Print this Article


25 වන සාංවත්සරික අගොන්ශු ශිෂ්‍යත්ව ප්‍රදානය

25 වන සාංවත්සරික අගොන්ශු ශිෂ්‍යත්ව ප්‍රදානය

නොවැම්බර් 04 ප .ව. 2.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී

අනාගතය සඵල වේවා

“දරිද්‍රතාව නිසා කිසියම් දරුවෙකුට ස්වකීය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි වෙතොත් එය දරුණු ඛේදවාචකයක් ය”. යනු අතිගරු සෙයියු කිරියමා මහානාහිමිගේ ශ්‍රේෂ්ඨ අදහසකි. එම අදහසට අනුව යමින් 1993 දෙසැම්බර් මාසයේ දී ආරම්භ කළ ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ මෙම 25 වන සාංවත්සරික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය වෙනුවෙන් මෙම සුභ පැතුම් පණිවුඩය නිකුත් කරනුයේ හදපිරි සොම්නසිනි. ප්‍රථම වතාවට 1986 අප්‍රේල් මාසයේ දී මට හමු වූ අතිගරු සෙයියු කිරියමා මහනාහිමියන් සමඟ ඇති කරගත් සැබැඳීයාව මෙතරම් පුළුල්ව ව්‍යාප්ත ව ගොස් රටට වැඩදායක ව්‍යාපෘතියක් බවට පත් වෙතැයි මම කිසිදාක නොසිතුවෙමි. මෙකී සබැඳියාව මාගේ පෞද්ගලික ආර්ථික දියුණුව වෙනුවෙන් යොදා ගැනීමේ අවකාශය හොඳීන් ම පැවතිණි. එහෙත් බෞද්ධ සමාජ පරිසරයක ඉපදී, එහි ම හැදී වැඩුණු මම අදහස් කළේ මෙම සැබැඳීයාව තුළින් ලංකාවේ ආර්ථික ප්‍රශ්න මගින් පීඩිතව දිවි ගෙවන දූ දරුවන් හා ජනතාව වෙනුවෙන් යම් සුභසාධන සේවාවක් පවත්වාගෙන යාම බෙහෙවින් ම යෝග්‍ය වන බවයි. ඊට අතිගරු සෙයියු කිරියමා මහ නා හිමියන්ගෙන් පළ වූයේ පූර්ණ එකඟතාවයකි. 25 වසරක් ගෙවී යන මෙම මොහොතේ මා මේ තුළින් ලබන මානසික තෘප්තිය මේ යැයි ප්‍රමාණ කොට දැක්විය නො හැකි ය. අද වන විට අප පදනම මගින් ප්‍රදානය කළ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රමාණය 15,000කට ආසන්න ය. මේ තුළින් රටට වැඩදායී වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් සමාජයට දායාද කිරීමට අපට හැකි වූ බව අභිමානයෙන් සඳහන් කරමි. මෙම සෑම දෙනෙකුම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වූ දරු දැරියන් අතරින් තෝරාගත් පිරිසක් වීම විශේෂත්වයකි. අධ්‍යාපනය අතින් අපේ ශිෂ්‍යත්වලාභී දරු දැරියන් ගේ සාධන මට්ටම ඉතා ඉහළ තලයක පවතියි. 2017 දී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අපේ දරුවන් 88 දෙනාගෙන් 86 දෙනෙක් ම ඉන් සමත්ව ඇති අතර එහි සාමාන්‍ය අගය 97% කි. ඒ සාමාර්ථ 6 කට වඩා ලබාගත් දරුවන් 29 දෙනෙකි. එම දරුවන්ට සුභ පැතීමට ද මම මෙම අවස්ථාව යොදා ගනිමි. එසේ ම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ අධ්‍යාපනය නිමවා යළි උපන් ගම් ප්‍රදේශයට යාමට සූදානම් වූ මට ඊට ඉඩ නොදී අගනුවරම රඳවා ගනිමින් මාගේ ජීවන ගමන් මඟ වෙනතකට යොමුකළ මට මාගේ මෑණියන් හා සමාන කාරුණිකභාවයක් දැක් වූ ජීටා ආරියසිංහ මහත්මිය මම සිහිපත් කරමි. එතුමිය එවන් පියවරක් නොගන්නට මට මෙතරම් කාර්යභාරයකට මූලිකත්වය ගැනීමට අවස්ථාවක් නොලැබීමට ඉඩ තිබුණි. අද දින ශිෂ්‍යත්වලාභී දූ දරුවන්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන් ම සඵල වේවා.

****

වැදගත් සන්ධිස්ථානයක අග්‍රඵලයක්

ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ නිර්මාතෘ අපගේ ආචාර්යවරයා වන අතිගරු සෙයියු කිරියමා මහනාහිමි පළමුව ගෞරවයෙන් සිහිපත් කරමි. උන් වහන්සේ මුල් ම වරට ශ්‍රී ලංකාවට සැපත් වූයේ මීට වසර 32 කට පෙර ය. ශ්‍රී ලංකාව සමඟ ඉතා මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට එම පළමු දූත චාරිකාව බෙහෙවින් ම ඉවහල් විය. ඒ පෙර සසර සබඳතාවයක් නිසා යැයි අපි විශ්වාස කරමු. ප්‍රථම ශ්‍රී ලංකා දූත චාරිකාවේ දී ශ්‍රී ලංකාවෙන් ඉතාම අගනා පරිත්‍යාගයක් මහානාහිමියන්ට පුද කෙරිණි. උතුම් ම පූජනීය වස්තුවක් වූ සර්වඥ ධාතූන් වහන්සේලා කිහිප නමක් එම පරිත්‍යාගයට ඇතුළත් විය. එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ව සිටි ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් එම පරිත්‍යාගය සිදු කරන ලදී. තව ද, වර්ෂ 1991 දී ශ්‍රී ලංකාවේ ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයෙන් උතුම් වූ බෝධි ශාඛාවක් අප වෙත පරිත්‍යාග කෙරිණි. එම බෝධීන් වහන්සේ අදටත් නව අතු රිකිලි දමමින් අගොන්ශු විහාරස්ථානයේ විරාජමාන ව වැඩ සිටිති. එසේ ම වර්ෂ 1992 දී අප ආචාර්යවරයාට කීර්ති ශ්‍රී සාමදූත යන උතුම් ගෞරවනාම සම්මුතිය ශ්‍රී ලංකාවේ මහනුවර මල්වතු මහා විහාරය මඟින් පිරිනැමුණි. මෙම ඓතිහාසික සිදුවීම් කිසිදාක අප මතකයෙන් ගිලිහී නොයයි. මෙසේ ඉතා ගෞරවාන්විත සේ ම පූජනීය තත්ත්වයකින් ඇරඹි අපගේ ශ්‍රී ලංකා සබඳතාවයෙහි ඉතාම වැදගත් වූ සන්ධිස්ථානය වර්ෂ 1994 ජනවාරි 12 වැනි දා ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම පිහිටුවීම යි. ඒ තුළින් මේ දක්වා ශ්‍රී ලංකාව කෙරෙහි විවිධාකාරයෙන් අනුග්‍රාහකත්වයන් දැක්වීමට අපට හැකියාව ලැබුණි. මෙවර අප අනුග්‍රාහකත්වයෙන් පවත්වන මෙම රජත ජයන්ති සැමරුම් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය එහි සාර්ථක සන්ධිස්ථානයකි. අගොන්ශු විහාරස්ථානයේ මෙම ව්‍යාපෘතීන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන කල්‍යාණ මිත්‍ර සෝමසිරි අද්දර පතිරණගේ මහතාටත්, ඔහු ගේ කාර්ය මණ්ඩලයටත්, ශිෂ්‍යත්වලාභී දැරුදැරියන්ටත්, ශ්‍රී ලංකාවාසී ඔබ සැමටත් යහපත් වූ අනාගතයක් උදා වේවා!

****

හොඳීන් ඉගෙනුම ලබන්න

ශ්‍රී ලංකාවාසී ඔබ සැම කෙරෙහි අපමණ ලෙන්ගතු භාවයකින් යුක්තව මෙම සුභපැතුම් පණිවුඩය නිකුත්

කරමි. අතිගරු සෙයියු කිරියමා මහ නා හිමියන්ගේ නිසි මාර්ගෝපදේශකත්වයක් නොවන්නට ලංකාව හා සමඟ මෙතරම් සබැඳීයාවක් ඇති නොවන්නට ඉඩ තිබුණි. මෙම ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම පිහිටුවීමේ ක්‍රියාවට මූලික හේතුව වූයේ කිරියමා මහ නා හිමියන්ගේ අනාගතය දක්නා දූරදර්ශී නුවණ යි. වසර ගණනාවක් තුළ ශ්‍රී ලංකාවට ප්‍රතිපාදන රැසක් ලබාදීමට අපට මෙමගින් හැකියාව ලැබුණි. ඒ වෙනුවෙන් කෘතගුණ සැලකීම සඳහා ශ්‍රී ලංකාවාසීන් වන ඔබ අප කෙරෙහි සිදු කළ පූජනීය පරිත්‍යාගයන් හා ආගමික සංස්කෘතික ක්‍රියාකාරකම් මම බෙහෙවින් ම අගය කරමි. ඊට ප්‍රශංසා කරමි.

අගොන්ශු විහාරස්ථානයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට සිදු කළ සේවාවන් එකින් එක විස්තර කිරීම වෙනුවෙන් මම කාලය ගත නොකරමි. ඒ සියල්ල කළගුණ දන්නා ඔබ සැම ගේ සිත් තුළ නොමැකෙන මතකයක් සේ පවත්නා බව මම හොඳීන් ම දනිමි. අප වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන හිතමිත්‍ර සෝමසිරි අද්දර පතිරණගේ මහතා සේ ම, ඔහු ගේ කාර්යක්ෂම කාර්ය මණ්ඩලය වෙත ස්තූති කිරීමට මෙම අවස්ථාව යොදා ගනිමි.

ශිෂ්‍යත්වලාභී දරුදැරියන් ගෙන් කිරියමා මහ නා හිමි බලාපොරොත්තු වූයේ එක් දෙයක් පමණි. එනම් ඔබ හොඳීන් ඉගෙනගනු දැකීමයි. හොඳ පුද්ගලයෙකු ලෙස අනාගතය ගොඩනගා ගනු දැකීමයි. ඔබ සැමගෙන් මා අපේක්ෂා කරනුයේ ද එ පමණක් ම ය. එය ඔබ හොඳීන් ඉටු කරන බව මම දනිමි. සෝමසිරි මහතා ඔහු ගේ කාර්ය මණ්ඩල සහායකයින් සමඟ පෞද්ගලිකව ම ගොස් ඔබ ගේ ඉගෙනුම් කටයුතු සොයා බැලීම මට ද විශාල අස්වැසිල්ලකි.

මෙම 25 වැනි සංවත්සරික ශිෂ්‍යත්ව උළෙල සාර්ථක වේවා! ශ්‍රී ලංකාවාසී ඔබ සැමගේ හදවත් බුදු බැතියෙන් බැබළේවා.