Print this Article


පිරිත් දේශනාව 27 : ආලවක සූත්‍රය

ආලවක සූත්‍රය

බුදුරදුන් ජීවමාන කාලයේ දඹදිව ආලවී නමින් නගරයක් විය.එහි ආලවී රජතුමා රාජ්‍ය කළේ ය. එකල ආලවක යක්ෂයා වෛශ්‍රවණ රජුගෙන් වරමක් ලැබ ආලවී නුවර සමීපයේ වෘක්ෂයක වාසය කළේ ය. එම වෘක්ෂයේ සෙවණ සමීපයට පැමිණෙන පුද්ගලයන් තම ගොදුර සඳහා ලබාගැනීමට ද වරමක් ලැබුවේ ය.

අතීතයේ රජවරු කාරණා කීපයක් සඳහා මුව දඩයමේ ගියේ ය. සොරුන් වැළැක්වීමට, සතුරු රජවරු වැළැක්වීමට, ශාරීරික ව්‍යායාම පිණිස

සතිය අවසානයේ දඩයමේ යන්නේ ය. දිනක් රජතුමා තම බල සෙනග සමඟ සාකච්ඡාවක් කළේ ය. කිසියම් කෙනෙකුගේ දිශාවකින් මුවා පලා ගියොත් ඔහු මුවා ලුහු බැඳගෙන ගොස් අල්වා ගත යුතු ය. එදින ආලවී රජතුමාගේ පැත්තෙන් මුවා පලා ගියේ ය. ඒ නිසා රජතුමාට මුවා පසුපස ලුහු බඳින්නට සිදු විය. ගව් තුනක් මුවා පසුපස ලුහු බැඳගිය රජතුමා මුවා අල්ලාගෙන රැගෙන ආවේ ය. අතරමග දී රජතුමා වෙහෙස නිසා විශාල වෘක්ෂයක් දැක එහි ගිමන් හළේ ය. එම ගසට අරක් ගත් යක්ෂයා ආලවක විය. ආලවක, රජු තමාගේ අවසරයෙන් තොරව වෘක්ෂය මුල වාසය කරනවා දැක රජු මරා කෑමට සූදානම් විය. රජතුමා තමාට ජීවිත දානය දෙන ලෙස ඉල්ලී ය. දිනපතා ම ආලවක යක්ෂයාට ආහාරයට මිනිසෙකු හා බත් සැලියක් එවන බවට පොරොන්දු විය.

ආලවක යක්ෂයා රජුට ජීවිත දානය දුන්නේ ය. රජු නගරයට ගොස් තමා මුහුණ දුන් තත්ත්වය නගර ආරක්ෂකයාට පැහැදිලි කළේ ය. නගර ආරක්ෂකයා රජු වෙනුවෙන් යක්ෂයාට බිල්ලට පුද්ගලයන් තෝරා ගැනීමට බාර ගත්තේ ය. මුලින් ම සිර කඳවුරුවල සිටි මරණයට කැප වූ පුද්ගලයන් එක්කෙනා බැගින් යවන ලදී. අනතුරුව සිරකඳවුරුවල සිටි සොරු යැව්වේ ය. සොරු නැති වූ විට නගරය පුරා ධන ධාන්‍ය විසුරවමින් ඒවා ගන්නා පුද්ගලයන් යැවීමට කටයුතු කළේ ය. ඒනිසා නගරයේ සොරු නැති විය. අවසානයේ වැඩිහිටියන් යවන ලදී. වැඩිහිටියනුත් යැවීමෙන් අනතුරුව යවන්නට කිසිවකු නොමැති නිසා කුඩාම දරුවන් යැවීමට එකඟ විය. මිනිස්සු තම තමන්ගේ දරුවන් රැගෙන නගරයෙන් බැහැර ගියහ. ඒ නිසා ආලවී රජුගේ පුත් ආලවක කුමාරයා යැවීමට දිනය නියම විය. එදින මහා කරුණා සමාපත්තියට සමවැද ලෝකය දෙස බලන බුදුන් වහන්සේ ආලවක යක්ෂයාගේ විමානයට තමන් වැඩම කරවීම නිසා ආලවක යක්ෂයාට සෝවාන් වීමට ද, ආලවක කුමාරයාට අනාගාමී වීමට ද අවස්ථාව සැලසෙන බව දැන ආලවක යක්ෂයාගේ විමානයට වැඩම කළ සේක.

බුදුරදුන් ආලවක යක්ෂයාගේ විමානයට වැඩම කරන විට යක්ෂයා විමානයෙන් බැහැර ගොස් සිටියේ ය. බුදුරදුන් යක්ෂයාගේ සෙනෙවියාගෙන් විමානයෙහි වාසය කිරීමට අවස්ථාව ඉල්ලා සිටියේ ය. ගද්‍රභ නම් සෙනෙවියා ආලවක යක්ෂයා මව්පියන් නොහඳුනන, ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට කිසිම ගරු සරුවක් පුද නොකරන කෙනෙකු බවත්, එහි වාසය කිරීම බුදුරදුන්ට පීඩා පිණිස හේතුවන බවත් ප්‍රකාශ කරමින් එහි වාසය නොකරන ලෙස ඉල්ලා සිටියේ ය. ආලවකගෙන් තමාට පීඩාක් සිදු නොවන බවත්, තමන් වහන්සේ එහි වාසය කිරීම නිසා බොහෝ දෙනෙකුට ප්‍රයෝජනයක් සිදුවන බවත් පැහැදිලි කළ බුදුරදුන් එහි නතර වූ සේක. අනතුරුව ආලවකගේ ස්ත්‍රී සමූහයාට බුදුරදුන් ධර්මය දෙසූ සේක. ඔවුන් ධර්ම ශ්‍රවණයෙන් සතුටට පත්වී සාධුකාර දුන්හ. ආලවක යක්ෂයාට බුදුරදුන් එහි වාසය කරන බව දැන ගන්නට ලැබිණි. තමාගේ අවසරයක් නැතිව තමාගේ විමානයට බුදුරදුන් වැඩමවීම ගැන ආලවක කෝපාවිෂ්ඨ විය.

භාරතය පුරා පැතිර ගිය ශබ්ද හතරක් පිළිබඳ ආලවක සූත්‍ර අටුවාවේ සඳහන් වේ.

කෝරව්‍ය රජතුමා හා පූර්ණක යක්ෂ සේනාධිපතියා අතර ඇති වූ දූ කෙළියෙන් පූර්ණක ජයග්‍රහණය කළේ ය. ඔහු සතුටට අත්පොළසන් දුන්නේ ය. එම අත්පොළසන් නාදය මුළු දඹදිව පුරා පැතිර ගියේ ය.

කාශ්‍යප බුදුරදුන්ගේ කාලයේ දී දුසිල්වත් භික්ෂු භික්ෂුණීන් හා උපාසක උපාසිකාවන් නිසා සසුන විනාශයට පත්වීගෙන ගියේ ය. එම අවස්ථාවේදී ශක්‍ර දේවේන්ද්‍රයා විසින් විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා ලවා සුනඛයෙකු මැව්වේ ය. සුනඛයා දුසිල්වතුන් සියලු දෙනාම සපා කා මරණයට පත් කරන බවට කළ ප්‍රකාශය මුළු දඹදිව පුරා පැතිර ගියේ ය.