Print this Article


පූජාච පූජනියනං

අමුගොඩ සෝමානන්ද නා හිමි

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අමුගොඩ සෝමානන්ද නා හිමිපාණන් වහන්සේගේ පැවිදි දිවියේ 55 වැනි විය සපිරීම මේ මස 27 වැනි දිනට යෙදී තිබිණි.

1954 පෙබරවාරි 08 වැනි දින ඇල්පිටිය – අමුගොඩ දී ජන්ම ලාභය ලැබූ උන්වහන්සේගේ මව්පියන් වූයේ කේ.පී. පේ‍්‍රමදාස මහතා හා අලුත්ගම ගුරුගේ පියසීලි මාතාව යන දම්පතීන්ය.ජයතිලක නම් වූ එම දරුවා මූලික අධ්‍යාපනය සඳහා අමුගොඩ රජයේ විද්‍යාලයට ඇතුළත් කරනු ලැබීය.

1963 ඔක්තෝබර් 27 වැනි දා, අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරයේදී ප්‍රව්‍රජ්‍යා භූමියට පත් වූයේ, අමුගොඩ සෝමරතන අනු නා හිමියන්ගේ ආචාර්යත්වයෙනි. එතැන් සිට අමුගොඩ සෝමානන්ද යන නාමයෙන් හැඳින්විණි. අමුගොඩ ජයසුමනාරාම මහා විහාරයේ දී ම මූලික අධ්‍යාපනය ලැබූ සෝමානන්ද හිමියෝ 1965 දී බලපිටියේ වැලිතර වඳදුවේ සිරිපවරින්දාරාමයට වැඩම කළහ. විහාරාධිපති වැලිතර සුධම්ම නාහිමියන්ගේ අන්තේවාසික ශිෂ්‍යයෙක් ලෙස මඳ කලක් නාහිමියන් වෙත බාර දෙනු ලැබිණි. සෝමානන්ද හිමියෝ 1967 දී කොළඹ,කුප්පියාවත්ත ජයශේඛරාරාම මහා විහාරය වෙත වැඩම කළ අතර, තලල්ලේ ධම්මානන්ද මහා නා හිමියන්ගේ රැකවරණය යටතට පත් වූහ.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක, රාජකීය පණ්ඩිත කොස්ගොඩ ධම්මවංස නාහිමියන්ගේ භාරකාරත්වයෙන් 1967 දී සෝමානන්ද සාමණේර හිමියෝ කොටහේනේ දීපදුත්තාරාමයේ දී ශ්‍රී ගුණානන්ද පිරිවෙනට භාරදෙනු ලැබිණි. එහිදී බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වෙතින් ටික කලක් අධ්‍යාපනය ලැබීමට ද උන්වහන්සේ භාග්‍යවන්ත වූහ. 1968 දී පානදුර, පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ලේඛකාධිකාරි ව වැඩ විසූ, රාජකීය පණ්ඩිත පින්වත්තේ ශ්‍රී දේවානන්ද නාහිමියන් වෙත භාර කළ අතර , එහි දී උන්වහන්සේ ප්‍රාචීන සාමාන්‍ය පෙළ හා ප්‍රාචීන ප්‍රාරම්භ උසස් පෙළ විභාග සමත් වූහ. අනතුරුව අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත් වූ උන්වහන්සේ දෙල්දූවේ පුරාණ විහාරය වෙත වැඩම කළ අතර, එහි සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට සමත් වූ හ. කොස්ගොඩ ධම්මවංස මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා අමුගොඩ සෝමරතන අනුනාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1974 ජුනි මස 1 වැනි දා , වැලිතර මහා කප්පිනවලව්ව බද ‘ස්වේජින්’ සීමා මාලකයේ දී අමුගොඩ සෝමානන්ද හිමියෝ උපසම්පදාව ලැබූහ. 1982 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ සෝමානන්ද හිමියෝ 1985 දී ශාස්ත්‍රවේදී උපාධියත්, පුස්තකාල විඥාපන විද්‍යා ඩිප්ලෝමාවත්, 1990 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ජනසන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ලබා ගත්හ. උන් වහන්සේ ශාස්ත්‍රපති උපාධිය ද දිනා ගත් අතර, 1992 දී සංවර්ධනය හා ඔස්ලෝතායි ඩිප්ලෝමාව ද සමත් වූහ. පානදුර, පින්වත්තේ සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙනේ පුස්තකාල අධිපති තනතුර දැරූ උන්වහන්සේ 1986 දී සද්ධර්මාකර පිරිවෙන් විද්‍යායතනයේ උප ගුරුවරයෙකු වශයෙන් පත්වීමක් ලැබූහ. 1985 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පින්වත්තේ සද්ධර්මාකර ආයතනයේ පුස්තකාලයාධිපති වශයෙන් පත් වූ අතර, 1992 දී එම ආයතනයේ ලේකම් තනතුරට පත් වූ හ. සද්ධර්මාකර ආයතනයේ පරිවේණාධිපති වශයෙන් 1996 දී පත් වූ උන්වහන්සේ 2010 වසර දක්වා ම එම තනතුර හෙබවූහ.

දැනට පයාගල මලේගොඩ පුෂ්පාරාම විහාරස්ථ ශ්‍රී නන්දන ත්‍රිපිටක ධර්මායතන මහ පිරිවෙන්හි සම්මාන පරිවේණාධිපති පදවිය මෙන්ම ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ මහා ලේඛකාධිකාරි පදවිය උසුලන අමුගොඩ සෝමානන්ද හිමියන් ඒ තුළින් ඉටු කරමින් සිටිනුයේ අති විශාල ශාසනික හා සමාජයීය මෙහෙවරකි. අමුගොඩ සෝමානන්ද හිමියන් ග්‍රන්ථ රැසක් රචනා කර ඇත. ධර්ම ප්‍රචාරය සඳහාත්, ආගමික සමුළු නියෝජනය කිරීම සඳහාත් අමුගොඩ සෝමානන්ද හිමියෝ විදෙස් රටවල් රැසක සංචාරය කළ අතර, ලෝක ආගම් සාම සමුළු රැසක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කළහ.

****

අම්පනාගල ශ්‍රී පේමානන්ද හිමි

මාතර දිස්ත්‍රික්කයේ රොටුඹට ආසන්න අම්පනාගල ගම්මානයේ විසූ කංකානම්ගේ අල්ලිස් අප්පුහාමි සහ හෙට්ටිආරච්චිගේ හින්නිහාමි යන මව්පිය දෙපළගේ දරුවන් අතර පේමදාස නමැති දරුවා උපත ලද්දේ 1937 මාර්තු 20 වැනිදා ය.

එම පින්වත් කුමරුවා පසුව මොරගල කිරිළිපන ශ්‍රී පරම විශුද්ධාරාමාධිපතිව වැඩ විසූ ඕමල්පේ ශ්‍රී සීලානන්දාභිධාන නාහිමියන්ගේ එකම ශිෂ්‍ය රත්නය ලෙස 1962 මාර්තු 2 වැනිදා අම්පනාගල පේමානන්ද නමින් පැවිදි බිමට ඇතුළත් විය. තම ගුරු දේවයාණන් වහන්සේගේ ඇසුරෙහි ශාසනිකවත් පිළිවෙත් මනා ලෙස ප්‍රගුණ කළ පේමානන්ද පොඩි හාමුදුරුවෝ මොරවක ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන, මාතර කිතුලේවෙල ජයමහ විහාර පිරිවෙන යන ආයතන වලින් උගතමනා බණ දහම් ප්‍රගුණ කළහ. ඕමල්පේ ශ්‍රී සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයා ලෙස අම්පනාගල පේමානන්ද හිමියෝ 1957 ජුනි මස 04 වෙනි දින උපසම්පදාව ලැබූහ. පිරිවෙන් අධ්‍යාපනයෙන් පසු විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදි උපාධිය ලැබූ පණ්ඩිත හාමුදුරුවෝ ගෝනගල සුධර්මාකර පිරිවෙන, දෙනියායේ ධර්මද්ධජ පිරිවෙන යන පිරිවෙන්වල ආචාර්යවරයකු ලෙස කටයුතු කළහ.

1976 දී කිරිඉබ්බන්ආර විදුහලට මුල් පත්වීම ලැබූ උන්වහන්සේ මාර / මාවරල මහ විදුහල ,මාර/මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල යන විද්‍යාලවල ආදර්ශමත් ගුරුවරයෙකු ලෙස සේවයේ නිරත වූහ. මාර /කිරිළිපන කණිටු විදුහල උන්වහන්සේගේ සේවා ස්ථාන අතර විය.

පේමානන්ද පණ්ඩිත හාමුදුරුවෝ දහම් පාසල හා පෙර පාසල ආරම්භ කිරීමට ද පුරෝගාමී වූහ. සිය විහාරස්ථානයේ පෙර පාසල් ගොඩනැගිල්ල ස්වකීය පෞද්්ගලික වියදමින් ඉදි කළහ. විහාරස්ථානයට එතෙක් අඩුවක් ව පැවැති ධර්මශාලා මන්දිරය ඉදිකිරීමට දායක පිරිසට මඟ පෙන්වූවා පමණක් නොව තමන් වහන්සේ ද ඒ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට අමතක නොකළහ.

අම්පනාගල ශී‍්‍ර පේමානන්ද නාහිමිපාණන් වහන්සේගේ 10 වැනි ගුණ සැමරුම් පුණ්‍යෙීත්සවය නොවැම්බර් 03 වැනි දින සිට 06 වැනිදා දක්වා පැවැත්වීමට විහාරාධිපති දොරපනේ සෝරත හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.

උන්වහන්සේට නිවන් සුව පතමු.

****

පරපාමුල්ලේ පියතිස්ස හිමි

දෙහිවල විද්‍යාවර්ධන පිරිවෙන් විහාරාධිකාරී පරපාමුල්ලේ පියතිස්ස හිමිපාණෝ වසර 32 ක ගුරු සේවයෙන් ඔක්තෝබර් මස 12 දින විශ්‍රාම ගත්හ. උන්වහන්සේට උපහාර පිදීමේ උත්සවය පසුගිය දා (15 වන දින) දෙහිවල ඇස්. ද . ඇස් ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත් විණි.

1958 ඔක්තෝබර් මස 13 දින දකුණු පළාතේ පරපාමුල්ල ග්‍රාමයෙහි උපත ලබා තම උපන් ගමෙහි රජයේ පාසලෙන් මූලික අධ්‍යාපන ලබා 1969 පස්ගොඩ විහාරස්ථානයෙහි දී පැවිදි විය.මූලික පිරිවෙන් අධ්‍යාපනය අවසන් කර මාතර ශ්‍රී සුදර්ශී විද්‍යායතන පිරිවෙනට ඇතුළත් විය.

කොටවිල ශ්‍රී සුනන්දරාම විහාරස්ථානයෙහි වැඩ වෙසෙමින් තම අධ්‍යාපන කටයුතු නිසි ලෙස සම්පූර්ණ කර ගනිමින් උපාධිධාරී ආචාර්යවරයෙකු ලෙස මාතර ශ්‍රී සුදර්ශී පිරිවෙනෙහි පත්වීමක් ලබා ගන්නේ, එවකට පිරිවෙන් කෘත්‍යාධිකාරී ව වැඩ විසූ කඩවැද්දුවේ ශ්‍රී පේමරතන නා හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙනි. කොටවිල ශ්‍රී සුනන්ද දහම් පාසලේ ආචාර්යවරයෙකු ලෙස තම සේවාව ළමා පරපුරට ලබා දෙමින්, ගමේ සමාජ හා ආගමික කටයුතුවලට මහත් සේවාවක් ලබා දුන්නේ ය.

1989 දී පාසල් ගුරු සේවයට පිවිසි උන්වහන්සේ පළමුව මාතර කඹුරුගමුව මහා විද්‍යාලයේ උපාධි උප ගුරුවරයෙකු ලෙස වැඩ භාර ගන්නා ලදී. පසුව කොටවිල මහා විද්‍යාලයේ ද උන්වහන්සේ තම අධ්‍යාපනික සේවාව ඒ අයුරින් ම ලබාදීමට කැප වීය.

1998 දී දෙහිවල වෛද්‍ය පාරේ පිරිවෙන් විහාරයේ ඇති වූ නේවාසික භාරකාරත්වය පුරප්පාඩුව පිරවීම සඳහා ලැබුණු ආරාධනාව පිළිගෙන පැමිණ කොළඹ දිස්ත්‍රික්කයට තම පත්වීම අනුයුක්ත කරගෙන මුලින් ම කටුබැද්ද ශාන්තමරියා විදුහලේ සේවය කර, දෙහිවල ඇස්.ද. ඇස් ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු වශයෙන් ද කටයුතු කළ උන්වහන්සේ වසර 32 ක අධ්‍යාපන සේවය නිමා කරමින් පසුගියදා විශ්‍රාම ජීවිතය ආරම්භ කළහ. පියතිස්ස හිමියන් පාසලේ බුදු මැදුරට වටිනා ප්‍රතිමා වහන්සේ නමක් තම ධන පරිත්‍යාගයෙන් ලබාදෙමින් සිසුන් තුළ අධ්‍යාත්මික සහ සදාචාරාත්මක චරිත සංවර්ධනය සඳහා ප්‍රමුඛස්ථානයක් ලබා දුන්හ. ප්‍රදේශයේ ආපදාපන්න අවස්ථාවලදී මෙන්ම රටේ ආපදා අවස්ථාවන් ඇති වූ විට ගුරු සිසු සැමදෙනාගේ සහාය ලබාගෙන සහනාධාර සේවාවන් සැපයීමට නායකත්වය ලබා දුන් බව වත්මන් විදුහල්පති පතිරණ මහතා ගුරු උපහාර උත්සවයේ දී අවධාරණයෙන් සඳහන් කළේ ය. සුනාමි ආපදාව, මීතොටමුල්ල ආපදාව, 2016, ගංවතුර උවදුර 2017 යන ව්‍යසනකාරී තත්ත්වයන්ට පිහිට වීමට ප්‍රබල දායකත්වයක් ලබා දීම නිසා පාසලට මහත් ගෞරවයක් ලබා ගැනීමේ අවස්ථාව උදා වූ බව සිහිපත් කෙරිණ. ඊට අමතරව පාසලේ විනය කමිටුව, ක්‍රීඩා කමිටුව සහ ආගමික කමිටුව යන විෂය සමගාමී ක්‍රියාකාරකම්වලට ලබාදුන් නොමසුරු සහාය ද සිහිපත් කෙරිණි.

දෙහිවල ශ්‍රී දීපානන්ද දහම් පාසලේ පැවැති නායකත්ව හිඩැස සපුරාලමින්, ප්‍රධානාචාර්ය ධූරය ලබාගෙන, දූ දරුවන්ටත් ප්‍රදේශයෙහි ජනතාවටත් අනූපම සේවාවක් ලබා දීම නිසා පියතිස්ස හිමියන්ගේ 60 වන උපන් දිනය, 50 වසරක පැවිදි දිවිය සහ වසර 32 ක ගුරු සේවයෙන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් ආශිර්වාද පින්කමක්’ ඔක්තෝබර් 13 දින රාත්‍රියේ ද 14 දින උදේ ‘ගුරු උපහාර’ උත්සවයක් විද්‍යාවර්ධන පිරිවෙන් විහාරයේ දී ද පැවැත්විණි. උන්වහන්සේ ‘සමස්ත ලංකා’ සාම විනිසුරු පදවියෙන් පිදුම් ලබන්නට තරම් භාග්‍යවන්ත වූ හ. ජපානයේ අගොන්ශු පදනමේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ සමාජ සේවා කටයුතුවලට දැක්වූ සහයෝගයට උපහාරයක් ලෙස පියතිස්ස හිමියන්ට පසුගිය දශකයක කාලය තුළ වාර්ෂිකව ජපානට වැඩම කරලීමටත්, අගොන්ශුඹ නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සම්භාවනාවට ලක්වීමට ලැබීමත් ඉතා දුර්ලභ අවස්ථාවකි. උන්වහන්සේට ශාසනික කටයුතුවල නිරත වන්නට කායික හා මානසික සුවය ලැබේවා.