|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ වප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 නොවැම්බර් 07 වනදා බදාදා |
|||||
පැරැණි විහාර ආරාමවලට ඇතුළුවන දොරටුව පාමුල ඉතා සරල වූ ආයත චතුරශ්‍රාකාර ගල් පුවරුවක් ලෙසින් මුල් කාලයේ දී මෙම නිර්මාණය දක්නට ලැබුණි. ඒ අනුව මෙය මුලින් ම අර්ධ කවාකාර ව තිබුණේ නැත. එය ආයත චතුරශ්‍රාකාර ව තිබිණි. එවැනි වූ පැරැණි ගල් පුවරුවලට ව්‍යවහාර කළේ ද ‘සඳකඩපහණ’ යන වචනය නොවේ. ‘පාටිකා’ යන නාමයයි. එවැනි වූ පාටිකාවක් අනුරාධපුරයේ අභයගිරිය දා ගැබට දකුණින් ඇති සන්නිපාත ශාලාවේ උතුරු දොරටුවේ පඩිපෙළ පාමුල ඇත. එය ඉතා කුඩා එකකි. එවැනි පාටිකාවක විශාල ප්‍රමාණයේ එකක් අනුරාධපුරයේ ජේතවන විහාරයට අයත් ජේතවන දාගැබෙහි වැලි මළුවට ඇතුළු වන පඩිපෙළ පාමුල පිහිටුවා තිබේ. අනුරාධපුරයට ගිය විට මෙම ස්ථාන දැක ගත හැකි ය. දිගින් වැඩි, පළලින් අඩු (ආයත චතුරශ්‍රාකාර) මෙම ගල් පුවරුව පසු කාලයේ දී විවිධ ආකාරයේ වෙනස්කම්වලට පත්වීමෙන් අනුරාධපුර යුගයේ අවසාන කාලය වන විට සඳකඩ පහණ ලෙසින් සකස් වී ඇත. මෙහි මුල් ස්වරූපය ආයත චතුරශ්‍රාකාර ගල් පුවරුවකි. ඒ අනුව ඒ සඳහා භාවිත කළ නාමය ‘පාටිකා’ යන්නයි. මෙම පාටිකාවේ ඉදිරි කොන් දෙක රවුම් කර ඇත. එවැනි පාටිකා මිරිසවැටියට අයත් ගොඩනැගිලිවල ද, අනුරාධපුරයේ ගෙඩිගේ අසල ද තිබේ. මෙසේ ඉදිරි නෙත්ති දෙක ද කකුල්වල හැපීම වැළැක්වීම පිණිස පසු කාලයේ දී රවුම් කරන්නට ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා සඳහන් කරයි. සඳකඩ පහණ පමණක් පඩිපෙළ පාමුල දක්නට නැත. එහි සඳකඩපහණ හා සම්බන්ධ වූ තවත් අංගයක් නම්, දෙපසින් වූ මුරගල් දෙක ය. එය පඩිපෙළ ආරක්ෂාවට නිර්මාණය කරන ලද්දකි. පඩිපෙළත්, මුරගලත් සම්බන්ධ කර ඇති තවත් නිර්මාණයක් ද එහි ඇත. එය හඳුන්වන්නේ ‘කොරවක්ගල’ යන නාමයෙනි. ඉහතින් සඳහන් කළ මෙම සියලුම ශිලා නිර්මාණ ඉතා සරල (කිසිදු කැටයමක් නැති) නිර්මාණයන් ය. ඒ අනුව පඩිපෙළ පාමුල සඳකඩපහණ ද, ඒ දෙපස මුරගල් දෙක ද, පඩිපෙළ හා දෙපස ඇති මුරගල් දෙක සම්බන්ධ කරන කොරවක්ගල් දෙක ද යන ශිලා නිර්මාණ තුනක් ම සඳකඩ පහණ හා සම්බන්ධ වී ඇත. අපි මේ අංග පිළිබඳ එකින් එක විමසා බලමු. සඳකඩපහණේ නම සැදුණේ මෙසේ ය.පැරැණි පාලි පොත් පත්වල සඳකඩපහණ යන නාමය භාවිත වී නැත. ඒ වෙනුවට පාටිකා යන නාමය භාවිත වී තිබේ. ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේ දී පමණ ලියන ලද ‘සමන්තපාසාදිකා’ නමැති පාලි ග්‍රන්ථයෙහි පාටිකා යන වචනය වෙනුවට ‘අඩ්ඪ චන්ද පාසාන’ යන වචනය සඳහන් වී ඇත. එම වචනය සිංහල භාෂා ව්‍යවහාරය අනුව ‘අඩසඳ පහණ’ යනුවෙන් කියැවේ. අනුරාධපුර රාජධානි සමයේ අවසාන කාලය වන විට මේ සඳහා භාවිත වූයේ වෙනස් නාමයකි. එනම් ‘අඩ්ඪ චන්දක පදගණ්ඨිකා’ යන්නයි. 12 වැනි සිය වස වන විට (පොළොන්නරු රාජධානි සමය වන විට) ගුරුළු ගෝමි නම් කතුවරයා ලියූ අමාවතුර පුරාණ ග්‍රන්ථයෙහි ‘අඩසඳ පහණ’ යන නාමය සඳහන් වී ඇත. ඉන්පසුව දඹදෙණි රාජධානි සමයේ දී ලියූ සද්ධර්ම රත්නාවලිය නැමැති ග්‍රන්ථයෙහි (ධර්මසේන හිමි ලියූ) ද, කුරුණෑගල රාජධානි සමයෙහි ලියන ලද සිංහල ජාතක පොතෙහි ද ‘අභිධානප්පදීපිකා’ ග්‍රන්ථයෙහි ද ‘සඳකඩපහණ’ යන වචනය භාවිත කර ඇත. ඒ අනුව සඳකඩපහණ යන නාමයෙහි පද පෙරළියක් සිදු වී ඇත්තේ එය උච්චාරණය කිරීමේ පහසුව සඳහා බව පැහැදිලි කරුණකි. මෙහි දී පළමුව අනුරාධපුර කාලයේ දී නිර්මාණය කරන ලද සඳකඩපහණ පිළිබඳ විස්තර මෙසේ ය. (පුරාණ හෙළ කලා විස්කම් සිරිසමන් විජේතුංග පි. 07 – 2017 )
අනුරාධපුර යුගයේ සඳකඩ පහණඅර්ධ වෘත්තයක් ලෙසින් පළමුව තිබූ සඳකඩපහණ (පාටිකාවලට පසුව) කිසිදු කැටයමක් නැතිව ද දක්නට ලැබේ. ඒ අනුව මුල් කාලයේ සඳකඩපහණවල කිසිදු කැටයමක් නැත. ඉන් පසු කාලයේ දී සඳකඩපහණ මැද නෙළුම් මලක් පමණක් කැටයම් කර ඇත. ඉන් පසුව දකින්නට ලැබෙන සඳකඩපහණෙහි මැද නෙළුම්මල් පෙති සහිත නෙළුම් මල ද සිව්පා සතුන් දෙදෙනා වූ සිංහයා, අශ්වයා, ගවයා සහ හස්තියාගේ රූප ද කැටයම් ලෙස සඳකඩ පහණේ නිර්මාණය කර ඇත. ආරම්භයේ ම පළාපෙති ද, ලියවැල් සහ හංසයින්ගේ රූප ද මෙම කාලයේ සඳකඩපහණෙහි දකින්නට ලැබේ. අනුරාධපුර යුගයේ සඳකඩ පහණෙහි කැටයම් නෙළා ඇති සැලැස්ම මෙසේ ය. සඳකඩපහණේ මධ්‍යයෙහි අර්ධ පද්මයකි. (අර්ධ නෙළුම් මලකි) ඊළඟ තීරුවේ හංසයින් කැටයම් කර ඇත. ඊට පිට තීරුවෙහි ලියවැලකි. එයින් පිටත තීරුවේ ඔවුනොවුන් ලුහු බැඳ ගමන් කරන ඇතා, සිංහයා, අශ්වයා සහ ගවයා යන සතුන් සතරදෙනාගේ රූප කැටයම් කර ඇත. සඳකඩපහණෙහි පිටත ම තීරුවේ කැටයම් කර ඇත්තේ ගිනිසිළුවක් වැනි අලංකාර කැටයමකි.තද කළු ගලෙහි තරමක් ගැඹුරට ඉතා සියුම් කැටයම් මෙසේ නිර්මාණය කර තිබීම ශිල්පීන්ගේ දක්ෂතාවයකි. මෙම සඳකඩ පහණෙහි සතුන් සතර දෙනා ස්වභාවික ලක්ෂණවලට අනුකූල ව නෙළා තිබේ. අනුරාධපුර යුගයේ දී ක්‍රිස්තු වර්ෂ අට සහ නවය යන සියවස්වල නිර්මාණය කරන ලද සඳකඩ පහණ ඉතා විශිෂ්ට සඳකඩපහණක් ලෙස විද්වත්හු හඳුන්වති. |
||||||
|
©
2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම |
||||||