Print this Article


අටවිසි බුද්ධ මන්දිරය හා ප්‍රාකාරය විවෘත කෙරෙන බෙන්තොට හබුරුගල දෙද්දුව ගංගාරාම පුරාණ විහාරය

අටවිසි බුද්ධ මන්දිරය හා ප්‍රාකාරය විවෘත කෙරෙන

බෙන්තොට හබුරුගල දෙද්දුව ගංගාරාම පුරාණ විහාරය


සෑ රදුන් වහන්සේ

ගාලු කොළඹ ප්‍රධාන මහා මාර්ගයේ 39 වැනි සැතපුම් කණුව පිහිටා ඇති බෙන්තොට කහඹිලියා කන්ද ප්‍රධාන මන්සන්ධියෙන් නැගෙනහිර දෙසට හැරී ඇල්පිටිය, අළුත්ගම ප්‍රධාන මාර්ගයේ 4 වැනි සැතපුම් කණුව අසලින්, යාර 100ක් පමණ ඉදිරියට ගමන් කළ විට මහා මාර්ගය අසල මෙම මනරම් දෙද්දුව ගංගාරාම පුරාණ විහාරය පිහිටා ඇත.

ඇල්පිටිය, අළුත්ගම ප්‍රධාන මාර්ගයේ දෙද්දුව හන්දිය අසලින් වූ වංගුව අසල පියගැට පෙළ දිගේ ඉදිරියට ගමන් කොට විහාර බිමට ප්‍රවිෂ්ඨ වූ විට එම ස්ථානය සුන්දරත්වයෙන් හෙබි පූජා භූමියක් බව මනාව වැටහේ.

සුන්දර බෙන්තර නදියෙන් ආශිර්වාදය ලබන මෙම පින් බිම කුඩා කඳු ගැටයක් මත පිහිටා ඇත. නැගෙනහිර දිසාවෙන් ඈතින් ශ්‍රී පාදස්ථානය දිස්වෙන අතර, අධිවේගී මාර්ගය පවුරුකන්ද, මතුගම, ඉත්තෑපාන ආදී ගම් ද මෙම පින් බිමට දිස්වේ.

ශත වර්ෂ එකහමාරක පමණ ඉතිහාසයකට නෑකම් කියන මෙම විහාරස්ථානය බහුශ්‍රැත මහ පඬිවරුන්ගෙන් හා ශික්ෂාකාමී ගුණ වෘද්ධ, තපෝවෘද්ධ මාහිමිවරුන්ගෙන් අලංකාර වූ කේන්ද්‍රස්ථානයක් මෙන් ම අධ්‍යාපන උන්නතියේ හා සංස්කෘතියේ ද ක්ෂේම භූමියක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

අභිනව අටවිසි බුදු මැදුර, වළාකුළු බැම්ම සහිත ප්‍රාකාරය


සම්බුදු මැදුරේ ඇති කැටයම් සහිත මකර තොරණ එහි සිතුවම් ඇම්.සාර්ලිස් මාස්ටර් විසින් නිර්මාණය කර ඇත.

බෙන්තොට දෙද්දුව ගංගාරාම පුරාණ විහාරය නිසාම ගංගාරාම විහාර පාර්ශ්වය යනුවෙන් විහාර පාර්ශ්වයක් ද බිහි වී ඇත.

බෙන්තොට දෙද්දුව, හබුරුගල චූල බෝධි විහාරය, නැගෙනහිර පස්යොදුන් රට උඩුගම මතුගම, කරපාගල ශ්‍රී සුවිසුද්ධාරාමය, මතුගම මාකළන්දාවේ මගුරුමස්විල ශ්‍රී සුදර්ශනාරාමය, නැගෙනහිර, බෙන්තොට වලල්ලාවිට කෝරළයේ පිටිගල උහන්ඕවිට ශ්‍රී විවේකාරාමය, බෙන්තොට හබුරුගල කෝට්ටෙගෙවත්ත භාවනා මධ්‍යස්ථානය (දැන් නැත) යන විහාරස්ථානයන් දෙද්දුව ගංගාරාම විහාර පීතෘත්වය ඇතිව පිහිටුවන ලද ගංගාරාම විහාර පාර්ශ්වයට අයත් විහාරස්ථාන ලෙස සැලකේ.

අංග සම්පූර්ණ විහාරාංගයන්ගෙන් සමන්විත වූ දෙද්දුව ගංගාරාම පුරාණ විහාරය බෙන්තර පළාතේ දායක, දායිකාවන්ගේ ආගමික වතාවත් මෙන්ම, ගුණ වගාවන් ද දියුණුකර ගැනීමේ අවස්ථාවක් නොමැතිව සිටි අවධියක ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ වුවමනාවෙන් ම සිය බෞද්ධ ආශිර්වාදයන් සපුරාගනු පිණිස 1828 දී පමණ ආරම්භ කරන ලද්දකි.

අසරණ සරණ වැලිවිට පිණ්ඩපාතික සරණංකරාභිධාන සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් ආරම්භ වන අතර මෙම විහාර සංඝ පරම්පරාව සියනෑ කෝරළයේ ශ්‍රී සෝභිත ස්වාමීන් වහන්සේ ගංගාරාම විහාර පරපුරේ සමාරම්භකයන් වහන්සේ ය. එදා සිට අද දක්වා ගංගාරාම විහාරයේ විහාරාධිපතීන් වහන්සේලා අට නමක් පමණ අධිපති ධූරය හොබවා ඇත.

1962 සිට 1968 දක්වා අප විහාර පාර්ශ්වයේ විහාරාධිපති පදවියට පත්වූයේ හඟුරන්කෙත සෝමානන්ද නා හිමියන් වේ. මධ්‍යම පළාතේ උඩහේවාහැට දියතිලක කෝරළයේ හඟුරන්කෙත ග්‍රාමයේ විසූ අක්කඩු මුක්ක වීර රඹුක්කඩු රඹුකෙන් ජයගත් චින්තාමාණික්‍ය රත්න ඉලංගන්තිලක වික්‍රමසිංහ රාජපක්ෂ වාහල බණ්ඩාර මුදියන්සේලාගේ අප්පුහාමී නිළමේතුමාගේ සහ, ඇකිරිය මාහා රාජකරුණා සෙනෙවිරත්න ධර්ම කීර්ති හේලිය බණ්ඩාර මුතු මැණිකේ කුමාරිහාමිගේ පුත් පුංචි බණ්ඩාර කුමරුවා හඟුරන්කෙත සෝමානන්ද නමින් පැවිදි වී දෙද්දුව ගංගාරාම විහාරය සෝබමානවත් කළහ.

අනතුරුව දෙද්දුව ගංගාරාම විහාරය සෝබමානවත් කළ හිමිපාණන් වහන්සේ වූයේ කම්මට්ඨානාචාර්ය ශ්‍රී පුණ්‍යරතන ගෞරව උපාධි නාමය සහිතව බෙන්තර කළුතර දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක උහන්ඕවිට ධම්මානන්ද නා හිමිපාණෝ ය. මුන්වහන්සේ මෙරට ජනපි‍්‍රය ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූ අතර, දක්ෂිණ ලංකා කවි සමාජයේ සභාපතිවරයාණන් ද වූ හ.

උහන්ඕවිට ධම්මානන්ද නා හිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් පසුව දෙද්දුව ගංගාරාම විහාරස්ථානයේ ස්වර්ණමය යුගය ආරම්භවීමට වර්තමාන විහාරාධිපති අළුත්ගම කන්දෙවිහාර මහ පිරිවෙනේ සම්මානනීය ජ්‍යෙෂ්ඨ ආචාර්ය ශාස්ත්‍රපති බටුවන්හේනේ ඤාණානන්ද හිමිපාණන් විසින් සිදුකර ඇත්තේ සුවිසල් මෙහෙවරකි.

1973 මැයි 17 වෙසක් පොහෝදා පැවිදි බිමට පත්ව 1982 උපසම්පදාව ලබා මූලික අධ්‍යාපනය අලුත්ගම කන්දේ විහාර මහ පිරිවෙනින් ලබා හුණුපිටිය ගංගාරාම පිරිවෙනෙහි ද උසස් අධ්‍යාපනය හදාරා කැලණි විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා දැනට වසර 25 කට අධික කාලයක් අළුත්ගම කන්දෙවිහාර මහා පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු කරනු ලබයි.

දෙද්දුව ගංගාරාම විහාරයට විශාල අඩුපාඩුවක්ව පැවැති චෛත්‍යරාජයාණන් වහන්සේ නමක්, අභිනව දාන ශාලාවක්, අලංකාර ප්‍රාකාරයක් සහිත අටවිසි බුද්ධ මන්දිරයක් ආදී විහාරාංග ඉදිකරලීමට උන්වහන්සේ මූලික වූ හ.

දෙද්දුව ගංගාරාම විහාරයීය ශ්‍රී ඤාණානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය දරන මුන්වහන්සේ එහි දියුණුවට අති මහත් වෙහෙසක් දරති.

වර්තමානයේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්වී ඇති බෙන්තොට දෙද්දුව ගංගාරාම විහාරය බෙන්තර පළාතට පමණක් නොව මුළු දකුණු ලකට ම මහත් ආලෝකයක් වී ඇත. මේ වසරේ පැවැත්වෙන කඨින චීවර මහා පින්කම ද සමඟ නොවැම්බර් මස 14, 15, 16, 17 යන දිනවල දී පින්කම් මාලාවක් පැවැත්වේ.

14 වැනි දා සවස 7.00 ට අභිනව අටවිසි බුද්ධ මන්දිරය, මහා ප්‍රාකාරය, සංඝමිත්තා තෙරණි පිළිරුව විවෘත කිරීම දෙහිවල මේධංකරාරාමාධිපති කාව්‍ය ශ්‍රී දීගල පියදස්සි හිමියන් විසින් හා දායක පින්වතුන් සිදු කරනු ලැබේ. 15 වැනිදා සර්වරාත්‍රික පිරිත් දෙසුමකි. 16 රාත්‍රී 8 කඨින වස්ත්‍රය රැගත් සංස්කෘතිකාංග ඇතුළත් පෙරහර ගම වටා සංචාරය කෙරේ. 17 වනදා දවල් 50 නමකට කඨින මහා සාංඝික දානයක් පිරිනමන අතර, සිවුරු පූජාව, කඨින සිවුරු පූජාව, ගරු භාණ්ඩ පූජාව ද, සවස 4 ට කඨිනානිසංස දහම් දෙසුමෙන් පින්කම් මාලාව නිමා කෙරේ. මෙවර කඨින පූජාවේ දායකත්වය දරන්නේ දෙද්දුව පරගහතොට පදිංචි බන්දුල ගුණසේකර මහතා ඇතුළු පිරිසයි.

14 රාත්‍රී 6.30 ට දීගල පියදස්සි හිමියන් පවත්වන ආශිර්වාද අබතෙල් පහන් පූජාවකි. එදිනට බුදුසරණ පත්‍රයේ පිටපත් රැසක් ධර්ම දානය සඳහා බෙදාදීමට (නොමිලයේ) කටයුතු සංවිධානය කොට ඇත.