Print this Article


ගිහි ගෙදරට දහම් වැටක් : සවන් දීමත් යහපත් ගුණාංගයක්

සවන් දීමත් යහපත් ගුණාංගයක්

භාර්යාව, ස්වාමිපුරුෂයා විෂයයෙහි කීකරු තැනැත්තියක විය යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. විවාහ ජීවිතය සාර්ථක කරගන්නට නම්, දෙදෙනා අතර පි‍්‍රයමනාප බව වැඩිකර ගැනීමට එම ස්වභාවය අවශ්‍ය වෙනවා.

අරමුණ ද, අවශ්‍යතාවය ද තමන් සතුව රඳාපවතිනවා. ඒ අනුව වැඩ කටයුතු කරන්නට හැකියාව පවතින කාන්තාවන් වෙනුවෙන් නම් එය අනෙක් අතට ක්‍රියාත්මක විය යුතුයි. සැමියා ද තම බිරිඳට කීකරු අයෙකු විය යුතු යි. විවාහ ජීවිතයේ රස මිහිර හිතට දැනෙන්නේ ඒ ආකාරයෙන් කටයුතු කළොත් පමණයි. නැත්නම්, ඔහේ ජීවත් වේවි. එවැනි අයකු පිළිබඳ ව පැරැණි පොත පතේ මේ ආකාරයට සඳහන් වෙලා තිබෙනවා.

උපන්නාට මේ ලොව වැනෙනවා විනා
ලෝ සිරිතට අඹු දරු රකිනවා විනා
රූපේ අරන් පාපේ ගෙවනවා විනා
කරන දෙයක් නැත පවු ගෙවනවා විනා

ඇතැම් වෙලාවට ඔබේ ජීවිතයත් ඒ වගේ ද දන්නේ නැහැ. මඳක් සිතා බලන්න. සමහර අඹු සැමියන් කතා කරන්නේ නැහැ. එකවිට කෑම ගන්නවා . උත්සවවලට සහභාගි වෙනවා. ඒත් දෙන්නා මූණ බලා කතා කරන්නේ නැහැ. එයට අකැමැතියි. ලෝක මානෙට ජීවත් වෙනවා. පිටට කියන්නත් බැහැ. එකට රැඳෙන්නත් බැහැ. ‘මැය එක්ක කතා කරනවාට වඩා හොඳයි කට ගලක අතුල්ලා ගන්න එක.’ සමහර පිරිමි එහෙමත් කියනවා. අපේ එක්කෙනා නම්, මොනවා කිව්වත් අහන්නේ නැහැ. එයාට අවශ්‍ය දේ පමණයි කරන්නේ. මොන වෙලාවකටවත් මම ගැන හිතන්නේ නැහැ.’ ආදී බොහෝ දේ කියනවා.

ඇයි එහෙම වෙන්නේ? කීකරු නැතිකම එයට එක හේතුවක්. කීකරුකම නැතිවීම, අනෙකා අභිබවා මතුවන්නට දැඟලීම. මමයි දන්නේ කියලා හිතන උද්ධච්චකම නිසා සාමකාමී කතාබහක නිරතවීමට නොහැකියි. අඩුම වශයෙන් පැය බාගයක් දෙදෙනාට කතා කරන්න බැහැ. හිත ඇතුළෙ තියෙන තරහව සහ නොමනාපය හීසැර වන් වදන්වලින් එළියට පනිනවා.

අපේ අම්මයි, තාත්තයි සතුටින් ඉන්නවා දකින්න හරි ආසයි. ඒත් එහෙම දවසක් කවදාවත් දැකලා නැහැ. එහෙම පවුල්වල ළමයි කියනවා.

පෙර සංසාරේ කරුමය තමයි මේ පඩිසන් දෙන්නේ. තමන්ගේ දුර්වලකම් සියල්ල සඟවාගෙන කර්මයට බාරදීලා ඉන්න අනුවණ කාන්තාවන් මේ සමාජයේ පිරිලා. හැම තැනම ජීවිත අවුල්වෙන්නේ අනුවණකම නිසයි. මෝඩකම කියන්නේ අවිද්‍යාවට. අවිද්‍යාව නසන්නට නම්, විද්‍යාව පහළ කරගන්න අවශ්‍යයි. ඒ සඳහා සවන්දීම වැදගත් වෙනවා. තම සහකාරිය කතා කරන දෙය පිළිගන්න අවශ්‍ය ම නැති වුණත්, කතා කරන්නේ මොනවාද කියලා ඊට සවන් දීම අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරනු ලැබුවේත් සවන්දීම වැදගත් වන බවයි. ‘සුනාථ’ කියලා කිව්වේ එයටයි. යමක් අසාගෙන සිටියා කියන්නේ එය පිළිගැනීමක් ද? නැහැ. පිළිගැනීම වෙන්නේ ඊට ගොඩාක් පස්සේ. අද ඇති වන බොහොමයක් ගැටුම් සවන්දීමට අකැමැති නිසා ඇතිවන දෙයක් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට බැණ වදින අයගේ හඬ පවා අසාගෙන සිටි උත්තමයෙක්.

උන්වහන්සේ ආදර්ශයෙන් ලෝකයට කියලා දුන්නේ එයයි. බෞද්ධයකු වශයෙන් යහපත් විවාහ දිවියක් ගෙවන්න නම්, අවම වශයෙන් පළමුව හොඳ සවන්දෙන්නකු වීම අවශ්‍යයි. කීකරුකම කියන්නේත් එයමයි.