Print this Article


බොදුදනට කරුණාවෙනි : සැබෑ බුද්ධ ගෞරවය හඳුනා ගන්න

සැබෑ බුද්ධ ගෞරවය හඳුනා ගන්න

මෙම ලිපියෙහි සඳහන් කරන සියලු දේ සටහන් කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත්තා වූ බලවත් වූ ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ධර්මය දැකීමේ අදහසින් හා ශාසනික සේවාවක් ලෙසිනි. ඒ නිසා සියලු දෙනා ම උපේක්ෂාවෙන්, පූර්ව නිගමනයන්ට නො පැමිණ, මේ ලිපිය කියවිය යුතු ය. අනතුරු ව මෙය කියන්නේ කවුද කියන අදහසට වඩා ධර්මයට ගළපා බලා, ධර්මය දැකීමේ අදහසක් ඇති කරගන්නා හැටියට ඉතාමත් කරුණාවෙන් ආරාධනා කරමි.

මෙහි දක්වන නිදසුන් කිසිදු පුද්ගලයෙක් අරමුණු කරගෙන නැත. ඉලක්ක කරගෙන නැත. ඒවා මනසින් හිතට නගාගෙන ධර්මය පැහැදිලි කර ගැනීමට පෙන්වාදෙන නිදසුන් පමණක් ම ය.

අද ඔබට පෙන්වා දෙන්නේ බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව සහ බුද්ධානුස්සතිය පිළිබඳවයි. බුද්ධ පූජාව යැයි සඳහන් කරන විට අප හැම කෙනෙකුගේ ම සිතට නැඟෙන්නේ මල්පහන්, සුවඳ දුම්, ගිලන්පස ආහාර ආදී සුදුසු වේලාවෙහි කළ හැකි, කළ යුතු යම් යම් වූ ද පූජාවන් පිළිබඳව යි. මෙසේ බුද්ධ පූජාවක් පැවැත්වීමේ දී අප විසින් සජ්ඣායනා කරනු ලබන ප්‍රධාන ගාථා රත්නය වන්නේ භාග්‍යවතුන් වහන්සේ ම දේශනා කොට ඇති ධජග්ග ආදී සූත්‍ර දේශනාවන් හි අඩංගු ‘ඉතිපි සෝ භගවා අරහං’ ආදී ගාථා රත්නයයි.

සූත්‍ර පිටකයේ සූත්‍ර විශාල සංඛ්‍යාවක මේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ගාථා රත්නය දකින්නට තිබේ. අනේපිඬු සිටාණන් ගිලන් වූ අවස්ථාවේ දී ත්, නකුලපිතු ගිලන් වූ අවස්ථාවේ දී ත්, තව බොහෝ පිරිසකට තමාගේ සිත් ධර්මයෙන් පුබුදුකරගත යුතු අවස්ථාවන්හි දී ත් මෙනෙහි කළ යුතු, සිහිපත් කළ යුතු, ගාථාරත්න තුන අතර ‘ඉතිපිසෝභගවා අරහං’ ආදී ගාථාව පළමුකොට දක්වා තිබේ. අනෙකුත් ගාථා රත්න දෙක නම්, ධර්ම රත්නයේ ගුණ මෙනෙහි කරන ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො’ නම් වූ ගාථා රත්නය හා, ආර්ය මහ සඟ රුවන වන්දනා කරන, එම ගුණ මෙනෙහි කරන ‘සුපටිපන්නො භගවතො සාවක සංඝො’ ආදී ගාථා රත්නයත් පෙන්වා දිය හැකියි.

ඔබට සිතන්නට යම් කරුණක් මතක් කර දෙමි. අවුරුදු හය, හතක් හෝ වන, ඊට වඩා වැඩි වයසේ පසුවන ඕනෑම කෙනෙක් දවසට එක් වතාවක් හෝ ‘ඉතිපි සෝ භගවා අරහං’ ආදී මෙම නව අරහාදී බුදුගුණ මතුකරන, මෙනෙහි කළ යුතු, සමාධියක් සේ වැඩිය යුතු, ගාථා රත්නය අවුරුදු විසි පහක්වත් සජ්ඣායනය කොට ඇත්තේ නම්, එහි එකතුව ඔබ දන්නවා ද? දින තුන්සිය හැට පහෙන් වැඩි කළ විට පිළිතුර වන්නේ දසදහසකට ආසන්න ප්‍රමාණයකි. සෑම වැඩිහිටියෙක් ම මෙවැනි වාර ගණනාවක් මේ උතුම් ගාථා රත්නය සජ්ඣායනා කොට ඇත්තේ නොවේ දැයි ඔබ ම සිහිපත් කොට බලන්න. එ පමණ වාර ගණනාවක් මේ ගාථා රත්නය සජ්ඣායනා කොට ඇතත්, ඒ පිළිබඳව ඇති යම් වූ ද අවබෝධය කෙසේ දැයි අප සිතා බැලිය යුත්තේ කෙසේ ද? යම් කෙනෙක් මෙම ගාථා රත්නය දවසකට එකවතාවක් නොව අඩුම තරමේ දෙතුන් වතාවක් හෝ සජ්ඣායනා කරන බව පැහැදිලියි. විශේෂයෙන් වැඩිහිටි වයසේ පසුවන, විශ්‍රාම සුවයෙන් කාලය ගතකරන බෞද්ධ උපාසක උපාසිකාවෝ නිතර මේ උතුම් ගාථා රත්නය සජ්ඣායනා කරන බව පැහැදිලියි. එනමුත් අපේ රටේ පමණක් නොව ලෝකයේ බෞද්ධ රටවල්වලත් වැඩිපිරිසකට මේ ගාථාරත්නයේ තේරුම පිළිබඳ ව නිසි අවබෝධයක් නැතැයි සඳහන් කළොත් එය අසත්‍යයක් වන්නේ නැත.

බොහෝ දෙනෙක් සිතේ සකස් වුණා වූ ශ්‍රද්ධා ගුණය නිසා තථාගත බුදුරජාණන් වහන්සේට ඔබට කළ හැකි ඉහළම ගෞරවය දක්වන්නට කැමැත්තක් තිබෙන බව පැහැදිලි යි. උදේ සවස සිදුකරන බුද්ධ පූජා පින්කම්වලට අමතර ව විශේෂ වශයෙන් වර්තමානයේ සිදු කරන විවිධ මල් පූජාවන්, පහන් පූජාවන්, කංචුක (කප්රුක්) පූජාවන්, ආදී වශයෙන් විවිධ ආකාරයේ පූජාවන් පවත්වන බව පැහැදිලියි. ඒවා සිදු නොකළ යුතු යැයි කිසිවිටකවත් පවසන්නේ නැත. එයට හේතුව යම් වූ ද, පිනක් සිදුකරගැනීමට අවස්ථාවක් එයින් සැලසෙන බැවිනි.

එහෙත් මෙහි සඳහන් කරන්නේ හැබෑ බුද්ධ පූජාවක්වීමට නම්, අප විසින් කුමක් නියම ආකාරයෙන් සිදුකළ යුතු වන්නේ ද? කියන අදහසයි. භාග්‍යවතුන් වහන්සේගේ ම දේශනාව අනුව ‘නහි මය්හං මාලා ගන්ධාදීහි

පූජං කරොන්තා මම පූජං
කරොන්තී නාම ධම්මානුධම්මං
පටිපජ්ජන්තා එව පන මං පූජෙන්තී නාම”

මලින් සුවඳින් ආදියෙන් පූජා කිරීම යහපත් ය. එ නමුත් නියම ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරන්නෝ නම්, ධම්මානු ධම්ම ප්‍රතිපත්තියෙන් ම පූජා කරන්නෝ ම ය. මෙම අදහස, වඩාත් තහවුරු කර ගැනීමට අපි ශාසන ඉතිහාසයේ ඇතුළත් දහම් කොටසක් උපුටා ගනිමු. ධර්මාරාම කතාවස්තුවට අනුව, ඒ දහම් කොටස මෙසේයි. තථාගත බුදුරජාණන් වහන්සේ බේළුව නම් ගමේ චාපාල නම් චේතිය ස්ථානයේ දී ආයුසංස්කරණය අත්හළ සේක. එනම්, මරුගේ ආරාධනාවට අනුව තව තුන්මාසයකින් පිරිනිවන් පාන්නෙමියි උන්වහන්සේ ප්‍රකාශ කළ සේක.

මේ පුවත ඇසූ රහතුන් වහන්සේලා ධර්ම සංවේගය පහළ කළ සේක. එනමුත් පෘතග්ජන භික්ෂූන් වහන්සේලා හඬා වැළපෙන්නටත්, භාග්‍යවතුන් වහන්සේ වටා රැඳී සිටින්නටත් යොමු වී සිටියහ. මෙම අවස්ථාවේ දී එක් භික්ෂූන් වහන්සේ නමක් එසේ නොකොට පැත්තකට වී භාවනාවේ යෙදී සිටියේ ය. අන් පෘතග්ජන භික්ෂූන් වහන්සේලාට මෙය පෙනුණේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ලෙන්ගතුකමක්, නැති දයාවක් නැති, හුදකලාව, තමන්ගේ පාඩුවේ සිටින, ගුරුවරයා කෙරෙහි හැඟීමක් නැති, කිසියම් වූ කෘතඥතාවක් නැති පුද්ගලයෙක් ලෙසයි.

පෘතග්ජන භික්ෂූන් වහන්සේලා මේ පිළිබඳ ව බුදුරජාණන් වහන්සේටත් පැමිණිලි කළහ. ඔබ වහන්සේගේ පිරිනිවන් පෑම ගැන ඇසීමෙන් අපි බලවත් ලෙස කම්පාවට පත්විණි. ඔබ වහන්සේ සමීපයේ සිට අපගේ ශෝකය දරාගෙන සිටිමු. එනමුත් අර භික්ෂුවට එවැනි හැඟීමක් ඔබ වහන්සේ කෙරෙහි නැහැ. අපට තරම් ශෝකයක්, වේදනාවක් ඒ භික්ෂුවට නැහැ. පැත්තකට වී හුදකලාව ම වාඩි වී සිටින බව පෙනෙනවා. ලෝකවිදූ ගුණයෙන් යුතු, තුන්ලොවක් පිළිබඳ ව සියලු ආකාරයෙන් අවබෝධ කරගත් සර්වඥ වූ තථාගත බුදුරජාණන් වහන්සේ මේ සියල්ල නුවණින් දැන, එහෙත් පෘතග්ජන භික්ෂූන් වහන්සේලාට දහම් අවවාදයක් ලබාදීම පිණිස එම භික්ෂූන් වහන්සේ කැඳවනු ලැබූහ. ඒ කරුණ පිළිබඳ ව විමසනු ලැබූහ.

ධර්මාරාම නමින් පසු කලෙක හඳුන්වනු ලැබූ ඒ භික්ෂුවගේ පිළිතුර වූයේ මෙවැනි අදහසකුයි. භාග්‍යවතුන් වහන්සේගේ දහම් අනුශාසනාවට අනුව භාග්‍යවතුන් වහන්සේට කරන ඉහළම ගෞරවය, පූජාව නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළ අනුගමනය කරමින් පිළිවෙත් සම්පූර්ණ කරමින් ‘අනුපුබ්බ සික්ඛා’ ‘අනුපුබ්බ කිරියා’, අනුපුබ්බ පටිපදා’ මාර්ගය ඔස්සේ සියලු දුකින් නිදහස් ව චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අරහත් බෝධියට පත්වීමයි. එනම් සියලු කෙලෙසුන් නැසීමයි. එනමුත් තවමත් මට ඒ ස්වභාවයට පත්වෙන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මේ නිසා මා අවබෝධ කරගත් පරිදි භාග්‍යවතුන් වහන්සේට කරන ඉහළම හා උතුම් ම ගෞරවය ලෙස භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට මත්තෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ඒ සියලු කෙලෙසුන් නැසීමයි. ඒ සඳහා මම සම්මා වායාමයෙන්, සම්මා සතියෙන් හා සම්‍යක් ප්‍රඥාවෙන් යුතු ව කටයුතු කරමි. පිළිවෙත් මාර්ගයෙහි යෙදී සිටිමි. මෙය වැරැද්දක් දැයි, මෙය නොකළ යුතු දෙයක් දැයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනු ලබන සේක්වා. ඒ ධර්මාරාම භික්ෂූන් වහන්සේගේ වචන, මේ වචන පෙළම නොවුණත් ඒ භික්ෂූන් වහන්සේගේ අදහස් පෙළ නම් මේ හා සමානව ම බව අපට තේරුම්ගත හැකියි.

බුදුරජාණන් වහන්සේගේ පිළිතුර කුමක් වී ද? භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වූයේ සාධු..... සාධු..... යන්නයි. එනම් යහපත් ය. යහපත් ය යන අදහසයි.