Print this Article


තෙවළා බුදු වදන් අතරින් 11:  පවින් වැළකීමට ඇතිකරගත යුතු අනාගත බිය සතර

තෙවළා බුදු වදන් අතරින් 11: 

පවින් වැළකීමට ඇතිකරගත යුතු අනාගත බිය සතර

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි භික්ෂූන් වහන්සේලා අමතා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන භය සූත්‍රය දේශනා කළහ. එම සූත්‍රය අනුව ආත්මානුවාදභය, පරානුවාදභය, දණ්ඩභය හා දුගති භය යනුවෙන් බිය හතරකි.

මෙලොව යම් කෙනෙක් තිදොරින් දුශ්චරිත ක්‍රියාවල නිරත වීමට පෙර තමා තමාට ම දොස් පවරා ගනිමින් තමා, තමා කෙරෙහි ම බියක් ඇතිකර ගැනීම ආත්මානුවාද බිය නම් වේ.

යම් කෙනෙක් තමන්ගේ දුශ්චරිත ක්‍රියාවලට සමාජයෙන් ලැබෙන ගැරහුම්, නින්දා, අපහාස ගැන සලකා ඒ කෙරෙහි බියක් ඇතිකරගැනීම පරානුවාද බිය නම් වේ. විවිධ අපරාධ කළ පුද්ගලයන් අල්ලාගත් රජ දරුවෝ ඔවුන් වදයට හා දණ්ඩනයට පත්කරනු දකින ඇතැම් පුද්ගලයෝ යම් දිනෙක තමා ද, මේ හා සමාන වැරැදි ක්‍රියාවල නිරත වුවහොත් මෙබඳුම වද බන්ධන වලට ලක්වීමට ඉඩ ඇතැයි අනුමාන කොට දඬුවම කෙරෙහි බියක් ඇතිකර ගැනීම දණ්ඩභය නම් වේ.

තමන් කරන ලද දුශ්චරිත ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් මරණින් පසුව දුගතියෙහි ඉපිද දුක්විඳීමට සිදුවෙතැයි සිතා දුගතිය කෙරෙහි ඇති කර ගන්නා බිය දුග්ගති භය නම් වේ. මෙම බිය හතරින් තුනක්ම පුද්ගලයාගේ වර්තමාන අත්දැකීම් හා සම්බන්ධ වන අතර අවසන් කරුණ අතීන්ද්‍රිය ඤාණයෙන් පසක් කළ යුතු ය. පළමු වැන්න ස්වයං විවේචනය මුල්කරගත් හෘදය සාක්‍ෂිය හා සම්බන්ධ වන අතර දෙවැන්නෙන් සමාජමය සාධකය ප්‍රකට වේ. තුන්වැන්නෙන් නීතිය හා දඬුවම අවධාරණය වේ. සිව්වැන්නෙන් පුහුදුන් පුද්ගලයාගේ අත්දැකීමෙන් ඔබ්බෙහි පවතින අතීන්ද්‍රිය ඤාණයට ගෝචරවන කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම ප්‍රකට වේ.

මේ සියල්ල වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් හෘදය සාක්‍ෂිය, සමාජ බලපෑම, නිතීය යටතේ එම ක්‍රියාවට ලැබෙන දඬුවම හා තමන් කළ ක්‍රියාවට අනුරූප විපාක ලැබෙන කර්මය පිළිබඳ සැලකිලිමත් වී වැරැදි දෑ කිරීමට බියක් ඇතිකර ගැනීම මෙයින් අවධාරණය වේ. පවට දක්වන ලජ්ජාව හා බිය ලෝක පාලක ධර්ම ලෙස ධර්මයේ දැක්වේ. හිරි ඔත්තප්ප හෙවත් පවට දක්වන බිය හා ලජ්ජාව කුශල සහගත චෛතසික ධර්මය. එය නොමැති විට පුද්ගලයා තිරිසනුන් මෙන් හැසිරෙන බව සඳහන් වේ.

භය නමැති චිත්තවේගය බුදුදහමින් කුශල පක්ෂයෙහිලා පිළිගන්නේ එය පුද්ගලයා පවින් වළක්වා ගැනීමට හේතුවන අභිප්‍රේරණාත්මක මනෝභාවයක් නිසයි. ඒ අනුව කෙනෙකු බිය ඇතිකරගත යුත්තේ දුසිරිතෙන් වැළකී සදාචාර සම්පන්න වීම සඳහා ය. යට සඳහන් කළ භය සූත්‍රයෙහි එය සිව් වැදෑරුම් ආකාරයට ක්‍රියාවට නංවන අයුරු පැහැදිලි කරයි. අත්තානුවාද බිය යන්නෙන් අදහස් වන්නේ කෙනෙකු යම් වරදක් කිරීමට පෙර තමාගේ සාවද්‍ය ක්‍රියාව ගැන තමා ම තමා ට චෝදනා කරගනිමින් වරද නොකර සිටීමට අධිෂ්ඨාන කරගැනීමයි.

කවර තරාතිරමකට අයත් අයෙකු අතින් වුව ද, වරදක් කිරීමට පෙර ඒ ගැන ස්වයං විවේචනයක යෙදීම බෙහෙවින් වැදගත් වන්නේ එයින් අනාගතයේ වියහැකි අනතුරු වළක්වාගත හැකි බැවිණි. තමා කරන්නට යන දේ පිළිබඳ ස්වයං විවේචනයක යෙදෙන්නට තරම් ආත්ම දමනයක් හෝ ශික්ෂණයක් නොමැති අය කොතෙකුත් දක්නට ලැබේ. විචාරයකින් තොරව සිතැඟි පරිද්දෙන් කටයුතු කොට ජීවිතය අඳුරුකර ගැනීමට පෙර ඒ ගැන දුරදක්නා නුවණින් විමසා බලා ක්‍රියාකිරීමේ වැදගත්කම අත්තානුවාද බිය යටතේ අවධාරණය කර තිබේ. කවර ආකාරයේ ක්‍රියාවක් වුව ද, එයට සමාජ ප්‍රතිචාරයක් තිබේ. එක්කෝ එම ක්‍රියාවට පැසසුම් ලැබේ. නැතහොත් නින්දා අපහාස විඳීමට සිදුවේ.

තමා විසින් සිදුකරනු ලැබීමට අපේක්‍ෂිත අයහපත් ක්‍රියාවට ප්‍රතිචාර වශයෙන් සමාජයෙන් ලැබෙන නින්දා අපහාස හා ගැරහුම් ගැන බියක් අතිකරගැනීම පරානුවාද බයයි. පුද්ගලයා යනු හුදකලා වූ අයෙක් නොවේ. සමස්ත ජීව අජීව ලෝකය සමඟ අන්තර් සම්බන්ධතාවක් සෑම අයෙකුටම තිබේ. ඒ අනුව කෙනෙකු කරන ක්‍රියාව යහපත් වුවත්, නැතත් එය සමාජයේ පැවැත්මට බලපායි. මේ ගැන නොසලකා අත්තනෝමතිකව කටයුතු කරන අය වෙති. තමාටත් ලෝකයටත් අහිත පිණිස කටයුතු කරන එවැන්නෝ සමාජ දූෂකයෝ වෙති. වැරැදි කිරීමට කොතෙකුත් කැමැත්ත තිබුණත් සමාජය හා සංස්කෘතිය තුළ එයට පිළිගැනීමක් නොමැති බව වටහාගත් තැනැත්තාට එය සාධකයක් කොටගෙන වරදින් නිදහස් විය හැකි ය. පරානුවාද භය යන්න මනෝව්‍යාධියක් ලෙස සැලකෙන සමාජ භීතිකාවක් නොවේ.

සමාජ ප්‍රතිචාරයට බිය විය යුතුය යන්නෙන් අදහස් කෙරෙන්නේ සමාජයට හා ලෝකයට අහිතකර දෑ කිරීම සම්බන්ධයෙන් පමණි. යහපත් දෑ කිරීම සම්බන්ධයෙන් සමාජයෙන් ලැබෙන්නේ යහපත් ප්‍රතිචාරයකි. එබැවින් ඒ ගැන බිය වීම අනවශ්‍ය ය. වරදට පෙළඹීම සහජ ගතියකි. එහෙත් එය පාලනය කළ යුතු ය. මුලිනුපුටා දැමිය යුතු ය. වරදින් වැළකී සිටීමට අවශ්‍ය ස්වයං ශික්ෂණයක් නොමැති විට ඒ සඳහා පුද්ගලයා මෙහෙයවීම පිණිස නීතිය හා දඬුවම අවශ්‍ය වේ. දඬුවම් දීමෙන් අපේක්ෂා කරන්නේ කළ වරද අවබෝධ කර ගැනීමටත්, මතුවට වැරැදි කිරීමෙන් වළක්වාලීමටත් අවශ්‍ය පියවර ගැනීමයි. වරද කළවුන්ට නිසි දඩුවම් දීම සමාජයට ආදර්ශයකි.

වරද කළ අයෙකු වධයට හා බන්ධනයට ලක්කරනු දකින කෙනෙක් තුළ වැරැදි කිරීමට යම් බියක් ඇති වේ නම්, එය දණ්ඩ භය නම් වේ. නීතියට හා දඬුවමට බිය නොමැති වූ විට පුද්ගලයා වැරැදි කිරීමට පසුබට නොවෙයි. යමෙකු වරදක් කිරීමට පෙර නීතියෙන් ලැබෙන දඬුවම් ගැන සැලකිලිමත් වී ඒ ගැන බියක් ඇති කර ගන්නේ නම්, එය වරදින් වැළකීමට කදිම අවස්ථාවක් වේ. මුලින් දැක්වූ බිය තුන පුද්ගලයාගේ වර්තමාන අත්දෑකීම් හා සම්බන්ධ ය. එහෙත් අවසන් අත්දැකීම ලැබෙන්නේ මරණින් පසුව ය.

අපාය හා දුගතිය පිළිබඳ සාමාන්‍ය පුහුදුන් මිනිසාට අත්දැකීම් නැත. දුගතියේ පවතින දුක්ඛදායක තත්ත්වය ගැන නිසි වැටහීමක් ඇත්තේ අභිඥා ලාභීන්ට ය. වීතරාගීන්ට ය. සෙසු පුද්ගලයන්ට ඒ ගැන ඇත්තේ අනුමාන ඤාණයකි. එය බුදුරදුන් වදාළ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් ලබාගත් දැනුමකි. පරලොවක් ඇති බව පිළිගැනීමත්, කුශලාකුශල කර්මවලට අනුරූපී විපාක ඇතැයි විශ්වාස කිරීමත් සම්‍යග් දෘෂ්ටියේ පිහිටා කටයුතු කිරීමකි. තමා කළ පාප හා අකුශල ක්‍රියාවේ ස්වභාවය අනුව ඊට අනුරූපී විපාක වශයෙන් දුගතියැයි සැලකෙන නිරය, තිරිසන් භවය හා ප්‍රේත භවය යන තුනෙන් එකක උප්පත්තිය ලැබීමට සිදුවේ.

දුගතිය අනවරතයෙන් ම දැරිය නොහැකි කටුක වද වේදනාවන්ගෙන් පිරුණු තැනකැයි ධර්මයේ සඳහන් ය. එහි උපත ලැබීමට හේතුවන අකුශල කර්ම සිදුකිරීමට පෙර අනුමාන වශයෙන් හෝ දුගතියේ ඇති දුක්ඛදායක ඉරණම ගැන අවබෝධයක් ඇතිකරගැනීම අවශ්‍ය වේ. ඒ ගැන අනාගත බියක් ඇතිකර ගැනීම පවින් වැළකීමේ එක්තරා උපායකි. භය සූත්‍රයේ එන සිව් වැදෑරුම් බිය ඇතිකරගත යුත්තේ වරද කිරීමට පළමුව ය. වරද කිරීමෙන් පසුව නොවේ. කෙනෙකු ඉදිරියට කරන්නට අපේක්ෂා කරන ක්‍රියාව ගැන ස්වයං විවේචනයක යෙදී තමන්ට ම චෝදනා කරගැනීමත්, සමාජයෙන් එයට ලැබෙන අයහපත් ප්‍රතිචාරය කුමක්විය හැකිදැයි විමසීමත්, එම සාවද්‍ය ක්‍රියාව සිදු කළහොත් එයට නීතියෙන් ලැබෙන දඬුවම ගැන සිතා බැලීමත්, තමා අතින් සිදුවිය හැකි අකුශල ක්‍රියාවලට අනුරූපී විපාක වශයෙන් දුගතියේ ඉපිද විඳීන්නට සිදුවෙන කටුක දුක් වේදනා ගැන ධර්මානුකූල විශ්වාසයක් ඇතිකර ගැනීමත් යන සිව් වැදෑරුම් බිය සතර පවින් වැළකීමට අවශ්‍ය පෙළෙඹවීම ඇතිකර ගැනීමට උපකාරීවේ.