Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

විශාඛා මහා උපාසිකාව

භද්දිය නුවර ධනංජය සිටුතුමාගේ දියණිය විශාඛා කුමරිය යි. ඇය කුඩා කල සිට ම අම්මා, තාත්තා සමඟ පන්සලට යන්නට පුරුදු වී සිටියා. ඇය බුදුරදුන්ගේ බණ අසා අවුරුදු හතේ දී සෝවාන් වූණා. කුඩා කල සිට ම හරිම සංවර යි. දනට පිනට ලැදියි. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට සැදැහැ සිතින් දන් දුන්නා. විශාඛා කුමරිය විවාහ වුණේ සැවැත්නුවර මිගාර සිටුවරයාගේ පුතා සමඟ යි. ඔහුගේ නම පූර්ණවර්ධන යි. ඔවුන් දන් දුන්නේ නිගන්ඨයන්ට යි. නිගන්ඨයන්ගේ නො මනා හැසිරීම් දැක විශාඛා කුමරිය විරුද්ධ වූවා. ඇය මිගාර පවුලේ අයට බුදුන් වහන්සේ ගැන කියා දුන්නා. ඒ අය කැමැති කරවාගෙන බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට දානයක් පිළියෙළ කළා. දානමය පින්කම දවසේ බණ අසා මිගාර පවුලේ හැම දෙනා ම තෙරුවන් සරණ ගියා. එතෙක් බුදු දහම කෙරෙහි ඇති වැරැදි අවබෝධය නැතිවුණා. මිගාර සිටුතුමා තමා සුමගට යොමු කළ විශාඛා සිටු දුවට මවක සේ සැලකුවා. ඇය පූර්වාරාමය තනවා පූජා කළා. එය මිගාරමාතු ප්‍රාසාදය නමින් ද හැඳින්වේ.

****

භික්ෂුණී ශාසනය

බුදු වී පස් වසක් – එළැඹිණි එක් දිනයක් අසිරිමත්
ලබා ගනු පිණිස පැවිදි බව ද- ගෝතමිය හා ආවා පිරිසක්

ඉල්ලුවා තුන් වරක් - දෙනමෙන් උතුම් පැවිදි බවක්
නො ලැබුණා ඉඩකඩක් – එතුමියට ඇතිවිය දුකක්

අනඳ හිමි අයැදුමෙන් - යොමු විය බුදු කරුණාව
ලැබුණා උතුම් පැවිදි බව – නිවනෙන් නිවුණි බොහෝ කතුන්

****

අපේ දහම් පාසල

අපේ දහම් පාසල ‘ශ්‍රී ධර්මකීර්ති දහම් පාසලයි’ එය මාතලේ කොහොඹිලිවෙල ගමේ පිහිටා තිබේ. අපේ පන්සලට ඓතිහාසික වැදගත්කමක් හිමි වී ඇත්තේ වීර පුරන්අප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා යන වීරයන් සුද්දන්ට එරෙහි ව සටන් මෙහෙය වූ ප්‍රදේශයක් වීම නිසා ය. වීර පුරන්අප්පු සිටි ගල්ලෙන අදටත් දක්නට ඇත. එම ගම වීරපුරන්අප්පු පෙදෙස නමින් නම් කර තිබේ. දහම් පාසලේ අපටත් එය මහත් ආඩම්බරයකි. අපේ දහම් පාසලේ නා හිමියෝ, අම්පිටියේ ධර්මකීර්ති ස්වාමීන් වහන්සේ දහම් පාසල මුල් අවදියේ සිට මේ දක්වා පවත්වාගෙන යාමට බොහෝ වෙහෙස මහන්සි වූහ. උන්වහන්සේ ඇතුළු උගත් ගුරු මණ්ඩලයේ සහයෝගයෙන් දහම් පාසල් දරුවෝ ගුණ නැණ වඩමින් ඉදිරියට යති. අපේ පන්සලේ වෙහෙස වී කටයුතු කරන නායක හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා.

****

බුදු තෙමඟුල

ලුම්බිනියේ සාල වනේ
මහ සල් උයනක් මැද්දේ
මහමායා මව් කුසිනේ
මහ බෝසත් පහළ වුණේ

ගිහි ගෙට හිත කළ කිරුණේ
සම්පත් හැම හැර දැමුණේ
සව් කෙලෙසුන් මුල් සිඳුණේ
සම්බුදු හිමි පහළ වුණේ

උපවත්තන සල් උයනේ
සැතපී මල් තුරු සෙවණේ
අනියත බව පවසමිනේ
සම්බුදු හිමි පිරිනිවුණේ

****

පැන විසඳුම් සිව්වන ජයග්‍රාහිකාව

පර පණ නො නසමු

බෞද්ධ ගිහියාගේ නිත්‍ය ශීලය වනුයේ පංචශීලය යි. එහි පළමු සිල් පදය “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යන්න යි. එහි තේරුම මම ප්‍රාණඝාතය නො කිරීමේ සිල් පදය සමාදන් වෙමි යන්න යි. ප්‍රාණඝාතය යනු යමකුගේ ජීවිතය විනාශ කිරීම නොහොත් එම පුද්ගලයා මරණයට පත් කිරීමයි. මිනිසුන්, සතුන් මෙන්ම මේ ලොව ජීවත් වන කුඩා කුහුඹුවා පවා විනාශ කළහොත් ඒ සැවොම ප්‍රාණඝාත අකුසලයට අයත් වෙති. මෙලොව උපත ලද මිනිසා ඇතුළු සියලුම සත්ත්වයෝ තම ජීවිතයට අතිශය පි‍්‍රය කරති. සෑම මිනිසෙක් ම, සතෙක් ම අකාලයේ මිය යාමට අකැමැති ය.

බුද්ධ දේශනාවට අනුව ප්‍රාණඝාතය මෙලොව, පරලොව දෙකෙහි ම විපාක දෙන්නා වූ විශාල අකුසලයකි. බුදුරදුන්ගේ කාලයේ සිටි චුන්දසූකර නම් පුද්ගලයා ඌරන් මරා මස් විකිණීම කළ පුද්ගලයකු නිසා අවසානයේ දී ඔහුට තමා කළ විපාක ලෙස ඌරකු මෙන් කෑ ගසා දුක් විඳ මිය යාමට සිදු විය. මෙය ප්‍රාණඝාතයෙහි යෙදෙනු වස් ලැබෙන අහිතකර ප්‍රතිඵලයකි. අද දක්වා ඔහු නිරයේ දුක් විඳියි. එනිසා මිනිසුන් ලෙස අපි ප්‍රාණඝාතයෙන් වැළකී සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කරමු.

****

පළමු දම් දෙසුම

සිදුහත් බෝසතාණෝ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීමට ආලාරකාලාම හා උද්දකරාමපුත්ත යන තවුසන් සෙව්ව ද, ඔවුන් ඒ වන විටත් මිය ගොස් තිබිණි. එබැවින් ඇසළ පුර පසළොස්වක පොහෝ දින බරණැස ඉසිපතනාරාමයේ දී ලෝ වැසියන් අඳුරින් ආලෝකයට කැඳවා ගැනීම පිණිස ප්‍රථම දහම් දේශනාව එනම්, කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන පස්වග මහණුන් අරබයා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළ සේක. එය බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දේශනය යි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පැවිද්දෙකු අත්හළ යුතු අන්ත දෙක වන අත්තකිලමතානු යෝගය හා කාමසුඛල්ලිකානු යෝගය පිළිබඳව ද, මධ්‍යම ප්‍රතිපදාවේ අගය පිළිබඳව ද, චතුරාර්ය සත්‍ය වන දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍ය ද අන්තර්ගත වේ.

****

අපරිමිත කරුණා ගුණය

අන් අයට විපතක්, කරදරයක්, දුකක් ඇති වූ විට ඒ පිළිබඳ අනුකම්පා සහගත ව ක්‍රියා කිරීම කරුණාවයි. බුදුරජාණන් වහන්සේ දිනපතා උදෑසන ම මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දෙස බලා පිහිට විය යුතු අයට පිහිට වූ සේක. කරදර විපත් පැමිණි විට ඕනෑම අයෙකු අසරණ විය හැක. උස්, පහත්, ධනවත්, දුප්පත් කිසිදු භේදයක් ඊට බල නො පායි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට වෛර කරන, ගැටෙන සියල්ලන්ට ම සමසිතින් කරුණාව දැක්වූ සේක.

පෞද්ගලික හිතවත්කම් හෝ නෑ සබඳතා හෝ මත උදව් උපකාර කිරීමට ඉදිරිපත් වන ස්වභාවය සැබෑ කරුණාව නොවේ. කරුණාව මැනවින් ප්‍රගුණ කළ තැනැත්තා ජාතිය, කුලය හෝ නෑදෑ හිතවත්කම් හෝ නො සලකා කටයුතු කරයි. දුකකට, කරදරයකට පත්වන කවරකුට වුව අන් අයගේ උදව් උපකාර අවශ්‍ය වේ. එසේ වුව ද, උපකාර කිරීමට පෙළඹීමක් ඇති වන්නේ කරුණා සහගත සිතිවිලි ඇති විට පමණි. මිනිසුන් කෙරෙහි පමණක් නොව තිරිසන් සතෙකු හෝ දුකට, අසරණභාවයට පත්ව ඇති අවස්ථාවක දී උපකාර කිරීමට යොමු වන්නේ කාරුණික අයෙකි. කරුණාවෙන් පිරුණු පුද්ගලයින් වෙසෙන සමාජයක් සුන්දර ය. කරුණාව මැනවින් ප්‍රගුණ කළ යුතු ගුණ ධර්මයකි.

****

අපේ පන්සල

****

වඳිමු සිරිපා