Print this Article


සුගති ගමන 31 : කඨිනයේ වටිනාකම

සුගති ගමන 31 :

කඨිනයේ වටිනාකම

කඨින චීවරයක් පූජා කරගන්න ලැබෙන්නේ, වසරකට එක වතාව යි. පන්සලක ස්වාමීන් වහන්සේ පනස් නමක් වස් වැසුවත්, ඒ පන්සලට පූජා කෙරෙන්නේ එක කඨින චීවරය යි. ඒ නිසා කඨිනය නමැති විනය කර්මයත් සමඟ බැඳුණු , විශේෂයෙන් වස් කාලය තුළ බොහොම ගුණ ධර්ම පුරාගෙන , සිල්වත් ව , ගුණවත් ව, වස් කාලය ගත කළ ස්වාමීන් වහන්සේ වස් පවාරණය කර පිටත් ව යන්න පෙර උන්වහන්සේලා විනය කර්මයක් තුළින් ඒ සිල්වත් , ගුණවත්, ස්වාමීන් වහන්සේට පවරන චීවරය බොහොම බලසම්පන්න යි.

වස් සමාදන් වූ භික්ෂුන් වහන්සේ වස් කාලය තුළ එක් ස්ථානයක සිට සතර සතිපට්ඨානය වඩමින් අධ්‍යාත්මික ගුණ ධර්ම බොහෝ පුරුදු කරගත් පිරිසක්. හැබැයි, ඒ උත්තමයන් මාස තුනට අමතර ව තවත් එක් මාසයක් රැඳුණොත් මේ පිරිසෙන් බොහෝ පිරිසකට මාර්ග ඵල ලබන්න පුළුවන්. එලෙස බුදුන් වහන්සේ බුදු ඇසින් විමසා තවත් එක මාසයක් එතැන ම රැඳෙනවා. එලෙස අට මාසයක් යොදුන් හයසියයක පමණ දුරක් දඹදිව ගම් නියම් ගම් පුරා ධර්ම චාරිකාවේ වඩිනවා. එය හඳුන්වන්නේ මධ්‍ය මණ්ඩල චාරිකාව යනුවෙනි.

බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලොව දෙස බලද්දී, වස් මාස තුන අවසන් ව තවත් එක් අමතර මාසයක් එතැන ම රැඳී බොහෝ භික්ෂූන් වහන්සේ මාර්ග ඵල ලබන බව දුටුවොත්, ඒ ප්‍රදේශයේ වෙසෙන භික්ෂූ , භික්ෂුණී, උපාසක, උපාසිකා බොහෝ පිරිසකට ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙන බව බුදු ඇසින් දුටුවොත්, තවත් අමතර මාසයක් එනම්, වස් මාස තුනට අමතරව තවත් මාස දෙකක් එතැනම රැඳී ධර්ම ප්‍රචාරය පිණිස චාරිකාවේ වඩිනවා. ඒ ගමනට ඇත්තේ මාස හතයි. ඒ මාස හතක චාරිකා ගමනේ දී යොදුන් හාරසියයක පමණ දුරක් ගම් නියම් ගම් පුරා වැඩම කරමින් ධර්ම ප්‍රචාරය කරනවා.

එසේනම්, භික්ෂූන් වහන්සේ ධර්ම ප්‍රචාරය පිණිස වැඩම කරන අතරතුර නැවත වස් කාලය එද්දී ඊළඟ වසරේ වස් කාලය එළඹෙද්දී බොහෝ දුර වැඩම කර, ප්‍රදේශයේ ඇති ආරාමයක, සෙනසුනක, එකතුවී මේ වස් මාස තුන මෙම ස්ථානයේ අපි නතර වෙමු’යි යනුවෙන් ඒ කාලයේ එහි දී වස් සමාදන් වෙනවා. ඒ වස් කාලය අවසන් ව එතැනින් පිටත් වෙනවා. මෙලෙස චාරිකාවේ වඩිමින් ධර්ම ප්‍රචාරය කරමින් වැඩම කරන ගමනක් නිසා බොහෝ වේලාවට වස් කාලයට එකතුවන ආගන්තුක ස්වාමීන් වහන්සේ වස් පවාරණය කර පිටත් වූවාට පසුව සමහරු නැවත ජීවිත කාලයට ම දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඒ, ඒ ප්‍රදේශවල, ඈත පළාත්වල, උන්වහන්සේ රහත් වෙලා, ඒ ඒ ප්‍රදේශවල ම පිරිනිවන් පානවා.

එසේනම්, මේ කඨිනය නමැති විනය කර්මයේ දී සිදු වන්නේ වස් කාලය තුළ මාස තුන, එක කාලයක එක් ආරාමයක, එක් සෙනසුනක, ශ්‍රද්ධාදී ගුණ ධර්ම දියුණු කරමින්, ධර්ම සාකච්ඡා කරමින්, සතර සතිපට්ඨාන ආදිය බණ භාවනාවන් වඩමින්, බොහොම සමඟියෙන් වස් කාලය ගත කළ , වස් ශික්ෂා පද නො බිඳා , සිල්වත් , ගුණවත්, සුපේශල, ශික්ෂාකාමී වස් කාලය ගත කළ භික්ෂූන් වහන්සේ චාරිකාවේ වස් පවාරණය කර ඒ, ඒ ප්‍රදේශවලට පිටත් ව යනවා.

එලෙස වැඩම කරන ස්වාමීන් වහන්සේ වසර ගණනාවකින් මුණ ගැසෙන්නත් පුළුවන්, මුණ නො ගැසෙන්නත් පුළුවන්. මෙලෙස පිටත්ව යන ගමනේ දී සංඝයා පිටත් වෙන්න පෙර තමන්ට ලැබුණු කඨින චීවරය , සිවුරක් වෙනුවෙන් ලැබුණු කඨින දුස්සය චීවරයක් ලෙස සකස් කර, පෝය සීමාවට රැස් ව වස් කාලය වැඩ සිටි සුදුසු , සුපේශල, ශික්ෂාකාමී හොඳම ස්වාමීන් වහන්සේ විනයානුකූලව තෝරාගෙන, සියලු සංඝයාගේ අනුමැතියෙන් උන්වහන්සේට කඨින සිවුර පූජා කරනවා. එහි දී බොහෝ විට සිදු කෙරෙන්නේ වැඩිහිටි සිල්වත්, ගුණවත්, සුපේශල, ශික්ෂාකාමී ව වස් කාලය ගත කළ ස්වාමීන් වහන්සේට සිවුර පැවරීම යි. උන්වහන්සේට තුන් සිවුර සම්පූර්ණ නම්, උන්වහන්සේට සිවුරු අවශ්‍ය නැති නම්, උන්වහන්සේ මට සිවුරු සම්පූර්ණ යි යනුවෙන් සංඝයාගේ කැමැත්තෙන් වස් කාලය ගත කළ අනෙක් ස්වාමීන් වහන්සේට මෙම සිවුරු පූජා කරමු’යි යනුවෙන් කඨින චීවරය අනෙක් ස්වාමීන් වහන්සේට ලබා දෙනවා. උන්වහන්සේටත් සිවුරු සම්පූර්ණ යි නම්, උන්වහන්සේගේ කැමැත්තෙන් ඊළඟ භික්ෂූන් වහන්සේට ලබා දෙනවා. මෙලෙස සංඝයා සමඟියෙන් තමන්ට ලැබුණු කඨින චීවරය වස් සමාදන් ව වස් කාලය ගත කළ භික්ෂූන් වහන්සේ අතුරෙන් සුපේශල, ශික්ෂාකාමී , භික්ෂූන් වහන්සේ තෝරා, කඨින චීවරය උන්වහන්සේට පවරනවා. කඨින චීවරය බාර ගන්න, පවරන ස්වාමීන් වහන්සේට විනය තුළ සඳහන් වෙන්නේ උන්වහන්සේට ලැබෙන විශේෂ වරප්‍රසාද කඨින චීවරය භාර ගැනීමත් සමඟ උන්වහන්සේට ලැබෙන බව යි.

එසේනම්, බුද්ධ ශාසනය තුළ කඨිනය නමැති විනය කර්මය ගැන සඳහන් වෙන්නේ මෙලෙස යි. බොහෝ වේලාවට අපට පෙනෙනවා, ලංකාවේ බොහෝ පින්වතුන් , බොහොම ශ්‍රද්ධාවෙන්, කඨින පින්කම්වලට පෙළඹෙනවා. මුදල් තිබෙන අයෙකුට සිවුරු කඩ වෙතින් අවශ්‍ය තරමින් සිවුරු රැගෙන දිනපතා ම වුවත් පූජා කරමින් පූජා පවත්වන්න පුළුවන්. හැබැයි, කෙතරම් මුදල් තිබුණත් , කෙතරම් ධනයක් තිබුණත්, කඨින චීවරයක් පූජා කරගන්න ලැබෙන්නේ, වසරකට එක වතාව යි. පන්සලක ස්වාමීන් වහන්සේ පනස් නමක් වස් වැසුවත්, ඒ පන්සලට පූජා කෙරෙන්නේ එක කඨින චීවරය යි. ඒ නිසා කඨිනය නමැති විනය කර්මයත් සමඟ බැඳුණු , විශේෂයෙන් වස් කාලය තුළ බොහොම ගුණ ධර්ම පුරාගෙන , සිල්වත් ව , ගුණවත් ව, වස් කාලය ගත කළ ස්වාමීන් වහන්සේ වස් පවාරණය කර පිටත් ව යන්න පෙර උන්වහන්සේලා විනය කර්මයක් තුළින් ඒ සිල්වත් , ගුණවත්, ස්වාමීන් වහන්සේට පවරන චීවරය බොහොම බලසම්පන්න යි. එය බොහොම බලවත් පිනක් සේ ධර්මයේ සඳහන් වෙනවා.

කඨිනය නමැති වදනේ අරුත වන්නේ ද බිඳිය නො හැකි බවයි. බොහොම තද ගතියෙන් යුක්ත බවයි. එසේම බලවත් පිනක් සේ කඨින මහා පින්කම විස්තර කර තිබෙන්නේ. එසේම, නාගිතාපදානය වැනි පසුකාලීන ව සඳහන් අටුවා ග්‍රන්ථවල දැක්වෙන්නේ, නාගිත මහ රහතන් වහන්සේ කල්ප ගණනාවකට පෙර සිදුකරගත් කඨින මහා පින්කම්වල විපාකය සසරේ බොහෝ කාලයක්, දෙව්ලොව , බඹලොව සක්විති රජකම් ලබා , එසේ ම චක්‍රවත්තී රාජ සම්පත්තිය ලබා, ශක්‍ර දෙවියන් ව , දෙදෙව් ලොවට අධිපති සක්‍ර පදවිය ලබමින්, රජකම්, සිටුකම් ආදිය බොහෝ සැප සම්පත් ලබා ගෞතම බුද්ධ ශාසනයේ දී මනු ලොවට වැඩම කර, බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ පමණින් ම ‘සුඛා පටිපදා කිප්පා විඤ්ඤා’ - සැප සහිත ප්‍රතිපදාවක ඉක්මනින් ම රහත් වෙන්නට උපකාර වුණේ , පෙර සසරේ සිදු කරගත් කඨින මහා පින්කමක් නිසා බව ඉතිහාස පොත් පත්වල මෙන් ම ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා.

මෙවැනි කාරණාවන් හමුවේ අපට පෙනෙනවා, බොහෝ පිරිසක්, බොහොම ශ්‍රද්ධාවෙන් කඨින මහා පින්කම් සමඟ එකතු වෙනවා, ඒ නිසා ඔබගේ ජීවිතයටත් හැකිතාක් පින් දහම්, කුසල් දහම් දියුණු කරගෙන කඨින කාලය තුළ ධර්මය දියුණු කරගන්න, ඒ මහා කඨින පින්කම් සමඟ එකතු වෙන්න. පින්වත් ඔබ හැමදෙනාටමත් සිදු කරගන්නා කඨින පින්කම්, ධර්ම අවබෝධය පිණිස ම හේතු වාසනා වේවා!