Print this Article


ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් බර්ලින් විහාරයට

ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් බර්ලින් විහාරයට

මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්මදූත මෙහෙවරේ ආභාසයෙන් සිංහල බෞද්ධයන් වෙත හුරු වූ සම්ප්‍රදායක් ලෙස ලෝකය තුළ බුදුදහම පැතිරවීමේ කාර්ය තවදුරටත් සිදුවිය. ඒ අනුව සම්බුද්ධ ශාසනය ජර්මනිය ඇතුලු බටහිර රටවල් තුළ පිහිටුවීමේ ධර්මදූත කාර්යභාරය ද අද මේ මොහොත දක්වා ම සිදුවෙමින් පවතින බව ඉතා සතුටින් සඳහන් කළ යුතු ය.

1951 වර්ෂයේ අශෝක වීරරත්න මහතා බටහිර ජර්මනියට සිදුකළ ප්‍රථම ව්‍යාපාරික සංචාරයේ දී එහි තවත් කඩඉමක ලකුණු සනිටුහන් විය. බුදු දහම ජර්මනියේ මිනිසුන් හටද දායාද කර දීමට අදහසක් ඇතිකරගත් ඔහු එතැන් පටන් ඒ සඳහා කටයුතු කළේ ය. අශෝක වීරරත්න මහතා විසින් 1952 සැප්තැම්බර් 21 වැනි දින ලංකා ධර්මදූත සංගමය ආරම්භ කරන ලදුව, පසුව 1957 දී එය ජර්මන් ධර්මදූත සංගමය යැයි නම් කරන ලදී. ජර්මන් ජාතික ඤාණතිලෝක මාහිමිපාණන් වහන්සේ එහි ප්‍රථම අනුශාසකයන් වහන්සේ වූ අතර එහි ලේකම් තනතුර දරන ලද්දේ අශෝක වීරරත්න මහතා විසිනි.

බර්ලින් විහාරස්ථානයට තවත් සුවිශේෂී දිනයක් එක් කරමින් ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 65 පිරීම නිමිත්තෙන් 2018 සැප්තැම්බර් මස 30 වනදා බර්ලිනයේ ශ්‍රී ලංකා තානාපති ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් සහ වසන්තා ගුණවර්ධන එම මහත්මියගේ සහභාගීත්වයෙන් බර්ලින් විහාරයට අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් වැඩමකරවීමේ කටයුත්ත සිදුවීම ශී‍්‍ර ලාංකිකයන්ගේ මෙන්ම ජර්මන් ජාතිකයන්ගේ සතුට දනවන කරුණක් බවට පත්විය. සැප්තැම්බර් මස 21 වැනි දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් වෙත භාරදුන් බෝධි අංකුරය අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි, අනුරාධපුර ලංකාරාමාධිපති රැළපනාවේ ධම්මජෝති නාහිමි, උලපනේ සුමංගල හිමි, බූටෑවත්තේ සුමනසාර හිමි, නාරංගහමඩිත්තේ චන්දිම හිමි, පුලියද්දේ සුමනසිරි හිමි, නන්ගමුගම පඤ්ඤාරතන හිමි යන හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් බර්ලින් නගරයට වැඩමකරවන ලදී. ඔස්ට්‍රියාවේ වියානා ඤාණපෝනික බෞද්ධ මධ්‍යස්ථානාධිපති වියානා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය විජයරාජපුර සීලවංස නාහිමි, මොරටුව ලන්ඩන් නුවර අතුලදස්සන විහාරවාසී හෝමාගම කොණ්ඩඤ්ඤ හිමි, බර්ලිනයේ සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති රඹුක්වැල්ලේ දේවානන්ද නාහිමි, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය බුද්දියාගම ධම්මසේන හිමි, හැම්බර්ග් විශ්වවිද්‍යාලයේ ආචාර්ය, හැම්බර්ග් වජිරාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය තල්පාවිල කුසලඤාණ හිමි, බර්ලින් විහාරවාසී මහගම සුවිනීත හිමි යන හිමිවරුන්ගේ ද සහභාගීත්වය ඇතිව භික්ෂූන් වහන්සේ 13 නමක් සහ ගාල්ල ආලෝකෝ උදපාදි සිල්මාතා භාවනා ආරාමාධිපති මාලඹේ ධම්මවිමුත්තා මෙහෙණින් වහන්සේ ගේ ද සහභාගීත්වය ඇතිව එම උත්සවය ඉතා උසස් අන්දමින් සිදු වූ බව සඳහන් කළ යුතු ය. දූත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතුල ශ්‍රීපාලි (අසේල) ඉද්දවෙල, බර්ලින් විහාර ජර්මන් මිත්‍රත්ව සංගමයේ සභාපති ටෝබියාස් සීස්මෙයර්, ජර්මන් ධර්මදූත සංගමය වෙනුවෙන් එහි භාරකාර සහ ලේකම් සේනක වීරරත්න, ජර්මන් ධර්මදූත සංගමයේ භාරකාර ආනන්ද විමලධර්ම, බර්ලින් විහාරයේ පරිපාලන නිලධාරී තිස්ස වීරරත්න, බර්ලිනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක රාසික් අහමඩ් යන මහත්වරුන්ගේ සහභාගීත්වය ද එම උත්සවයේ විශේෂත්වයකි.

බර්ලිනයේ ශ්‍රී ලංකා සංගමයේ නිලධාරී මහත්වරු ද සාමාජික සාමාජිකාවෝ ද බර්ලිනයේ ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෝ ද, බර්ලින් වාසී මෙන් ම හැම්බර්ග් ආදී අනෙකුත් නගරවලින් පැමිණි බොහෝ බෞද්ධ මෙන්ම කතෝලික, ඉස්ලාම් ආදී වූ සියලු දෙනාගේ සංවිධානය මෙහි දී මැනවින් සිදු වූ අතර ඔවුන් ගේ සහභාගීත්වයෙන් බෝධි අංකුරය විහාරස්ථානය දක්වා වැඩමවනු ලැබූ පෙරහර අලංකාරවත් විය.

එම මහඟු පුණ්‍ය කර්මයට වැඩම කළ මහා සංඝරත්නය ද, තානාපතිතුමන්ගේ සංකල්පයට අනුව මූලාරම්භ කළ මෙම කර්තව්‍ය සිදුකරගැනීමට සහායදුන් විශේෂයෙන් බර්ලිනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියලුම නිලධාරී හා සේවක මණ්ඩලය ද, කොළඹ ජර්මන් ධර්මදූත සංගමයේ සභාපතිතුමා, භාරකාර මණ්ඩලය, කාරක සභාව, පරිපාලන නිලධාරී කේමින්ද සිල්වා මහතා ද එම සංගමයේ සාමාජික පිරිස ද බර්ලින්හි වාසය කරන ශ්‍රී ලාංකික ජනතාව ද ජර්මන් ජාතික ජනතාව ද ඉතා කෘතවේදී ව පින් දීමෙන් සිහිපත් කළ යුතු ය.