Print this Article


බෝසත් දරුවන්ට: සතුටින් පින් කරමු ඒ පින අනුමෝදන් කරමු

සතුටින් පින් කරමු ඒ පින අනුමෝදන් කරමු

" රජතුමා නින්දට වැටුණා විතරයි නපුරු සිහින පෙනෙන්නට පටන් ගත්තා. රජතුමාගේ පෙර මිය ගිය ඥාතීන් හඬා වැටුණා. කෑ ගැසුවා. සමහරු ඇඳුම් ඉල්ලුවා. සමහරු කෑම බීම ඉල්ලුවා. රජතුමා බොහොම බය වුණා. උදේ පාන්දර අවදිවෙලා බුදුරජාණන් වහන්සේ වෙත ගියා."

පින්වත් දරුවනේ, අද අපි කතා කරන්නේ පින්දීම ගැන. තමන් පින් කරගෙන, ඒ කරගත් පින තවත් කෙනෙකුට අනුමෝදන් කරනවා නම්, එයත් දස පුණ්‍යක්‍රියාවලින් එකක්. කෙනෙකුට යමක් දෙන්න නම්, තමන් ළඟ තිබෙන්නට ඕනෑ. ගොඩක් තිබුණොත් ගොඩක් දෙන්න පුළුවන්. ටිකක් තිබුණොත් දෙන්නට වෙන්නේත් ටිකක් පමණයි. පිනත් ඒ වගේ, පින් වැඩියෙන් තිබුණොත් වැඩියෙන් පින් දෙන්න පුළුවන්.

බොහෝ අය පින් ගැන දන්නවා. පින් කරනවා. ඒත්, කළ පින තව කෙනෙකුට දෙන්න පුළුවන් බව දන්නේ නෑ. පින් දෙනවා යන්න අනුමෝදන් කරනවා යනුවෙනුත් අර්ථ ගැන්වෙනවා. තමන් කරන හැම පිනක් ම තව අයටත් අනුමෝදන් කරන්න පුළුවන්.

මෙහි අනෙක් පැත්ත බලන්න. සමහරු පින් කළේ නැතත්, තමන් කරන පව්වලට අනෙක් අයත් සම්බන්ධ කරනවා. අපි දන්නවා වැරැදි කරලා හිරේ විලංගුවේ වැටෙන බොහෝ අය එතැනට යන්නේ තනිවම නොවෙයි. තව අයත් සම්බන්ධ කරගෙන. ඒ පව් අනුමෝදන් කිරීමේ විපාක තමයි.

දරුවනේ, පින් අනුමෝදන් කිරීම බොහොම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. අපි හිතමු මේ දරුවෝ තමන් ම හදාගත් මල්ගහකින් මල් ටිකක් කඩාගෙන, ඉතා ම පිළිවෙළකට වට්ටියක අසුරලා, බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා. එය මල් පූජා කිරීමේ පින්කමක්. ඒ පිනෙන් ලස්සන රූපයක් ලැබෙනවා. සිතා බලා වැඩ කරන්න ඉගෙන ගන්නවා. කළමනාකරණය පුුරුදු වෙනවා. දැන්, මල් පූජා කිරීමෙන් ලැබෙන පින අනුමෝදන් කරන්නේ කාටද? බොහොමයක් අය ඉන්නවා. පින් කළාම දෙවියන්ටත් කලින්, මියගිය ඤාතීන්ටත් කලින්, ජීවත් ව ඉන්න අයට පින් දෙන්න ඕනෑ. තමන් කරගත් පින මුලින් ම අම්මටයි, තාත්තටයි අනුමෝදන් කරන්න පුළුවන්.

මම මේ පින් කළේ අම්මා, තාත්තා දෙන්නා මා මේ ලෝකයට බිහිකළ නිසයි. අත පය නොකඩා හැදූ වැඩූ නිසයි. ඉතින් මම කරගත් පිනෙහි පළමු කොටස මගේ අම්මාට තාත්තට අනුමෝදන් වේවා කියලා හිතන්නට ඕනෑ. හිතලා විතරක් මදි. තමන් සමීපයේ ඉන්නවා නම්, අම්මයි තාත්තයි නිසා මම ලොකු පින්කමක් කළා කියලා කියන්න ඕනෑ. දුර බැහැර ඉන්නවා නම්, දුරකථනයෙන් කියන්න පුළුවන්. ඒ අසන මව්පියන් අනේ, මගේ දරුවා හොඳ පින්කමක් කරලා යනුවෙන් හිතමින් සතුටු වෙනවා. එවිට ඒ දෙදෙනා පින් අනුමෝදන් වෙනවා.

මේ විදිහට ගුරුවරුන්ට, ඤාතීන්ට, හිතමිතුරන්ට පින් දෙන්න පුළුවන්. ඒ වගේ ම දරුවනේ තවත් පැත්තක් තිබෙනවා. තමන් කළ පින ගැන තව කාට හෝ කීමත් අනුමෝදන් කිරීමක්. සඟවාගෙන සිටියාට පින් ලැබෙන්නේ නෑ. පහනක් දැල්වූවා කියා සිතමු. ඒ පහනෙන් තවත් පහනක්, දෙකක් ආදී ලෙස පහන් දහසක් දැල්වූවත් පළමු පහනේ ආලෝකය අඩුවෙන්නේ නෑ. තව තවත් වැඩිවෙනවා. ඒ වගේ, පින්කමක් කරලා, ඒ ගැන කියලා බොහෝ අය සතුටු වෙනවා නම්, ඒ පින්කම මහත්ඵලයි. මහානිශංසයි. ඊළඟට දරුවනේ, තමන් කළ පින් දෙවියන්ට අනුමෝදන් කරන්න පුළුවන්. පින් කරන්න පුළුවන් වගේ ම නොහැකි දෙවිවරුත් ඉන්නවා. සමහර දේව කොට්ඨාස ජීවත් වන්නේ අප දෙන පින් අනුමෝදන් වීමෙන් පමණයි. අපි පින් කරනවිට තමන්ටත් පින් දෙයි කියලා දෙවිවරු බලාපොරොත්තු වෙනවා. ඉතින් දෙවිවරු පින් අනුමෝදන්වෙලා සතුටට පත්වෙනවා. ඒ සතුට නිසා අප ආරක්ෂා කරනවා. පාඩම් මතක තියාගන්න උදව් කරනවා. ඒත් සමහර අය දෙවියන්ට දෙන්නේ පින් නොවෙයි. විවිධ දේ පූජා කරනවා. දුන්නාට කමක් නෑ. හැබැයි දෙවිවරු ඒවා ගන්නේ නෑ. දෙවිවරු අපට පෙනෙන්නේ නෑ. නොපෙනෙන අයට දෙන්න ඕනෑ නොපෙනෙන දේ.

ඒ වගේම දරුවනේ, මිය ගිය ඥාතීන්ට අප කළ පින් අනුමෝදන් කරන්න ඕනෑ. මිය ගිය ඥාතීන් විවිධ ආත්මවල උපත ලබනවා. ඒ ඥාතීන් පරදත්ථූප ජීවි කියන ආත්මභවයේ සිටීනම් පමණයි අප දෙන පින් අනුමෝදන් විය හැකි වන්නේ.මිය ගිය හැමෝටම පින් ගන්න බෑ.

බිම්බිසාර මහ රජතුමා එදා බුදුරජාණන් වහන්සේට ප්‍රථම ආරාම පූජාව සිදු කළා. වේළුවනාරාමය පූජා කරලා සතුටින් නිදා ගන්නට ගියා. රජතුමා නින්දට වැටුණා විතරයි නපුරු සිහින පෙනෙන්නට පටන් ගත්තා. රජතුමාගේ පෙර මිය ගිය ඥාතීන් හඬා වැටුණා. කෑ ගැසුවා. සමහරු ඇඳුම් ඉල්ලුවා. සමහරු කෑම බීම ඉල්ලුවා. රජතුමා බොහොම බය වුණා. උදේ පාන්දර අවදිවෙලා බුදුරජාණන් වහන්සේ වෙත ගියා. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඊයේ රාත්‍රියේ මම නරක සිහින පෙළක් දුටුවා. ඔබ වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට ආරාම පූජාව සිදු කරලා සතුටු සිතින් නින්දට ගියා. ඒත් නින්ද ගියේ නෑ. පහන්වනතුරුම සිහින දුටුවා. පිරිසක් ඇවිත් කෑ ගසා හඬන්නට පටන් ගත්තා. ඇයි එහෙම දෙයක් වුණේ.?”

රජතුමා බුදුහිමියන්ගෙන් විමසුවා.

“පින්වත් රජතුමනි, ඔබතුමා කළේ මහා විශාල පින්කමක්. ඒත් මිය ගිය අයට පින් අනුමෝදන් කළේ නෑ. බය වෙන්න එපා. ඔබතුමා ප්‍රමාද නෑ. හිස් භාජනයක් ගන්න. එයට වතුර පුරවන්න. වතුර පිරුණු භාජනයෙන් තවත් හිස් භාජනයකට ටිකෙන් ටික වතුර පුරවන්න.” බුදුහිමි උපදෙස් දුන්නා. අපි එයට කියන්නේ පැන්වඩනවා කියලයි. පිරුණු බඳුනින් හිස් බඳුනට පැන් වඩන විට හිස් බඳුන පිරී ඉතිරී යනවා.

“රජතුමනි, ඔබගේ ඤාතීන් ඔය හිස් බඳුන ජලයෙන් පිරී ඉතිරී ගියා වගේ පින් අනුමෝදන් වෙලයි ඉන්නේ. ඔබ පින් අනුමෝදන් කරලා තවත් පිනක් සිදු කරගත්තා.”

බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාට පැහැදිලි කර දුන්නා. එදා තමයි දරුවනේ පැන් වැඩීම කියන පින්කම ආරම්භ වුණේ. පින් කරගත් රජතුමා වතුර පිරුණු බඳුන වගේ. පින් බලාපොරොත්තු වූ ඤාතීන් හිස් බඳුන වගේ. පැන් වත් කරනවා කියන්නේ පින් අනුමෝදන් කරනවා කියන එකයි. බඳුන පිරී ඉතිරී යනවා කියන්නේ පින් අනුමෝදන්වෙලා සතුටට පත්වෙනවා කියන එකයි. අපි මේ පිළිබඳ ව තව දුරටත් තේරුම් ගනිමු. පින් දීමත්, පින් අනුමෝදන් වීමත් දෙකම පිනක්. අනුමෝදන් වන්නේ කොහොමද? අපි සිතමු රූපවාහිනී මධ්‍යස්ථානයක් තිබුණා කියලා. අපේ බොහොමයක් දරුවෝ රූපවාහිනිය බලන්න හරිම කැමැතියිනේ. රූපවාහිනිය බැලුවාට කමක් නෑ. ඒත් සෑම දෙයකම සීමාවක් හදාගන්න ඕනෑ. ඉතින් රූපවාහිනී මධ්‍යස්ථානය අපි කැමැති වැඩසටහන් නිෂ්පාදනය කරනවා. කාටුන්, ගීත, ටෙලි නාට්‍ය වගේ දේ පන්සල, ගෙදර ආදී අප පින් කරන තැනත් හරියට රූපවාහිනී මධ්‍යස්ථානයක් වගේ. ඇයි දන්නවාද? රූපවාහිනී වැඩසටහන් හදන්නේ ප්‍රේක්ෂකයින්ගේ සිත් සතුටු කරන්නනේ. ඒ වගේ මියගිය ඤාතීන්ට පින් පිණිස ගෙදර පින්කමක් සූදානම් කළොත්, අපි සිතමු දානමය පින්කමක් කියලා. කොඩිවැල් සරසනවා. ආසන සකසනවා, භික්ෂූන් වහන්සේලාගේ පා දෝවනය කරන්න පැන් තියනවා, ආහාර පිළියෙළ කරනවා. මේ වගේ විවිධ පින්කම් කරනවා. එහෙම කරන්නේ මිය ගිය අයගේ සිත් සතුටු කරන්න. හරියට ප්‍රේක්ෂකයින්ගේ සිත් සතුටු කරන්න රූපවාහිනී මධ්‍යස්ථානය වැඩ කරනවා වගේ.

ඉතින් අපට අවශ්‍ය වැඩසටහන් විකාශනය වන වෙලාවට රූපවාහිනිය ක්‍රියාත්මක කරනවා. එවිට තරංග නිකුත් කරන මධ්‍යස්ථානවලින් රූපවාහිනී කිරණ නිවසේ රූපවාහිනියට ලැබෙනවා. අන්න ඒ වගේ පින් කරන තැන ඉඳලා පින් නමැති තරංග ඒ මිය ගිය අයටත් අනුමෝදන් කළාම අපි රූපවාහිනිය බලා සතුටු වෙනවා වගේ ඒ අයත් පින් අනුමෝදන් ව සතුටු වෙනවා. රූපවාහිනියේ ආදර්ශවත් වැඩසටහනක් විකාශනය වුණොත්, සතුටට පත්වෙලා ඒ ආයතනයට ලිපියකුත් යවනවා. වැඩසටහන හොඳයි කියලා. අද කාලේ නම්, එස්.එම්.එස්. පණිවුඩ යවනවා. ඉතින් ඒ වගේ අපේ ඥාතීන් පින් අනුමෝදන් වෙලා පමණක් බලා ඉන්නේ නෑ.

‘තිරං තිට්ඨතු නො ඤාති’

අනේ අපේ ඤාතීන්, අපි වෙනුවෙන් පින් කරලා පින් දෙනවා. ඒ නිසා මේ අය ආරක්ෂා කරන්න ඕනෑ’ යි සිතමින් රැකවරණය දෙනවා.

පින් කරලා පින් දෙන සැටි දැන් දැනගත්තානේ දරුවනේ, ඔබත් දාන, ශීල, භාවනාදී පින්කම් සිදු කරලා දෙවියන් ප්‍රමුඛ, මිය ගිය ඥාතීන්ටත්, සුජීවත් ව වාසය කරන හැමෝටමත් පින් දෙන්න පුරුදු පුහුණු වෙන්නට ඕනෑ.