Print this Article


අද වැඩ සිටින සාමණේර ස්වාමීන් වහන්සේලා අනාගත ශාසනභාරධාරී මහතෙරුන් වෙනවා

අද වැඩ සිටින සාමණේර ස්වාමීන් වහන්සේලා අනාගත ශාසනභාරධාරී මහතෙරුන් වෙනවා

සාමණේර භික්ෂූන් වහන්සේලාගේ භික්ෂු ආකල්ප වර්ධනය කිරීමේ වැඩසටහනක්

කුඩා වයසේ දී ම, මහත් වූ ද, කුඩා වූ ද, භෝග සම්පත්, නෑසියන්, මව්පියන් අතහැර කසාවත දරාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ අරිඅටඟි මඟ ගමන් කරන පුණ්‍යවන්තයෝ අද ද අප අතර සිටිති.

එවැනි පින්වත් සාමණේර ස්වාමින් වහන්සේලා හයසියය නමකට (600) පසුගිය 01 වැනිදා (ලෝක ළමා දිනය) තම ජීවිතයට තවත් අපූරු අත්දැකීමක් එකතු කර ගැනීමට ඉඩ හසර ලැබුණි. ඒ අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනා භාවනා අසපුවේ දී ය.

මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක සෙන්තුල් බෞද්ධ විහාරාධිපති ථෙරවාදී බෞද්ධ කවුන්සලයේ අනුශාසක බූටෑවත්තේ සරණංකර නා හිමියන්ගේ මුල්‍ය දායකත්වයෙන්, පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා මත සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් විජිත වෙලගෙදර මහතාගේ උපදෙස් පරිදි, උතුරුමැද සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක මැදිරිගිරියේ විනීත හිමියන්ගේ මඟ පෙන්වීමෙන් අනුරාධපුර, වවුනියා, මුලතිව් දිස්ත්‍රික් කෘත්‍යාධිකාරි පරිවෙනාධිපති සංගමයේ ප්‍රධාන ලේඛකාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ නුවරගම් පළාතේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මැණික්හින්නේ ධීරානන්ද නා හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් එම පින්කම පැවැත්වුණි.

අනුරාධපුර, වව්නියා, මුලතිව් පොළොන්නරු දිස්ත්‍රික් හි පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ භික්ෂු ආකල්ප පුහුණු වැඩසටහනක් සිදු කිරීම හා ඊට සමගාමී ව පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීම සඳහා මිලියන දෙකක් පමණ වැයකොට පිරිවෙන් දහම් පොත් කට්ටල පූජා කිරීම ද එදින සිදුවුණි. එම පින්කම ලෝක ළමා දිනයේ දී යොදා ගැනීමට ද හේතුවක් තිබුණා. එදිනට අප දරුවන් ගැන විශාල ලෙස කතා කරනවා. නමුත් කුඩා කාලයේ දී ම උතුම් පැවිදි බවට පත්ව විහාරස්ථානවල නැවතී දහම් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමින් වහන්සේලා අප රටේ විශාල ප්‍රමාණයක් වැඩ සිටිනවා. උන්වහන්සේලා ගැන විශේෂ අවධානයක් එදිනට යොමු වන්නේ නැහැ. ළමයින් වෙනුවෙන් විවිධ වැඩසටහන් එදිනට පැවතියත්, පිරිවෙන්වල කුඩා සාමණේරයන් වහන්සේලාට අනුලෝම වන ආකාරයට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වීමක් ද බොහෝවිට දකින්නට නැහැ.

ඒ වගේම වර්තමාන සමාජය විශාල වශයෙන් පිරිහී යමින් තිබෙන බවක් ඇතැම් විට දකින්නට ලැබෙනවා. සාමණේරයන් වහන්සේ නමකට තමාගේ ජීවිතයේ ශාසනානුලෝමක ව රැඳෙනවා කියන එක අභියෝගයක් වෙලා. ඒ අභියෝගයට මුහුණ දෙන ආකාරයට ධර්මානුකූලව උන්වහන්සේලා බල ගැන්වීමයි මෙම වැඩසටහනේ මූලික අරමුණ වුණේ.

බුද්ධ ශාසනය අනාගතයේ දී භාරගන්න සිටින්නේ අද සිටින සාමණේර ජීවිතයක් ගත කරන මේ පුංචි ස්වාමින් වහන්සේලා යි. උන්වහන්සේලාට ශාසනානුලෝමක ව පැවිදි ජීවිතය රැක ගැනීම සම්බන්ධ ව ඔවදන් ලබාදීම සහ ශ්‍රමණ ආකල්ප දියුණු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වු බව මහමෙවුනා අසපුවාසී අළුදෙණියේ සුබෝධි හිමියෝ පැවසූහ.

සාමණේර හිමිවරුන් අමතමින් මැණික්හින්නේ ධීරානන්ද නා හිමියන් ද, බූටෑවත්තේ සරණංකර නා හිමියන් ද, අනුශාසනා කළ අතර, මහමෙවුනා අසපුවාසි වැලිමඩ සද්ධාසීල හිමියන් විසින් චීවරය දරා ගැනීම අතිශයින් ම දුර්ලභ බවත්, ඒ චීවරය තුළ ආරක්ෂා වීම ඊටත් වඩා දුර්ලභ බවත්, එනිසා වත් පිළිවෙත් පුරමින් ගුරු ගෞරවයෙන් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේට කීකරු ශ්‍රමණ වත් පුරන ආකාරය පිළිබඳ ව විශේෂ දේශනයක් ද සිදු කළහ.