UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාවිල ශ්‍රී සුමනකුසුමාරාම පුරාණ මහා විහාරස්ථානයේ ශ්‍රී සුගත තිස්ස නා හිමි ගුණානුස්මරණ සීමා මාලකය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය

මාවිල ශ්‍රී සුමනකුසුමාරාම පුරාණ මහා විහාරස්ථානයේ ශ්‍රී සුගත තිස්ස නා හිමි ගුණානුස්මරණ සීමා මාලකය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය

විහාරස්ථානයට වැදගත් අවස්ථාවක්


මොරකැලේ
සෝභිත තිස්ස හිමි

නාත්තන්ඩිය, මාවිල ශ්‍රී සුමනකුසුමාරාම පුරාණ මහා විහාරස්ථානයෙහි අභිනව පොහොය ගෙය මෙම මස 20 වන දින පෙරවරුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාසාභිධාන මහා නා හිමිපාණන් වහන්සේ විසින් විවෘත කිරීම විහාරස්ථානයෙහි ඉතා වැදගත් අවස්ථාවක් කොට සලකමි. සුප්‍රකට චිත්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් කලා කරුවාණන්ගේ මුල්ම චිත්‍ර ද මෙම විහාරස්ථානයේ වීම සුවිශේෂී කරුණකි. වසර 138 ක් පමණ ඉපැරැණි මෙම විහාරස්ථානයෙහි දියුණුව උදෙසා ගම්වාසී ආදී සැදැහැවතුන් ද, දිවංගත ඇල්බට් ඇෆ් පීරිස් මහතාගේ පරපුරේ ආදිමුතුන් මිත්තන් ද සුවිසල් පරිත්‍යාගයන් සිදු කර ඇත. වසර අනූවකටත් වඩා ඉපැරැණි විහාරස්ථ සෑරදුන් ඉදිකර ඇත්තේ පී.ඊ. පීරිස් මහතා හා ඔහුගේ කනිටු නැගණිය වූ ස්ටෙලා පීරිස් උවැසිය විසින් රු. 12000.00 ක පමණ වියදමින් බව ඉපැරැණි පුවරුවක සඳහන්ව ඇත. පී.ඊ. පීරිස් මහතා මිය යෑමෙන් පසු ඔහුගේ පුතනු කෙනෙකු වූ ඇඩ්මන්ඩ් සී. පීරිස් මිනින්දෝරු මහතා විසින් සිය පියාට පින් පිණිස මීට පෙර තිබූ පැරැණි පොහොය ගෙය කරවූ බව එහි වූ ඉපැරැණි පුවරුවෙන් ප්‍රකට වේ. කාලයාගේ ඇවෑමෙන් එම පොහොය ගෙය දිරාපත් ව තිබූ බැවින් එය ඉවත් කොට නව පොහොය ගෙයක් ඉදිකරන ලදී. මේ සඳහා පූර්ණ ධන පරිත්‍යාගය කළේ සම්බුදු සසුනට සුවිශාල සේවයක් සිදුකරන මාරාවිල ශ්‍යාමල් අභ්‍යාස පොත් ආයතනයාධිපති උපාලි වික්‍රමනායක මහතා හා එම පවුලේ පින්වතුන් විසිනි. මෙම අභිනව පොහොය ගෙය ‘ශ්‍රී සුගතතිස්ස නාහිමි ගුණානුස්මරණ සීමා මාලකය" නමින් නම් කරනු ලැබුවේ මෙම විහාරස්ථානයෙහි විහාරාධිපතිව වැඩ සිටි මාදම්පේ සුගතතිස්ස නා හිමියන් සිදු කළ ජාතික, ශාසනික, ආගමික උදාර මෙහෙවරට උපහාරයක් වශයෙනි. උපාලි වික්‍රමනායක මහතා ඇතුලු පවුලේ පින්වතුන්ටත්, මෙම පින්කම සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් දායක පිරිසටත් මාගේ පුණ්‍යානුමෝදනය පළ කරමි.

****

සියලු කටයුතු සාර්ථක වේවා

අමරපුර මූලවංශික මහා නිකායට අයත් නාත්තන්ඩිය මාවිල ශ්‍රී සුමනකුසුමාරාම පුරාණ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ‘ශ්‍රී සුගත තිස්ස නාහිමි ගුණානුස්මරණ සීමාමාලකය මෙම 20 වන දින විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට මාගේ හා අමරපුර මූලවංශික මහා නිකායේ කාරක සංඝ සභාවේ සුභාසිංසනය මෙයින් පළ කරමු. අතීතයේ සිට මේ දක්වා මෙම විහාරස්ථානයේ වැඩ විසූ මාදම්පේ සුගත තිස්ස නාහිමි, මාවිල ශාසනතිලක තිස්ස නාහිමි, බිංගිරියේ ශාසනරත තිස්ස නාහිමි, මහවැවේ පඤ්ඤාකිත්ති තිස්ස නාහිමි යන වියත් නා හිමිවරුන්ගේ ආශිර්වාදයෙන් මෙම පින්බිම ආලෝකමත් වූ බව දක්නට ලැබේ. ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් කලාකරුවාණන්ගේ මුල්ම චිත්‍ර ද මෙම විහාරස්ථානයේ දක්නට ලැබීම සතුට ට කරුණකි. වසර 138 පමණ වන මෙම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති මොරකැලේ සෝභිත තිස්ස ස්ථවිරයන් විසින් චිත්තාකර්ෂණීය ලෙස විහාරස්ථානය සංවර්ධනය කිරීම පැසසිය යුතු ය. මෙම විහාරස්ථානයේ අභිනව සීමාමාලකය ඉදිකිරීමට පූර්ණ ධන පරිත්‍යාගය කළ උපාලි වික්‍රමනායක මහතා සිදු කළ සේවය ද විශේෂයෙන් අගයන අතර සියලු කටයුතු සාර්ථක වේවා.

****

මාවිල ශ්‍රී සුමන කුසුමාරාම පුරාණ මහා විහාරය

පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය මාවිල ශි‍්‍ර සුමන කුසුමාරාම පුරාණ විහාරස්ථානය, අනූපමේය ශාසනික කාර්යයන්හි චිරාත් කාලයක පටන් නිරත වෙයි. 1880 මැයි 17 වන දින ආරම්භ වූ විහාරස්ථානය වසර 138 කටත් අධික කාලයක් මාවිල, වීරහේන, තුම්මෝදර, නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල, මූදුකටුව ආදී ප්‍රදේශවාසීන්ගේ සමාජයීය, ආගමික හා සංස්කෘතික ජීවිතයේ පෝෂණය වෙනුවෙන් ඉතා දැවැන්ත කාර්යභාරයක් ඉටුකරන පුරාණ විහාරස්ථානයකි.

මෙම විහාරස්ථානය ඇරඹෙන්නේ කඩුපිටි මාදම්පේ ශ්‍රී සුදර්ශනාරාමාධිපති ව වැඩ විසූ ‘ආරියවංශාලංකාර විනයාචාර්ය’ නාරාවිල ශ්‍රී ගුණරතන තිස්ස මහා ස්වාමීන්වහන්සේ හට අතීත මාවිල ග්‍රාමවාසී සැදැහැති පින්වතුන් විසින් අද මේ විහාරස්ථානය පිහිටි භූමි භාගය පූජා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එම නාහිමියන්ගේ කීර්තිමත් ශිෂ්‍යවරයන් වහන්සේ නමක් මාදම්පේ සුගතතිස්ස නාහිමියන් විහාරාධිපති ලෙස පත් කළ අතර, එතැන් පටන් මේ දක්වා ශාසන ලැදි, නාහිමිවරුන් කිහිප නමක් විසින් ම විහාරාධිපති ධූරය හොබවා ඇත. මාවිල ශාසන තිලක තිස්ස ස්වාමීන් වහන්සේ, බිංගිරියේ ශාසනරත තිස්ස ස්වාමීන් වහන්සේ, නාත්තන්ඩිය නීග්‍රෝධාරාමාධිපති ශාස්ත්‍රපති මහවැවේ පඤ්ඤාකිත්ති තිස්ස ස්වාමීන් වහන්සේ, මහකුඹුක්කඩවල මහානාම ස්වාමීන් වහන්සේ, දෙනගම සුමන ස්වාමීන් වහන්සේ යන ස්වාමීන්වහන්සේලා ඒ අතර වෙයි. අද සිටින බොහෝ වැඩිහිටියන් පවසන අන්දමට විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත් ව 1993 අගෝස්තු මස 19 වැනි දින අපවත් වී වදාළ බිංගිරියේ ශාසනරත නා හිමියන් විහාරස්ථානයත්, ග්‍රාමීය ජනයාගේ හිතසුව පිණිස අනූපමේය සේවයක් සිදුකර ඇති අතර ‘ගාල්ලේ හාමුදුරුවෝ’ යන විරුදාවලි නාමයෙන් කා අතරත් ප්‍රසිද්ධියට පත්ව ඇත. එකල හලාවත ප්‍රධාන සංඝනායක ධූරය මෙන්ම මීගමුව, හලාවත, කුරුණෑගල, පුත්තලම යන සිව් පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය ද උසුලා ඇත්තේ උන්වහන්සේ ය.

වර්තමානයේ විහාරාධිපතිධූරය හොබවන්නේ මොරකැලේ සෝභිත තිස්ස නා හිමියන් විසිනි. විහාරස්ථානය මුල් කර ගනිමින් සුවිශාල ආගමික, ශාසනික, සමාජයීය අධ්‍යාපනික මෙන්ම සංස්කෘතික කාර්යයන් රැසක් ඉටුකරන නා හිමියන් නාත්තන්ඩිය නීග්‍රෝධාරාමයේ මෙන්ම තුම්මෝදර ශ්‍රී බෝධිරාජාරාමයේ ද විහාරාධිපති ධූරය හොබවමින් ප්‍රදේශය පුරා සිදු කරන අනූපමේය මෙහෙවර කෘතඥතා පූර්වක ව සිහිපත් කළ යුතු වේ. මාවිල සුමනකුසුමාරාමය මේ වන විට බෞද්ධ විහාරයක පැවතිය යුතු සෑම විහාර අංගයකින් ම සමලංකෘත ය.

මාවිල ශ්‍රී සුමන කුසුමාරාම විහාරස්ථානයේ විහාර මන්දිරයේ චිත්‍ර කර්මාන්තය සඳහා සම්බන්ධ වී ඇත්තේ ලෝක ප්‍රසිද්ධ කැලණි රජමහා විහාරස්ථානයේ චිත්‍ර කර්මාන්තයේ නියැළි චිත්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් මහතා ය.

බිංගිරියේ ශාසනරත තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය මත 1938 මැයි 13 වන දින ආරම්භ කළ විශාකා කාන්තා සමිතිය එදා සිට අද දක්වා විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් ලබාදෙන දායකත්වය ද අමතක කළ නොහැක.

බෞද්ධ පරිසරයක් තුළ කුඩා දරු දැරියන්ගේ පූර්ව ළමා අවධිය සංවර්ධනය කිරීම සඳහා පිහිටුවා ඇති ශ්‍රී සුමන පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානය ප්‍රදේශයේ කුඩා දරු දැරියන්ගේ සුචරිතවත් ජීවිත ආරම්භයට මහත් පිටුවහලක් ලබා දෙයි.

ශ්‍රී මහා මහින්ද දහම් පාසල, මාවිල සුමන කුසුමාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වෙයි. 1920 ජූලි මාසයේ හත්වන දින මාවිල ශාසනතිලක තිස්ස ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය මත බිංගිරියේ ශාසනරත තිස්ස නාහිමියන්ගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වූ එම දහම් පාසල එදා සිට අද දක්වා බෞද්ධ දරුවන්ගේ නැණ ගුණ වර්ධනය කරනු වස් මිල කළ නොහැකි සේවයක් සිදුකරයි. නිස්සරණාධ්‍යාසයෙන් ශිල්ප සතර ලබා දෙන ගුරුවරු 25 කට අධික සංඛ්‍යාවක් මහත් කැපවීමෙන් දහම් දැනුම ලබාදෙන අතර වර්තමානයේ පන්සිය පනහකට අධික ශිෂ්‍ය සංඛ්‍යාවක් මෙහි අධ්‍යාපන කටයුතු සිදු කරයි. දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් තරගාවලියේ සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ අත්පත්කරගෙන ඇති සිසු දරු දැරියන් රැසක් ශ්‍රී මහා මහින්ද දහම් පාසල තුළින් බිහි කර ඇති අතර අඛණ්ඩ ව වසර 14 ක් පුරා නාත්තන්ඩියේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සිසු නිපුණතා ඇගයීම් තරගාවලියේ හොඳම දහම් පාසල ලෙස ද අභිෂේක ලබා ඇත.

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා, පූර්වභාග 07.05 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්වභාග 09.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 22 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]