Print this Article


ශ්‍රී දළදා පුරාණය - 20 : අතිපූජනීය වූ දළදා වහන්සේ උදෙසා පවත්වනු ලැබූ විශේෂිත පුදපූජා

අතිපූජනීය වූ දළදා වහන්සේ උදෙසා පවත්වනු ලැබූ විශේෂිත පුදපූජා

පළමු විමලධර්මසූරිය රජතුමා රන් ආලේපිත දළදා කරඬුවක් නිර්මාණය කර ඒ තුළ දළදා වහන්සේ තැන්පත් කර ලක්වැසියනට දළදා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා දළදා ප්‍රදර්ශන කටයුතු සිදුකර ඇත. සිංහල රාජවංශයේ අවසන් සිංහල රජතුමා බවට පත්වූ වීර පරාක්‍රමබාහු නරේන්ද්‍රසිංහ රජතුමාගේ අභාවයෙන් පසු නායක්කාර වංශිකයන් ලංකාව තුළ රාජ්‍යත්වය ලබාගෙන ඇත. පළමු නායක්කාර කුමාරයා ශ්‍රී විජයරාජසිංහ නමින් උඩරට රාජධානියට පත් විය.

අනතුරුව දළදා වහන්සේ ළඟ තබාගන්නා පුද්ගලයා රටේ රජතුමා යන නාමයෙන් අතීතයේ සිට පැවතෙන නිසා ම දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා කළයුතු පුද සත්කාර සිදුකර ඇත. ඒ සඳහා වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ සහයෝගයත් හිමි වීය. බුදුදහම වැළඳගත් ශ්‍රී විජය රාජසිංහ රජතුමා දළදා පූජා ආගමික කටයුතුවලට ප්‍රමුඛස්ථානය ලබාදී රාජ්‍ය පාලනය ගෙන ගිය බව සඳහන් වේ. දිනක් කරඬුව විවෘත කරන අවස්ථාවේ දී උන්වහන්සේ තුළ පැවති ප්‍රාතිහාර්යය දැක ප්‍රීතියට පත් එතුමා තම දරුවන් සමඟ විශාල උත්සවයක් පවත්වා, වර්ෂ ගණනාවකට පසුව දළදා වහන්සේ මහ ජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කර ඇත. කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ්‍ය සමයේ මහනුවර රාජධානිය ඉංග්‍රීසීන් අතට පත්වීමට පෙර අවසන් වරට මහජන ප්‍රදර්ශනයක් හා ගෞරවයක් දක්වා ඇත්තේ එම අවස්ථාවයි. 1818 දී ඌව කැරැල්ල ආදී කොට ඇති කැරැලි උත්සන්න වූ අවස්ථාවේ දී, වාරියපොළ ශ්‍රී සුමංගල අනු නා හිමිපාණන් වහන්සේ දළදා වහන්සේ සඟවාගෙන හේවායන් දෙදෙනෙකු සමඟ වනගත ව දළදා හාමුදුරුවන් වහන්සේ ආරක්ෂා කළ ආකාරය ඉතිහාස තොරතුරු දළදා පුවත වැනි ග්‍රන්ථයන් හි සඳහන් වේ. අනතුරුව කැප්පෙටිපොළ නිලමේතුමන්ගේ අනුග්‍රහය ඇති ව හඟුරන්කෙතදී යුද බිමට රැස්ව සිටි පිරිස අමතා දළදා වහන්සේ වැඩම කර ඇති බව දන්වා රැස්ව සිටි සියලු දෙනාට වන්දනා කිරීම සඳහා දළදා ප්‍රදර්ශනයක් පවත්වා යුදමය කටයුතු සඳහා පිටත්ව ගිය සේනාවට ආශිර්වාදය කර ඇත. එම සටන පරාජයට පත්වුව ද , නිදහස්් සටන කෙරෙහි ජනතාව එක්රැස්කිරීමට දළදා ප්‍රදර්ශනය පැවැත්වීම බලවත් හේතු සාධකයක් බවට පත්ව ඇත. 1828 ජූනි 18 එඩ්වඩ් ආණ්ඩුකාරවරයාගේ හා දෙහිගම ලොකුබණ්ඩාර නිලමේතුමාගේ කාලයේදී අවසන් වරට දළදා වහන්සේ ධාතු මන්දිරයෙන් පිටතට වැඩමවා මහමළුවේ ප්‍රදර්ශනය කර ඇත. එය දළදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටි ස්ථානයෙන් පිටත ස්ථානයකට වැඩමවා ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව ලෙස සදහන් කළ හැකියි. එම දළදා ප්‍රදර්ශනය අවසානයේ දී මහා වැසි ඇද හැළී ඇළ දොළ පිරී මහා ගංවතුරක් ගැලූ බව සඳහන් වේ. එය “දළදා වතුර” නමින් ඉතිහාසයෙහි සඳහන් ය. අනතුරුව ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර ක්‍රි. වර්ෂ 1925 ජනවාරි 1 වෙනිදා සිට 31 දක්වා කාල සීමාව තුළ දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. මාසයක පමණ කාලයක් පැවැත්වූ එම දළදා ප්‍රදර්ශනයේ දී බොහෝ සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණි බව ද සඳහන්ව ඇත.

ඉංග්‍රීසි පාලනයෙන් පසු සුවිශේෂී අවස්ථා කිහිපයකදී ම දළදා ප්‍රදර්ශනයන් පවත්වා ඇත. විශේෂයෙන් ම 1982 පෙබරවාරි 7 වෙනිදින සිට 14 වෙනිදා දක්වා මහජන ප්‍රදර්ශනය සඳහාත් ,1992 ජූලි 8 වන දින සිට ලෝක බෞද්ධ සම්මේලනයේ නියෝජිතයන් සඳහාත්, 1991 මාර්තු 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා මහජනතාව උදෙසාත්, 1995 පෙබරවාරි 27 සිට මාර්තු 12 දක්වාත් දළදා ප්‍රදර්ශනයන් පවත්වා ඇත. සියම් දේශයේ සිට වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ සියම් උපසම්පදාව ලංකාවට ගෙනවිත් වර්ෂ 250ක් සපිරීම නිමිත්තෙන් 2004 වර්ෂයේ අප්‍රේල් 17 සිට මැයි 1 වෙනිදා දක්වා විශේෂිත දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූ බව සදහන් වේ. ඉන් අනතුරව 2006 වර්ෂයේදී අගෝස්තු 12 වෙනිදා දින ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයට සහභාගිවූවන් සදහාත් දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. වසර හතරකට පසුව වර්තමාන දියවඩන නිලමේතුමන් වන ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මැතිතුමා විසින් සමස්ත ලෝකවාසිී බෞද්ධ ජනතාව උදෙසා 2009 මාර්තුª 6 වන දින සිට දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. මේ කාල වකවානුව තුළ ලංකාවේ අවසන් යුද සමය නිසා නියම කරගත් දින කිහිපය තුළ පැවැත්වීමට අවකාශ ලැබී නැත. ඉන් අනතුරුව 2009 නොවැම්බර් මාස 13 වෙනිදා දින මියන්මාර ජනාධිපතිතුමන් ඇතුළු පිරිස ලංකාවට පැමිණීම සිහිපත් කරමින් දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. අනතුරුව 14 වන අන්තර්ජාතික වෙසක් දින උත්සවය ලංකාවේ පැවැති අවස්ථාවෙදී විදේශීය දූත පිරිස උදෙසා 2017 මැයි 14 වන දිනය ප්‍රදර්ශන කටයුතු සිදුකර ඇත. ඉන් අනතුරුව නේපාල ජනාධිපතිතුමා තායිලන්ත අගමැතිතුමිය ආදී කොට අති විශේෂිත දූත පිරිස් ලංකාවට පැමිණි අවස්ථාවලදී දළදා හාමුදුරුවන් වහන්සේ ප්‍රදර්ශනය කර ඇත. එම අවස්ථාවන්වලදී විශේෂයෙන් ලංකාවාසී කිහිප දෙනෙකුට පමණක් එම අවස්ථාව හිමිවී ඇත. දළදා ප්‍රදර්ශනය අතීතයේ සිට මේ ආකාරයට ප්‍රදර්ශන කටයුතු සිදුකර තිබේ. සුවිශේෂිත වූ පුද්ගලයන් ලංකාවට පැමිණි අවස්ථාවන් තුළ දී දළදා වහන්සේ දැකබලා ගැනීම සඳහාත්, ඒ වගේම රටේ පැවතුන නියඟ කාලවල රටට නිසි කලට වැසි ප්‍රාර්ථනා කරමින්, සියලුම දෙනාට සෞභාග්‍ය සමෘද්ධිය සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඉහත සඳහන් ආකාරයට දළදා ප්‍රදර්ශන පැවැත්වූ බව ඉතිහාසය තුළ සඳහන් වේ.


ශ්‍රී දළදා පුරාණය - 19: අතිපූජනීය වූ දළදා වහන්සේ උදෙසා පවත්වනු ලැබූ විශේෂිත පුදපූජා