Print this Article


අත්තූපනායික ධර්මය හඳුනා ගනිමු

අත්තූපනායික ධර්මය හඳුනා ගනිමු

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේලා පිරිසක් ද සමග කොසොල් ජනපදයේ චාරිකා කරන අතර, එහි වේළුද්වාර නම් බමුණුගමට ද වැඩම කළහ.

වේළුද්වාර ග්‍රාමවාසී බ්‍රාහ්මණ ගෘහපතිවරු “ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා අපේ ගමට වැඩම කර ඇතැ’යි, යන පුවත ඇසූ හ. එසේම ඒ බුදුරජාණන් වහන්සේ අරහත්, සම්මා සම්බුද්ධ යනාදී ගුණ නවයකින් සමන්විතය හ, යන කීර්තිරාවය ද ප්‍රදේශය පුරා ක්‍රමයෙන් පැතිර ගියේ ය. තව ද උන්වහන්සේ මේ ලෝකයෙහි දතයුතු සියල්ල දැන සිටින බවත්, ඒ සියල්ල මුල, මැද, අග මනාකොට දේශනා කරන බවත්, එබඳු ආර්ය උතුමන් වහන්සේලා දැකීමෙන් යහපතක් වන බවත්, වටහාගත් ඔවුහු බුදුරජාණන් වහන්සේ කරා පැමිණ එකත්පස්ව සිටිය හ. පසුව උන්වහන්සේට මෙසේ සැළ කළහ.

“ස්වාමීනි, අපි අඹු දරුවන් පෝෂණය කරමින් විවිධ බැඳීම් සහිත ව වාසය කරමු. සිනිඳු සඳුන් ගල්වාගෙන සිටිමු. මල් ගඳ විලවුන් දරමු. රන් රිදී පැළඳගෙන වාසය කරමු. මෙසේ කාමභෝගී ජීවිත ගත කරන අපි මරණින් පසු සුගතියට පැමිණීමේ ප්‍රාර්ථනා ඇත්තෝ වෙමු. එබඳු අපට ඔබ වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා.”

මෙයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ ‘ගෘහපතියනි, තමා කෙරෙහි විමසා බලා වටහාගත යුතු අත්තූපනායික ධර්මය මම නුඹලාට දේශනා කරමි. එය මනා ලෙස අසා මෙනෙහි කරන්නැ’යි, වදාළහ. මෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රය හැඳින්වෙන්නේ ‘වේළුද්වාර සූත්‍රය’ නමිනි.

තමාගේ සදාචාරය අන්‍යයා වෙත ප්‍රදානය කිරීම අරමුණුකරගෙන මෙම වේළුද්වාර සූත්‍රයෙහි ත්‍රිකෝටික පාරිශුද්ධ කාය වාග් සමාචාරයක් උගන්වා තිබේ. එනම්, පළමුකොට තමන් ගැන සිතා, නොහොත් තමා උපමාවට ගෙන ඒ අනුව ම අනුන් ගැන සිතා අනුගමනය කළ යුතු ධර්ම ක්‍රමයකි. මෙය අත්තූපනායික ධර්මය ලෙස හැඳින්වේ. උදාහරණ ලෙස ප්‍රාණඝාතය පිළිබඳ ත්‍රිකෝටික පාරිශුද්ධිය ඇති කර ගත යුතු අයුරු විමසා බලමු. ප්‍රාණඝාතය තමාට අපි‍්‍රය නිසා ද, ඒ අයුරින් එය අන්‍යයන්ට ද අපි‍්‍රය නිසා එයින් වැළකීම, අන්‍යයන් ද එයින් වැළැක්වීම සහ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ගුණ වර්ණනා කිරීම තුළින් එය සම්පූර්ණ කරගත හැකි ය. මෙම අංශ තුනෙන් පිරිසුදු වීම ප්‍රාණඝාතයෙන් වැළකීම අර්ථවත්වීම සඳහා අවශ්‍ය ය. වරදින් මිදීම සඳහා මෙම ක්‍රමය ඉතා වැදගත් බව වටහා ගැන්ම අපහසු නොවෙයි.

ප්‍රාණඝාතයෙන් වැළකීම සම්බන්ධයෙන් වූ මෙම අත්තූපනායික ධර්මය බුදුරදුන් වෙනත් අවස්ථාවල ද දේශනා කර ඇත. ධම්මපදයේ එය සඳහන් වනුයේ මෙසේ ය.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයෙ

සියල්ලෝ දඬුවමට බිය වෙති. සියල්ලන්ට ම ජීවිතය පි‍්‍රය ය. මෙසේ අනුන් තමා මෙන් සලකා අනුන්ට හිංසා පීඩා නො කළ යුතු ය. අනුන් ඝාතනය නො කළ යුතු ය. මෙම ධර්ම කරුණු වඩාත් විග්‍රහයට ලක්කොට ප්‍රාණඝාත, අදත්තාදාන යනාදී අනෙක් කරුණුවලට ද එය සම්බන්ධ කර ඉදිරිපත් කිරීමක් මෙම වේළුද්වාර සූත්‍රයෙහි දැකිය හැකි ය.

දෙවැනි කරුණ අදත්තාදානයයි. එනම් නුදුන් දේ ගැනීම යි. තමාට අයත් සුළු දෙයක් හෝ අන්‍යයෙකු සොරකම් කරනවාට හෝ බලෙන් ගන්නවාට තමා කැමැති නැත. යමෙක් එසේ කළහොත් තමාට දුකක් වේදනාවක් ඇති වෙයි. එසේ ම සෙසු අයත් එසේ තම තමන් සතු දෑ පැහැර ගන්නවාට කැමැති නැත. තමා අපි‍්‍රය අමනාප දෙය අනුන්ටත් අපි‍්‍රය අමනාප වේ. එබැවින් අප සොරකම තමාට අපි‍්‍රය නිසා ද, ඒ අයුරින් ම එය අන්‍යන්ට ද අපි‍්‍රය නිසා එයින් වැළකිය යුතු ය. අන්‍යයන් ද එයින් වැළැක්විය යුතු ය. සොරකමෙන් වැළකීමේ ගුණ වර්ණනා කළ යුතු ය. ස්වකීය ස්වාමියා, බිරිඳ පරපුරුෂයන්, පර ස්ත්‍රීන් ඇසුරු කිරීම කෙරෙහි කිසිවෙකු කැමැති නො වේ. සෙස්සන් ද එසේම ය. එසේ කිරීම ලෝක සභ්‍යත්වයට හා බෞද්ධ ඉගැන්වීම්වලට සපුරා ම පටහැනි ය. එලෙස කල්පනා කොට වැරැදි කාම සේවනයෙන් වැළකීම, අන්‍යයන් ද එයින් වළකාලීම, එමගින් සිදුවන භයානක ප්‍රතිඵල අන්‍යයන්ට වටහාදීම අත්තූපනායික ධර්මයට අයත් ය. බොරුවෙන් තමන් රැවටීමට, තමන් මෙන් ම අන්‍යයෝ ද කිසිසේත් රුචි නො කරති. එබැවින් අප බොරු කීමෙන් වැළකීම, අන්‍යයන් ද එයින් වළක්වාලීම, එහි අනුසස් පැවසීම තුළින් වාග් සංවරය පිරිසුදු කරගත යුතු ය. එසේම කේළාම් කීම, නපුරු වචන කතා කිරීම, නිශ්ඵල වචන (ඕපාදූප) කතා කිරීම යන තුන් ආකාර වූ වාග් සමාචාරය ගැන ද පෙර සේ ම ත්‍රිකෝටික පාරිශුද්ධිය ඇති කරගත යුතු ය.

කවුරුන් හෝ කේළාම් කියා හිතවතුන් ගුරුවරුන් හෝ වැඩිහිටියන් අප කෙරෙහි බිඳවීමට අපි කිසිසේත් ම රුචි නො කරමු. අප හදවත් රිදවන රළු පරුෂ වචන කවුරු කීවත් අපි ඒවා ඇසීමට අපි‍්‍රය කරමු. මව්පිය සහෝදර සහෝදරියන් සමග නිවසේ සතුටින් කල් ගෙවන අවස්ථාවක අසල්වැසියෙක් රළු පරුෂ වචන කතා කළහොත් එම ශබ්දය අපට කෙතරම් අමිහිරි ද? අප ද එලෙස ක්‍රියා කළහොත් අන් අය ද අප සේ ම, කෙතරම් අපහසුතාවට පත් වෙත් ද? එබැවින් අප කිසිදාක එසේ හැසිරීම නුසුදුසු බව අමුතුවෙන් කිවයුතු නොවේ. මනා හැදියාවෙන් යුත් අය කිසි දිනෙක නපුරු රළු පරුෂ වචන කතා නොකරති. එසේ කතා කරන අය ද එයින් වළක්වා ගැනීමට උත්සාහ දරති. සුභාෂිත වචන භාවිත කිරීමේ අනුසස් පවසති. ඇතැම්හු කෙළවරක් නැති ව මෙලොවටත්, පරලොවටත්, තමාටත්, අනුන්ටත් ඵලක් නොමැති නිශ්ඵල වචන (ඕපාදූප) කතා කරති. එහෙත් ශිෂ්ට සම්පන්න වූවෝ කිසිදාක එසේ නො කරති. එලෙස ක්‍රියා කරන්නන් එයින් වළක්වාලීමට උත්සාහ දරති. එහි ආදීනව වටහා දීමට තරම් කාරුණික වෙති.

මෙම අත්තූපනායික ධර්ම පර්යාය අත්තාධිපති, ලෝකාධිපති හා ධම්මාධිපති යන අධිපති ධර්ම අනුව ද මැනවින් උගන්වා තිබේ. මෙහි අධිපති යන්නෙන් දක්වනුයේ පාපයෙන්, පහත් ක්‍රියාවලින් වැළකීම සඳහා උපකාරී කරගන්නා කල්පනා ක්‍රම තුනකි. අත්තාධිපති ක්‍රමයේ දී තමා මුල්කරගෙන සිත සදාචාරයෙහි පිහිටුවීම සිදුවෙයි. භික්ෂූන් වහන්සේ නමක් නම් ‘මා පැවිදි වූයේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය ආදිය නිසා හෝ, මතු භවයක සැප පතා හෝ නොව ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව ආදියෙන් මිදීම පතාම යැයි’ සිත පාපයෙන් වැළකී කුසල් දහම් හි එකඟ කරගෙන බ්‍රහ්ම චරියාවෙහි නිරතවීම සිදුකළ යුතු ය. එය අත්තාධිපති නම් වෙයි.

භික්ෂූන් වහන්සේ නමක් චීවර, පිණ්ඩපාත යනාදී ප්‍රත්‍යයන් හෝ වෙනත් සැපතක් නොපතා විමුක්තිය ම අරමුණු කරගෙන පැවිදි ව, වනගත ව බඹසර පුරන අතර ‘මා කාම සිතිවිලි, ද්වේෂ සිතිවිලි හෝ හිංසාකාරී සිතිවිලිවලින් යුක්ත වුවහොත් දිවැස්, දිවකන් ආදිය ඇති ශ්‍රමණ, බ්‍රාහ්මණ උතුමන්ට එය දැනෙන්නට ඉඩ ඇත. එසේ ම, දෙවිදේවතාවන්ට වුව ද මාගේ සිතිවිලි දැනගත හැකි ය. එසේ වුවහොත් ඔවුන් මා හෙළා දකිනු ඇතැ’ යි, යනුවෙන් සිතා ආත්ම දමනය ඇති කරගෙන ක්‍රියා කරත් නම්, එය ‘ලෝකාධිපති’ නම් වෙයි.

තව ද භික්ෂූන් වහන්සේ නමකට මෙසේ සිතීමට ඉඩ ඇත. ‘බුදුරදුන් වදාළ ධර්මය ස්වාක්ඛාත ගුණයෙන් යුත් ඉගැන්වීමකි. මා හා සමාන ව සිල් රකින සබ්‍රහ්මචාරීහු බොහෝ දෙනෙක් එහි හැසිරෙති. එබැවින් මා ද වීර්යය වඩා ගත සිත හික්මවා ගෙන අකුසලින් දුරු ව කුසලයෙහි යෙදී විමුක්තිය ලද යුතු යැ’ යි, සිතා ශාසනික බ්‍රහ්ම චරියාවෙහි තරව හැසිරෙන්නේ නම්, එය ‘ධම්මාධිපති’ නම් වෙයි.

මෙම අත්තූපනායික ධර්ම පර්යාය ඉතා කුඩා ළමයෙකුට වුව ද යම්කිසි වැරැදි ක්‍රියාවක බැරෑරුම්කම අවබෝධ කරදීමට ඉතා පහසු ධර්ම මාර්ගයකි. සමාජයේ ජීවත්වන ඕනෑම පුද්ගලයෙකුට තර්ක බුද්ධියෙන් තොරව මනසට වැඩි වෙහෙසක් නොදී ඕනෑම ක්‍රියාවක හොඳ නරක තෝරා බේරා ගැනීමට මෙම අත්තූපනායික ධර්ම පර්යාය මහෝපකාරී වෙයි. මෙම ධර්ම කරුණු මනාව වටහාගෙන ආත්මාර්ථ පරාර්ථ සාධනයත්, දෙලොව දියුණුවත් සලසා ගැනීමට සිතට ගත යුතු ය.