Print this Article


අටුවා රසකතා- 15: සැදැහැ සිතින් පිදූ දානය

සැදැහැ සිතින් පිදූ දානය

දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජුට වටු මස් කෑමට ආසාවක් ඇතිවිය. මෙය කිසිවෙකුට දැන්වූයේ නම් , දහස් ගණනින් වටුවන් මරතියි සිතූ රජතුමා කිසිවකුට නො දන්වා සිටියේ ය. මෙසේ අවුරුදු තුනක් ගත විය.

එම ආසාව පිරිමසා ගැනීමට නො හැකි වූ නිසා රජුගේ කන්වලින් සැරව වැගිරෙන්නට විය. පසුව රජතුමා තමාගේ දිවි යතත්, වටුවන් නො මරා තමාගේ ආශාව මුදුන් පමුණුවා ගන්නේ යැයි සිතා රජුට කුළුපග ඇමතියෙකුට ඒ බව පවසා වටුවෙකු නො මරා ත්‍රිකෝටික පාරිශුද්ධියෙන් යුත් වටුමසක් සොයාගෙන එන ලෙස ඔහුට කී ය. එම ඇමතියා ඉතා පරිස්සමින් එය කුළුපඟ සේවකයෙකුට දන්වා ඉතා රහසිගත ව වටුමස් සොයාගෙන එන ලෙස පැවසී ය.

එම සේවකයා ද උදෑසන ම නුවර දොර සමීපයට ගොස් වටුමස් සොයනුයේ, මරන ලද වටුවන් විකිණීමට ගෙනා එක් මිනිසකු දැක වටු මස් මිලදී ගෙන රජ මැදුරට ගෙන ගොස් රහසිගත ව ඇමතිවරයාට දුන්නේ ය. ඇමතිවරයාගේ නියමයෙන් අරක්කැමියාලවා කුළුබඩු යොදා පිසින ලද වටුමස් රජුට පිළිගැන්වී ය. බොහෝ කලකින් තමාගේ ආසාව සමෘද්ධිවීමෙන් ඉතා සතුටු වූ රජු මස් ටිකක් කඩා මුවෙහි තැබූ කෙණෙහි ම ඒ රසයෙන් සියලුම රස නහර පිනා ගියේ ය. එවිට රජු සිතනුයේ මා වැනි රජෙක් වටුමස් කනු කැමැති ව අවුරුදු තුනක් ගතවන තරුම නො ලැබුණි නම්, සංඝයා වහන්සේට කාගෙන් ලැබේ දැයි සලකා සංඝයා වහන්සේ සිහි කොට කටට ගත් මස් ටිකත් අනුභව නො කොට ඉවත දැමූ විට ඇමතියා දණින් වැටී එය තම කටට දමා ගත්තේ ය. පසුව රජු ඔහුගේ වරදක් නො මැති බව පවසා ඔහු අස්වසා ආර්යයන් වහන්සේලාට නොදී අනුභව කිරීම නො සුදුසුයැයි පවසා පසුදා උදෑසන වන තෙක් එම වටුමස් සුරැකිව තබන ලෙස නියෝග කළේ ය.

පසුදා කන්ථකශාලා පිරිවෙන් වැසි එක් මහතෙර නමක් පිණ්ඩපාතය පිණිස රජ ගෙදරට වැඩියහ. උන්වහන්සේ සමඟ මහලු වී පැවිදි වූ එක් හිමි නමක් ද රජ ගෙට ඇතුළු විය. මේ ආගන්තුක භික්ෂුව රජුගේ ඇරයුමකින් පැමිණියේ යැයි තෙරුන් වහන්සේ සිතූහ. ඒ භික්ෂුව මහතෙර නමගේ අතවැසියකු යැයි රජතුමා සිතුවේ ය. රජතුමා දෙනම ම වඩා හිඳුවා පළමුව කැඳ පිළිගන්වා පසුව දානය සමඟ වටු මාංශ පිළිගැන්වී ය. මහ තෙරුන් වහන්සේ ද අනිත් නම ද පිළිගත්හ. ඉතිරි තෙරුන් මාංශ වහන්සේලාගෙන් නො විචාරා අනුභව කිරිම නුසුදුසු යැයි සිතූ රජතුමා මහ තෙරුන්ට පිළිගන්වන්නට ගිය විට උන්වහන්සේ අතින් පාත්‍රය වැසූහ. අනිත් භික්ෂුව ඉතිරි වූ මාංශ ද පිළිගත්තේ ය.

මේ නිසා තුන් අවුරුද්දක් පුරා කන්නට සූදානම් වූ වටු මස රජතුමාට එදින අනුභව කරන්නට නො ලැබිණි. නො සතුටු වූ රජතුමා හිමිවරුන් වළදා අවසන්හි මහතෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙන පසුපස ගමන් කරන්නේ ස්වාමීනි කුලයකට පිණ්ඩපාතය පිණිස පැමිණෙන විටවත් උගත් භික්ෂු නමක් සමඟ වැඩම කිරීම වටී යයි පැවසී ය. කරුණු වටහාගත් තෙරුන් වහන්සේ ආගන්තුක භික්ෂුනම රජුගේ ඇරයුමකින් නො වැඩි බව දැනගත්තේ එවිට ය.

පසුදා තෙරණුවෝ වත් දන්නා සාමණේරයන් වහන්සේ නමක් සමඟ රජගෙට වැඩියහ. රජු එදින ද පළමුව කැඳ පිළිගන්වා අවසානයේ දන් පිළිගැන්වීමේ දී වටුමස් ගෙනා අවස්ථාවේ තෙරුන් වහන්සේ එක් කොටසක් පිළිගත්හ. සාමණේරයන් වහන්සේට පිළිගන්වන කල්හි උන්වහන්සේ භාගයක් පමණක් පිළිගත්හ. ඉතිරි භාගය නැවත පිළිගන්වන්නට ගිය කල්හි දෙදෙනා වහන්සේ ම අත් වැසූහ.

ඉක්බිති රජතුමා එයට නොදුරු තැනක සිට වටු මස් අනුභව කළේ ය. රජු සතුටු විය. එකෙනෙහි ම රජුගේ රෝගය සන්සිඳුණේ ය. ඉක්බිති රජු සාමණේරයන් වහන්සේ වෙත ගොස් ස්වාමීනි, ඔබ වහන්සේට දිනපතා බත් අටක් බැගින් දෙන්නෙමියි කීවේ ය. සාමණේරයන් වහන්සේ රජතුමනි ඒවා මාගේ උපාධ්‍යායන් වහන්සේට දුනමැනවියි කීහ. පසුව රජු විසින් තවත් අටක් දෙමින් පැවසූ කල්හි සාමණේරයන් වහන්සේ එය සංඝයාට දෙනු මැනවැයි කී හ. ඉන්පසු රජු තෙවන වර ද නැවතත් සාමණේරයන් වහන්සේට බත් අටක් පිළිගන්නා ලෙස ඉල්ලී ය. සාමණේරයන් වහන්සේ එය පිළිගත්හ.