Print this Article


කඨින පින්කම්

කඨින පින්කම්

ගොඩපිටිය සිරි නිවේසාරාමය

කොස්ගොඩ ගොඩපිටිය සිරිනිවේසාරාමාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහනිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති කොස්ගොඩ සිරිමිත්ත නා හිමියන්ගේ අනුශාසනා පරිදි වස්සාන සමයේ ධර්ම දේශනා මාලාව අගෝස්තු මස 05 වෙනි දා ආරම්භ කළ අතර සෑම ඉරු දිනකම පස්වරු 4.00 ට එම ධර්ම දේශනා පැවැත්විණි. මෙම 18 වනදා දම් දෙසුම පිටිගල ධම්මවිනීත හිමියන් විසින් පවත්වනු ලැබේ.

****

මැද්දවත්ත සිරිවජිරඤාණ ධර්මායතනය

මාතර – මැද්දවත්ත සිරි වජිරඤාණ ධර්මායතනයේ කඨින මහා පුණ්‍යෙීත්සවය ධර්මායතනාධිකාරි පණ්ඩිත පැළෑණේ සුවිනීත හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 17 -18 දෙදින පැවැත්වේ. 17 වනදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව – මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ භික්ෂු අධ්‍යයනාංශයේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 18 උදෑසන 3.00 ට කඨින චීවරය රැගත් පෙරහර නාවිමන ෆී‍්‍රලන් ආයතනාධිපති ලැනී බී.ගමගේ මහතාගේ ළිඳපාර පරසතු මෝටර්ස් නිවසින් ආරම්භ වේ. පෙරවරු 6.30 ට කඨින චීවර පූජාව, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයෙහි සහභාගිත්වයෙන් සිදු කෙරේ. දවල් 11.00 ට 60 නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාව සහ වස්සාවාසික චීවර පූජාව සිදු කෙරේ.

****

කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරස්ථානය

ශ්‍රී ජයවර්ධනපුර කොටුබැම්මපාර, සිරිපැරකුම්බා පිරිවෙන් ධර්මාශ්‍රම විහාරස්ථානයේ කඨින පින්කම මෙම මස 17 වන දින පැවැත්වේ. ඒ නිමිත්තෙන් දම් දෙසුම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාව කටයුතු යොදා ඇත.

14 වනදා උඩදුම්බර සෝභිත හිමි, 15 වනදා හබරක්කවල සුබෝධි හිමි, 16 වනදා ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි දම් දෙසුම් පවත්වති. 17 වනදා රාත්‍රී 7.30 ට කඨින දම් දෙසුම අධ්‍යාපනපති අමුතාගොඩ ඉන්ද්‍රරතන නාහිමියන් පවත්වන අතර දවල් කඨින චීවර පූජාව හා සඟසතු දානමය පින්කම පැවැත්වේ. මෙදින කුලදරුවකු පැවිදිකිරීම සිදුවන අතර සවස 6.30 ට අටවිසි බුද්ධපූජාව හා බෝධිපූජා පින්කම රොටුඹ ආනන්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.

****

පෑලියගොඩ ශ්‍රී ධර්මවිජයාරාමය

පෑලියගොඩ ශ්‍රී ධර්මවිජයාරාමය ඇතුළු විහාරස්ථානයන්හි විහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ අමරපුර වජිරවංශ පාර්ශ්වයේ මහානායක සාහිත්‍යාචාර්ය පණ්ඩිත දුනුකේවල ධම්මාරාම මහ නාහිමියන්ගේ හයවැනි ගුණසමරු පින්කම සහිත විහාරස්ථ වාර්ෂික කඨින පින්කම් මාලාව මෙම මස 10 වැනි දින සිට 18 වැනි දින දක්වා සිදු කෙරේ. ඒ අනුව 10 වැනි දින ආරම්භ වූ ධර්ම දේශනා මාලාවේ මෙම 14 වැනි දින ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර අනුනාහිමියන් ද, 15 වැනි දින බෙන්දුවැවේ සුමනරංසි හිමි 16 වැනි දින ආචාර්ය බෙංගමුවේ නාලක නා හිමියන්ද ධර්මදේශනා පවත්වති. 17 වැනි දින සවස කඨින පෙරහර සංචාරය කරන අතර එදින රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වේ. 18 වැනි දින අලුයම කඨින චීවර පූජාව සිදුකර හීල දානයද පිරිනැමේ. දාවල 50 නමකට අධික මහා සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමේ.

****

බෝගම්බර බෝධිමළු විහාරය

මහනුවර ඓතිහාසික බෝගම්බර බෝධිමළු විහාරයේ කඨින පින්කම නොවැම්බර් 17, 18, 19 යන දිනයන්හි පණ්ඩිත ශාස්ත්‍රපති ගල්ලෑල්ලේ සෝරත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

****

කුඩා උඩුව

හොරණ කුඩා උඩුව නාලන්දා පිරිවෙන් ශ්‍රී බෝධිමළු මහා විහාරස්ථානයේ කඨින පින්කම මෙම 16 – 17 දිනවලදී සිදු කෙරේ.

****

මොදරවාන

මොදරවාන, වාව්ව පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම මෙම 20, 21 දෙදින තුළ පැවැත්වීමට විහාරස්ථ දායක සභාව ශ්‍රී රතනපාල දහම් පාසල සහ වාව්ව දළුවක්ගොඩ එක්සත් තරුණ බෞද්ධ සමිතිය එක්ව කටයුතු සංවිධානය කොට ඇත.

ත්‍රිපිටකාචාර්ය මොදරවානේ ගුණරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන කඨින පින්කම් මාලාවට 20 දින පරිත්‍රාණ ධර්මදේශනාවක් ද, 21 දින දවල් සඟසතු මහා දානමය පින්කම් ද ඇතුළත් ය. ඉල්පොහොය දින සිල් සමාදන්වන පිරිසට බුදුසරණ පත්‍රය බෙදාදීමටද නියමිත ය.

****

ගල්මඩුව රජමහ විහාරය

ඓතිහාසික ගල්මඩුව රාජමහා විහාරාධිපති අස්ගිරිය මහා විහාරයීය කර්මාචාර්ය, ගම්මුල්ලේ සුමංගල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ගල්මඩුව රාජමහා විහාරයේ කඨින පින්කම මෙම මස 16, 17 දිනවල පැවැත්වේ.

****

බෝතොට පුරාණ රාජ මහා විහාරය

හාරිස්පත්තුව බෝතොට පුරාණ රජමහාවිහාරාධිපති හිනටියන්ගල මහින්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් කඨින පින්කම මෙම 15, 16 දිනයන්හි පැවැත්වේ.

****

කළුබෝවිල සුදර්ශනාරාමයේ දී පින්කම් මාලාවක්

දෙහිවල, කළුබෝවිල, ශ්‍රී සුදර්ශනාරාමයේ කඨින චීවර පින්කම පින්කම් මාලාව ඉකුත් 10 දා සිට 22 දක්වා පැවැත්වේ.

ශාස්ත්‍රපති බදුල්ලේ චන්දිම හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම පින්කම් මාලාවේ දී රන්වැට සහිත බෝධි ප්‍රාකාරය නිරාවරණය, ජොයිස් වීරමන් සෙනෙවිරත්න ධර්ම පුස්තකාලය සඟසතුකොට පූජා කිරීම සහ ප්‍රතිසංස්කරණය කරන ලද සතර මහ දේවාලයේ ආශිර්වාද පින්කම ඉකුත් 10 දා සිදුකෙරිණි. 11 දා සිට 20 දා දක්වා ධර්මදේශනා මාලාවක් විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත අතර එම දිනයන්හිදී අටවිසි බුද්ධ පූජා මාලාවක් ද පැවැත්වේ. කල්ප වෘක්ෂ පූජාව මෙම 21 දා පැවැත්වෙන අතර 21 දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ද, 22 දා (ඉල් පෝදා) අලුයම 4.30 ට කඨින වස්ත්‍රය රැගත් පෙරහර වීථී සංචාරය කිරීම ද, එදින පෙරවරු 7.30 ට මහ සඟරුවන උදෙසා හීල් දානය ද , සවස 6.30 ට ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමියන් පවත්වන කඨිනානිශංස ධර්ම දේශනාව ද වේ.

****

පැලවත්ත නන්දනවන විහාරය

පැලවත්ත නන්දනවන විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජා පින්කම, මෙම මස 14,15 දෙදින තුළ, විහාරාධිකාරි පිටිගල සුමන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

14 දින පස්වරු 4.00 සිට, කඨින වස්ත්‍රය රැගත් පෙරහර, 15 දින අළුයම 04.00 ට කිරිපිඬු පූජාව හා කඨින වස්ත්‍රය පෙරහරින් නැදුන්වත්තේ සිට විහාරස්ථානයට වැඩම කිරීමද එදින දාවල සඟසතු දානමය පුණ්‍යකර්මය සහ කඨින වස්ත්‍ර පූජාව ද සිදුකෙරේ. විශේෂ කඨිනානිශංස ධර්ම දේශනාව 22 ඉල් පෝදා සවස 3.00 ට පවත්වනු ලැබේ. ගෝදාවේ විමලවංශ හිමියන් විසින්.

****

සීනිගම කුසුමාරාමය

සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරාධිපති වේරගොඩ ක්ෂේත්‍රාරාම පිරිවෙන්පති පණ්ඩිත අකුරළ මංජුලතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි සීනිගම ඩී.එම්.නිලමනි මහත්මියගේ දායකත්වයෙන් සිදුකරන කඨින මහා පින්කම මෙම මස 16,17 යන දිනයන්හි සීනිගම කුසුමාරාම පුරණ මහා විහාරයේ දී පැවැත්වේ.

****

රජපිහිල්ල මාවතේ නාගවිමන කන්දේ විහාරය

මහනුවර මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික මහනුවර රජ පිහිල්ල මාවතේ ඓතිහාසික නාගවිමන කන්දේ විහාරයේ අධිපති අඹන්වැල්ලේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කඨින පින්කම මෙම මස 17,18 දිනයන්හි පැවැත්වේ.

****

කොබවක ශී‍්‍ර සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සුමනාරාම මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම මෙම මස 17,18 දෙදින පැවැත්වේ. 17 වන දින දිවා කාලයේදි කඨින වස්ත්‍රය රැගත් රිය පෙරහරක්ද කොබවක කිරිමැටිවලකඩ පාරේ පදිංචි ඒ.ඒ.අජිත් ශාන්ත මහතාගේ නිවසින් කඨින වස්ත්‍රය රැගත් පෙරහර ගමන් ආරම්භ කෙරේ. 18 වෙනි දින දවල් කඨින වස්ත්‍රය සඟ සතුකොට පූජා කිරීම හා සපිරිකර සංඝගත දක්ෂිණාව පැවැත්වේ.