් දුරස්ථ වන සමාජයක දක්නට ලැබෙන්නේ කාමභෝගි භෞතික සැපසම්පත් කෙරෙහි දැඩිව ගැලුණු පිරිසක් නිසා ඔවුන් වෙතින් නිවන්මග ඈත් වෙනවා. එය බෞද්ධ පිළිවෙත වන්නේ නැහැ. තෙවනුව, උසස් තත්වයෙහි ශීලා දී ගුණධර්මවලින් ඈත් වී ක්‍රියා කිරිමත් උපාසක බව පිරිහෙළන කරුණක් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. සිව්වනුව මහලු, මධ්‍යම හා නවක යන කොටස් තුනට අයත් භික්ෂූන් වහන්සේගේ දොස් දකිමින් ඒ අය පිළිබඳ අප්‍රසාදයෙන් ක්‍රියා කිරීම නිසා ත් උපාසක බව පිරිහෙනවා.

පස්වෙනුව සද්ධර්මයෙහි දෝෂයක් දැකීම, අඩුපාඩුවක් ප්‍රසිද්ධ කොට කියා පෑම අරමුණු කර ගෙන පමණක් බණ ඇසීම ද උපාසක බවට වින කරන තවත් කරුණක් ලෙස මෙම සූත්‍රයෙහි දී පෙන්වා දී තිබෙනවා. සයවනු ව බුදුසසුනෙන් බාහිර වෙනත් පූජකවරුන් සොයා ගෙන ගොස් ඔවුන්ට දන් පැන් දෙමින් විපරීතව ක්‍රියා කිරීම ත් උපාසක බවෙන් පිරිහීමට හේතු වෙනවා. සත්වනුව යම් අවස්ථාවක බෞද්ධ වත් පිළිවෙත් පුරන භික්ෂුන් වහන්සේ ට යම් දානයක් පූජාවක් කරනවා නම්, උපාසක බවෙන් පිරිහීමට පත්වන තැනැත්තා එසේ භික්ෂූන්ට යමක් පූජා කරන්නේ අනික් වෙනත් ශාස්තෘ ශාසනයන්හි ගැලුණු පූජකවරුන්ට පළමුව පරිත්‍යාග කිරීමෙන් හා දෙවනුව සැබෑ භික්ෂූන්ට දීමෙනු යි. මේ ආකාරයෙන් කරුණු හතක් නිසා මෙම ශ්‍රේෂ්ඨ “උපාසක” යන ගෞරවාර්හ භාවයෙන් ඒ පුද්ගලයා කෙලෙසිමට පත් වෙනවා වගේම විමුක්තිය ඔහුගෙන් දුරස්ථ වන බව පැහැදිලිව පෙන්වා දෙන්නට පුළුවනි. ඉතින් මේ “උපාසක” යන්නෙහි අගය, වටිනාකම අප හැම විසින් ම තේරුම් ගෙන හැම බෞද්ධ ගිහි පින්වතෙක්, පින්වතියක් ම තමන් තුළ මේ උපාසක ගුණ වර්ධනය කරගෙන තමනුත් උපාසක, උපාසිකා බවට පත් වීමට උත්සාහවත් වීමෙන් මෙලොව පරලොව සුගතිය උදා කර ගැන්මට උනන්දු විම වැදගත් වෙනවා.