Print this Article


රාධ මහරහතන් වහන්සේ

රාධ මහරහතන් වහන්සේ

සම්බුදු සසුනෙහි චිර පැවැත්මත්, ධර්ම විනයෙහි ආරක්ෂාව පිණිසත් ඒ ඒ කුසලතාවන්ට අනුගතව මහරහතන් වහන්සේලා උදෙසා අග තනතුරු පිරිනමන ලදී. ඒ අතර දම් දෙසුම් වටහා ගන්නා භික්ෂූන් අතර අගතනතුර ප්‍රදානය කරන ලද්දේ රාධ මහරහතන් වහන්සේට ය.

උන්වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි සිටු කුමරෙකු ලෙස ඉපදුණහ. දිනක් ගෙපිළිවෙලින් පිඬුසිඟා වඩින විපස්සී බුදුරජාණන් වහන්සේ දැක අපමණ පැහැදුණු සිතින් යුතුව, විපස්සී බුදුරජාණන් වහන්සේට මිහිරි අඹ ඵලයක් පූජා කළේ ය. විපස්සි බුදුරජාණන්වහන්සේ කෙරෙහි හටගත් ශ්‍රද්ධාවත්, පූජා කළ අඹ ඵලයෙහි ආනිසංසත් හේතුවෙන් සිටු කුමරු මරණින් මතු සුගතියෙහි ඉපදුණේ ය. දෙව් මිනිස් භව කෙළවර ගෞතම බුදුරජාණන් වහන්සේ දවස රජගහ නුවර ධනවත් බ්‍රාහ්මණ පවුලක ඉපිද රාධ කුමරු නමින් ප්‍රකට විය.

කල්යත් ම තරුණ වියට පත් රාධ කුමරු සුදුසු කල විවාහ දිවියට පත්ව දරුවන් කිහිපදෙනෙකුගේ පියෙකු බවට පත් විය. ජීවිතයේ සැදෑ සමයට පත් වූ රාධ බමුණු තෙමේ කිසිවෙකුගේ හව්හරණක් නොමැති ව හුදකලා ජීවිතයක් ගත කළේ ය. ස්වකීය බැමිණියගේ වියෝවත්, දරුවන්ගේ නොසැලකිලි බවත් හේතුවෙන් රාධ බමුණා අධික ලෙස චිත්ත පීඩාවටපත් විය. සිතට සහනයත්, ලෞකික ජීවිතයේ යථාර්ථයත් අවබෝධ කරගනු පිණිස තමා පැවිදි කරන ලෙස ජේතවන වෙහෙර වැසි භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියේ ය. වරක්, දෙවරක්, තෙවරක් රාධ බමුණාගේ ඉල්ලීම එකී භික්ෂූන් වහන්සේලා ප්‍රතික්ෂේප කළහ. එයින් බලවත් සිත් තැවුලට පත් වූ රාධයන් ආහාරපාන ගැනීම නිසි ලෙස සිදු නොකළේ ය. රාධ බමුණාගේ සිතත් ගතත් ක්‍රම ක්‍රමයෙන් දුර්වල වන්නට විය.

දිනක් භාග්‍යවතුන් වහන්සේ ඔහු දැක කරුණු විමසා රාධ බමුණා කුමන හෝ භික්ෂුවකට සුළු හෝ උපකාරයක් කර ඇති ද යනුවෙන් විමසූහ. එවිට මහත් වූ ප්‍රඥාවෙන් අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ ඉදිරිපත් වී මා දිනක් පිඬු පිණිස වඩින විට මා හට බත් සරළුවක් පූජා කළ බව පැවසූහ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කළ ගුණයට ප්‍රශංසා කළ බුදුරජාණන් වහන්සේ රාධ බමුණාගේ පෙර භවයන්හි කරන ලද කුසල කර්මයන් දැක පැවිදි කරන ලෙස සැරියුත් මහරහතන් වහන්සේට අනුදැන වදාළහ.

අගසව් සැරියුත් මහරහතන් වහන්සේ විසින් පැවිදි කරන ලද රාධ හිමියන් නොබෝ කලකින් සව් කෙළසුන් නසා මහරහත් භාවයට පත් වූ හ. අරහත්වයටපත් උන්වහන්සේ බුදුන් වහන්සේ සමීපයෙහි ම හිඳිමින් මනා ලෙස ධර්මය ශ්‍රවණය කළහ. ඒ අනුව හැසිරුණහ. පසුව බුදුරජාණන් වහන්සේ විසින් අග තනතුරු ප්‍රදානයේ දී දම් දෙසුම් වටහා ගන්නා භික්ෂූන් අතර අගතනතුර රාධ මහරහතන් වහන්සේට පිරිනමන ලදී. ඒ උන්වහන්සේ පෙර භවයන්හි ශ්‍රද්ධා සිත් ඇති ව කරනු ලැබූ පින් බල මහිමයෙනි. රාධ මහරහතන් වහන්සේ අන් අයට ද සමථ විදර්ශනා වඩා විමුක්ති සුවයට පත්වීම සඳහා ථේර ගාථාවන්හි සඳහන් මෙම ගාථා ධර්මය දේශනා කළහ.

යථාගාරං දුච්ඡන්නං - වුට්ඨි සමතිවිජ්ඣති
ඒවං අභාවිතං චිත්තං - රාගෝ සමතිවිජ්ඣති

මනාලෙස සෙවිලි නොකරන ලද ගෙය වැස්සෙන් තෙමෙන්නාක් මෙන් සමථ විදර්ශනා නොවැඩූ සිත රාගයෙන් දැවේ.

යථාගාරං සුච්ඡන්නං - වුට්ඨි න සමතිවිජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං - රාගෝ න සමතිවිජ්ඣති

මනාලෙස සෙවිලි කරන ලද ගෙය වැස්සෙන් නොතෙමෙන්නාක් මෙන්, සමථ විදර්ශනා වැඩූ සිත රාගයෙන් නොදැවේ.