Print this Article


මෝඝරාජ මහරහතන් වහන්සේ

මෝඝරාජ මහරහතන් වහන්සේ

ගෞතම සම්බුදු සසුනෙහි රළු සිව්රු පරිහරණය කරන භික්ෂුන් අතර අගතනතුරට පත් වුයේ මෝඝරාජ මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ රළු ලෙස කපන ලද, මසන ලද, රළු ලෙස වර්ණ කළ පාංශුකූලික සිව්රුම පොරවනු ලැබුහ.

ගෞතම සම්බුදු සසුනේ සිට කල්ප ලක්ෂයකට පෙර විශ්වයේ පහළ වූ විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මෝඝරාජ මහරහතන් වහන්සේ සිටු ගෙයක ඉපදුණහ. කල්යත්ම තරුණ වියට පැමිණි මෙම කුමරු විපස්සි බුදුරජාණන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීමට දැඩි කැමැත්තක් දැක්වුවේ ය. දිනක් ධර්මය ශ්‍රවණය කරන අවස්ථාවක එක් භික්ෂුවක් රළු සිව්රු දරන භික්ෂුන් අතුරෙහි අගතනතුරු ලබනු දැක, මමද අනාගතයේ දී බුදුකෙනෙකුගෙන් මේබඳු තනතුරක් ලබන්නෙමි යි අධිෂ්ඨාන කළේ ය. සතියක් පුරාවටම සිව්පසයෙන් දානය පූජා කළේ ය. විපස්සි බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කළේ ය. නිතර නිතර ධර්මය ශ්‍රවණය කළේ ය. පසුව තමාගේ සිතැඟි ප්‍රාර්ථනාව විපස්සි බුදුරජාණන් වහන්සේට දැන්වී ය. විපස්සි බුදුරජාණන් වහන්සේ එම ප්‍රාර්ථනාව සඵල වන බව දැන කුල පුත්‍රය, මෙයින් කල්ප ලක්ෂයකට මත්තෙහි බුදුවන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දී ඔබ මෙම අගතනතුර ලබන්නේ යැයි විවරණ දුන් සේක.

එම කුල පුත්‍රයා එයින් පසු බොහෝ දානාදී සුචරිත පින් දහම් සිදු කොට එයින් චුතව අත්ථදස්සි නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බ්‍රාහ්මණ කුලයක උපන්නේ ය. හෙතෙම බොහෝ බමුණු මානවකයන්ට ශිල්ප උගන්වමින් සිටි අවස්ථාවක අත්ථදස්සි බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග මහ මඟ පිඬු සිඟා වඩින අයුරු දැක බලවත් පහන් සිතින් යුතුව උන්වහන්සේට පසඟ පිහිටුවා වැන්දේ ය. අනතුරුව උන්වහන්සේට මී පූජා කළේ ය.

හෙතෙම එයින් පසු බොහෝසෙයින් කුසල් වඩා දෙව් මිනිස් භව කෙළවර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයෙහි කාෂ්ඨාවාහත අමත්‍යයෙක්ව උපන්නේ ය. අමාත්‍යවරයා රජුගේ අභිමතය අනුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වඩමවා ඒමට දහස් පිරිසක් සමඟ ගොස් එහිදී පැවිදිව විසිදහසක් අවරුදු මහණ දම් පුරා එයින් නික්ම අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බ්‍රාහ්මණ කුලයක ඉපිද මෝඝරාජ නමින් ප්‍රචලිත විය.

මෝඝරාජ බ්‍රාහ්මණ මානවකයා බාවාරිය නම් බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෙකු වී ඔහු ළඟ වේදය ඉගෙනගනිමින් කල් ගත කළේය. එයින් පසු තාපස පැවිද්ද ලබා ගත් හෙතෙම බාවාරිය තාපසතුමන්ගේ අනුදැනුම ඇතිව අජිත ආදී තවත් පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණියහ. පැමිණි පිරිස අතර බාවාරිගේ ප්‍රධාන ශිෂ්‍යයින් දහසය දෙනෙක් හා ඔවුන්ගේ පිරිවර දහස බැගින් දහසය දහසක් වුහ. මෝඝරාජ එම ප්‍රධාන ශිෂ්‍යයින් සොළොස් දෙනාගෙන් පසළොස්වන්නා විය.

ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් මුලින්ම ප්‍රශ්න විචාරන ලද්දේ අජිත තාපසතුමා විසිනි. බුදුරජාණන් වහන්සේ ඔහුගේ ප්‍රශ්න විසදා ධර්ම දේශනා කළ සේක. ඊළඟට ප්‍රශ්න ඇසීමට මෝඝරාජ තාපසතුමා සුදානම් වුවත් බුදුරජාණන් වහන්සේ ඔහුගේ ඥාන ශක්තිය තවම මෝරා ගොස් නැති බැවින් ප්‍රතික්ෂේප කළ සේක. එවිට ඊළඟ තාපසතුමා ප්‍රශ්න විචාරා අවසානයේ දී නැවතත් මෝඝරාජ තාපස තෙමේ ප්‍රශ්න ඇසීමට සුදානම් විය. බුදුරජාණන් වහන්සේ එවිටද ප්‍රතික්ෂේප කළ සේක. මෙසේ දෙවරක් ප්‍රතික්ෂේප කොට තුන්වනවර ප්‍රශ්න ඇසීමට ඔහුට අවස්ථාව දුන් සේක. බුදුරජාණන් වහන්සේ ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන්,

මෝඝරාජ, හැමකල්හි ම සිහියෙන් යුක්තව, ආත්ම දෘෂ්ටිය දුරුකොට ලෝකය ශුන්‍ය වශයෙන් බලව. මෙලෙසින් මාරයා හික්මවන්නේය. එසේ බලන්නා මාරයා නොදකි.මෙම ධර්ම දේශනාව අවසානයෙහි මෝඝරාජ තාපසතුමා අතවැසියන් දහස සමග සව් කෙලෙසුන් නසා රහත් විය. සියල්ලෝම ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වුහ. මෝඝරාජ තෙරුන් වහන්සේ එතැන් පටන් රළු සිව්රු පොරවන සේක . බුදුරජාණන් වහන්සේ මෝඝරාජ තෙරුන් අමතා, රළු සිව්රු පොරවන භික්ෂුන් අතුරෙන් මෙම මෝඝරාජ මහරහතන් වහන්සේ අගයමියි වදාළ සේක.