Print this Article


පැරැණි බණකතා 12: යක්ෂයාගේ උගුලට හසු වූ ගැල් නායකයා

යක්ෂයාගේ උගුලට හසු වූ ගැල් නායකයා

යටගිය දවස කසී රට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍ය කරන සමයේ අප මහා බෝසතාණෝ ගැලින් බඩු ගෙන ගොස් වෙළෙඳාම් කරන වෙළෙඳ නායක පවුලක උපන්නා හ. තරුණ එතුමාණෝ ගැල් පන්සියයකින් තැනින් තැන බඩුගෙන යමින් වෙළෙඳාම් කළහ. ඒ නගරයෙහි ම තවත් වෙළෙඳ නායකයෙක් විසී ය.

දිනක් එතුමා බරණැස් නුවරින් ගැල්වල බඩු පුරවාගෙන වෙළෙඳාම පිණිස යෑමට සූදානම් විය. අනෙක් වෙළෙන්දා ද ගැල් පුරවාගෙන වෙළෙඳාමට පිටත් විය. ගැල් දහස ම එකම මඟ, එකවිට ගමන් කරන නිසා ගැල්කරුවන්ට වුවමනාකරන පැන් සොයා ගැනීම ද, ගොනුන්ට වුවමනා තණකොළ සපයා ගැනීම ද අපහසු වෙයි. මාර්ගය ද රෝද වලින් අබලන් විය හැකියැයි බෝසතාණෝ සිතූහ. එනිසා අනෙක් ගැල් නායකයා කැඳවා,

”ඔබ වෙළෙඳාමේ පළමුව යනවා ද? නැතහොත් මම යන්න ද?”යි ඇසුහ.

ඒ ඇසූ අනෙක් වෙළෙඳ නායකයා “මම පළමුව ගියොත් කරත්ත රෝද නො කැඩුණු මාර්ගයේ මට යා හැකියි. ගොනුන්ට කුස පිරෙන්න තණකොළ දිය හැකියි. මිනිසුන්ට ද පිරිසුදු පැන් ලැබෙන්නේ ය. එලෙසම මට කැමති මිලට බඩු ද විකුණා ගත හැකියැයි” සිතා,

යහළුව, මම පළමුව යමි.” කියා ගැල් ගමන ආරම්භ කළේ ය. එසේ ගිය ඔවුන් එක් කාන්තාරයක් මැදින් ගමන් කරන්නට විය. ඒ කාන්තාරයට අරක්ගත් යක්ෂයෙක් වෙළෙඳ පිරිස දැක,

”මට හොඳ ආහාරයක් ලැබෙන්නයි යන්නේ, මොවුන් දුර්වල කොට මරාගත යුතුයැයි” සිතා රථයකින් ගමන් ගන්නා නායකයෙකුගේ වෙස් ගෙන, හිස හා ඇඳුම තෙත්ව වෙළෙඳ පිරිස ඉදිරියේ පෙනී සිටියේ ය. එවෙලෙහි කඩාගත් මහනෙල් හා නෙළුම් මල් යක්ෂාගේ ගෙලෙහි විය. ඔහු ගමන් ගත්තේ සුදු ගොනුන් යෙදූ රථයකිනි. එහි රෝදවල මඩ තැවරී තිබුණි. මල් මාලා පැළඳ සිටි ඔවුහු නෙළුම් අල කමින් සිටියහ. සිරුරුවලින් දිය බිඳු බේරුණි. ගැල් නායකයා සමග යක්ෂයා කතාවට මුල පිරී ය.

” යහළුව, ඔබ යන්නේ කොහේ ද?”

” මිත්‍රය, අපි කාන්තාරයෙන් එහා ඇති නගරයට වෙළෙඳාම පිණිස යන්නෙමු”

”යහළුව, ඔබ යන නගරයේ සිට මම එන්නෙමි. ඉදිරියේ නිල් වන රොදක් ඇත. දියඇලි එමට ය. අපමණ මහනෙල් නෙළුම් ඇත” එනිසා යහළුවේ මේ ගැල්වල පටවා ඇති ජලය ඉවත් කොට හිස් කර ගන්න. නිකරුණේ බර පටවාගෙන යෑමෙන් කුමන ප්‍රයෝජනයක් ද? මෙතැන් සිට පහසුවෙන් යන්නැයි” යක්ෂයා මුසා කී ය.

යක්ෂයාගේ කතාව විශ්වාස කළ අඥාන ගැල් නායකයා දිය බඳුන් හිස් කර ඉදිරියට ගියේ ය. ඉදිරියේ කිසිදු විලක්, ඇලක්, වනරොදක් නො වී ය. දිය බිඳක්වත් නො ලබා මිනිස්සු බොහෝ වෙහෙසට පත්වූහ. ගමන් වෙහෙස, පිපාසය, බඩගින්න නිසා ක්ලාන්ත විය. ඒ අතර එහි පැමිණි යක්ෂායා ගොන්නු ද, මිනිසුන් ද කා දමා ඇට පමණක් ඉතිරිකොට නික්ම ගියේ ය.

සති කිහිපයකට පසු බෝසතාණෝ ගැල් දක්කාගෙන ඒ පාරෙන් ම වෙළෙඳාමට නික්මුණහ. කාන්තාරයට ළං වූ හ. එතුමාණෝ පිරිස රැස්කොට ඉදිරි මාර්ගයේ ඇති දුෂ්කර බවත්, කාන්තාරයේ කිසිදු දෙයක් ආහාරයට නො ගන්නා ලෙසත් අවවාද කළහ.

පෙර පරිදි ම යක්ෂයා මතුවිය. පෙර ගැල්කරුවාට මෙන් ඉදිරියේ ඇති සුවපහසු පරිසරය විස්තර කළේ ය. නමුත් බෝසතාණෝ කීවේ ජලය ඉවත් නො කරන බව යි. එවිට ගැල්කරුවන් කියා සිටියේ නායකතුමනි, ඉදිරියේ විල්, ඇළ දොළ ඇත්නම් අප මෙසේ ජලය පුරවාගෙන යන්නේ ඇයි? යන්න ය. එවිට බෝසතාණෝ අසන්නේ, විලක් හෝ පොකුණක් මේ කාන්තාරයේ ඇති බව කවුරුන් හෝ අසා ඇද්ද? මෙතැනින් ඉදිරියට නිල්වන් වන රොද ඇත්නම් වැසි සුළං හැමිය යුතු ය. අප ඉදිරියේ එසේ ආවේ මිනිසෙකු නොව අමුනුස්සයෙක් බවත්, එ නිසා ගැල් හිස් නො කර ඉදිරියට ගමන් කරමුයි කී හ.

ටික දුරක් ඉදිරියට යද්දී පෙර ගැල් කරුවන්ට සිදු වී ඇති විපත දුටුවහ. ඔවුන්ගේ ඇටකටු පමණක් ඉතිරිව තිබුණේ ය. එය දුටු බෝසතාණෝ ගැල් නවතා තම පිරිස අමතා මෙසේ කී හ.

අප හමුවට ආ අමුත්තා අපට කරන්නටත් හැදුවේ මේ දේ ම ය. ඔහුට නො රැවටුණ නිසා අපි ජීවිත බේරා ගත්තෙමු” කියා එදා රෑ එහි නවාතැන් ගෙන පසුදින කාන්තාරය පසුකොට බලාපොරොත්තු වූ පරිදි නගරයට පැමිණියහ.අප බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දී අනුවණින් කටයුතු කළ එක් භික්ෂුවක් අමතා, නුවණැතිව කටයුතු කිරීමේ වැදගත්කම දක්වමින් මෙම අපණ්ණක ජාතකය වදාළ සේක.