Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: සසරට ගෙන යන ධාර්මික සතුට

සසරට ගෙන යන ධාර්මික සතුට

ඇතැම් පුද්ගලයන් විවාහ ජීවිතයේ ලද සැපතෙහි අඩුවම යි සොයන්නේ. ජීවිතයේ තෘප්තිමත් බවට වඩා අතෘප්තියමයි රැඳෙන්නේ. මෙහෙම වෙන්නේ ඒ අයගේ පෙර සංසාරයේ කරපු පින් පව් මත. පව් වැඩි පුද්ගලයා සතුටින් ඉන්නවාට වඩා දුකින් කල් මරන්න කැමැති යි. ලැබුණු දෙයට වඩා නො ලැබුණු දේ ගැන සිත සිතා දුක්වෙනවා.

සමහර අවස්ථාවක දී අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දුක් වෙනවා. තැවී තැවී දුක් වෙවී කල්පනා කරන්න ඔවුන් කැමැතියි. ඊට හේතුව ලද සැප සම්පත්වල අල්පකම නොවෙයි. සංසාරේ පින් මදිකම . පින් වැඩි, පිනෙන් පොහොසත් පුද්ගලයා එහෙම නොවෙයි. යහපත් දෙය ම යි අර්ථවත් දෙයම යි දකින්නේ . වැඩි වෙලාවක් සැහැල්ලුවෙන් ඉන්නවා. අනවශ්‍ය හෝ අවශ්‍ය කිසිම දෙයක් ගැන කල්පනා කර කර ඉන්නේ නැහැ. ඒ සඳහා වැය කරන වෙලාවෙත් මොනවා හරි අර්ථවත් දෙයක් කරනවා. උට්ඨාන වීර්යය ඔහුගේ ජීවිතයේ තේමා පාඨයයි. .

එහෙම අය ඕනෑතරම් අපේ සමාජය තුළ දකින්න පුළුවන්. දවසින් දවස ඔවුන් දියුණු වෙනවා. අනුන්ට කරදර නොකර දියුණු වීමට අවශ්‍ය ආකාරයයි කල්පනා කරන්නේ. උල්පතකින් ජලය එන විට ජලය එන්න එන්න තමයි ඒවා වැඩිය පිරිසුදු වෙන්නේ. හිතත් ඒ වගේ . හොඳ සිතිවිලි සිතට එන්න එන්න හිතත් සැහැල්ලුයි. අලුත් අලුත් අදහසුත් එනවා. තම විවාහය පිළිබඳ ව සිතන්නත් ඕන. ඒ ආකාරයට තමයි. යහපත් විදිහට සිතන්න සිතන්න එහි රසය දැනෙන්න පටන් ගන්නවා.

ඔබට මොන වගේ දේවල් ලැබිලා තිබෙනවා ද? ඇයි ඒවා ගැන නොසිතන්නේ. ඇයි නොලැබුණු දෙය ගැන සිතන්නේ. එය දියුණු වෙන පුද්ගලයාගේ සිරිතක් නොවෙයි. ලැබෙන දෙය පිළිබඳ ව නොහිතන, නොලැබෙන දෙය ම සිතන තැනැත්තා හෝ තැනැත්තිය පැය විසිහතරේ ම අතෘප්තිමත්. විවාහයෙන් පස්සේ ඔබට කොපමණ දේ ලැබිලා තිබෙනවා ද? සමහර වෙලාවට යමක් අහිමි වෙලාත් ඇති. වෙන පැත්තකින් ඊට වඩා වැඩි දෙයක් ලැබිලත් ඇති. ඒවා ගැන හිතා අසල්වැසි නිවසේ අය බේරුම් කර දෙන්න එන්නේ නැහැ. ඒඅය එන්නේ වෙන ගින්නක් පත්තු කරලා හිනාවෙන්න. දෙපැත්තම හිතලා වටහාගන්න පුරුදු වෙන්න ඕනෙ. තිබූ දේවල් නැතිවීම ම නේද කියන්නේ. නොතිබූ දේවල් ලැබීම කියලා කියන්නේත් එයට ම නේ. දියුණුව කියන්නෙත් එයටයි. තම තමන් දෙන ආකාරයට තමයි පෙරලා ලැබෙන්නේ.

එය වැරැදි ප්‍රකාශයක් නොවෙයි. දුන්නත් සිතට සතුටක් නැත්නම්, ඒ දීමෙන් පලක් තියෙනවා ද? සිතේ සතුට තමයි වැදගත් වෙන්නේ. ශරීරය නිරෝගි කරවන්නේ. ජීවිතය සැපවත් කරවන්නේ. අනුන්ට ගිනිදීලා සතුටු වෙන අයත් සමාජයේ ඉන්නවා. බැලූ බැල්මට ඒ අයත් සතුටින් ඉන්නවා වගේ පෙන්නුවාට අභ්‍යන්තර ජීවිතය මහා අඳෙීනාවක්. ධාර්මික සතුට වැඩියෙන් අවධාරණ කළ යුත්තේ එයයි . එය රැගෙන එන්නේ පෙර සංසාරයේ සිටයි.

එහෙම වුණත් නැවත එය වර්ධනය කරගන්න උත්සාහවත් බුද්ධිමතාට පුළුවන්. . පෙර සසරින් අරගෙන නාවත් උත්සාහවන්ත කෙනෙකුට ප්‍රීතිය ආභරණයක් කරගන්න පුළුවන්. මිල මුදල් වියදම් කර ආභරණ ගෙන පැළැන්දුවත් සතුටු සිතේ ආශ්වාදය නොදන්න අයට ඉන් වැඩක් වෙන්නේ නැහැ. ධාර්මික සතුට, ප්‍රීතිය තරම් වෙනත් ධනයක් ලොවේ අන් කිසි තැනක නැහැ. තම තමන්ගේ නැණ නුවණ අනුව තමයි මෙය විවිධ වර්ගීකරණයන්ට හරවා ගන්නේ.