Print this Article


සුගති ගමන 29: භව ගමනේ විඳි දුක අපමණ ය

සුගති ගමන 29:

භව ගමනේ විඳි දුක අපමණ ය

පින්වත් තිංසවග්ගිය කුමාරවරු තිස් දෙනාට ම බුදුන් වහන්සේ ශ්‍රී හස්තය දිගු කර ‘ මෙහි එන්න මහණෙනි, මේ ධර්මය ස්වාක්ඛාත යි. මනාකොට දේශනා කර තිබෙන්නේ. සසුන් බඹ සර හැසිරෙන්නැ’යි ශ්‍රී හස්තය දිගු කරද්දී ම කෙස්, රැවුල් ඉවත් ව ඇඳ සිටි රාජකීය සළු පිළි අතුරුදන් ව, ඒ මොහොතේ ම භික්ෂූන් වහන්සේලා සිවුරු පාත්‍ර දරාගෙන බුදුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. බුදු කෙනෙකුට පමණක් කළ හැකි පැවිද්දක් වන එය ‘ඒහි භික්ඛු’ පැවිදි උපසම්පදාව යනුවෙන් ඍද්ධිමය පැවිද්දක් ලබා දුන්නා. එදා බුදුන් වහන්සේ තිස් දෙනාටම ධර්මය අවබෝධ කර, උරුවෙල් දනව්වට වැඩම කළා.

මේ තිස් දෙනාම ප්‍රදේශයේ බණ භාවනා කරමින්, හොඳට සිත වඩමින් කාලයක් ගත කළා. මෙලෙස අවුරුදු විස්සක තරම් කාලයක් ගෙවී ගිය ද මේ අය කිසිවෙකුට ඉතිරි මාර්ග ඵල අවබෝධ කරගෙන රහත් වන්නට බැරි වුණා. නමුත්, මේ ස්වාමීන් වහන්සේලා හොඳින් සිල් ගුණ දහම් දියුණු කරගෙන, ධර්මය දියුණු කරගෙන ආරාමයක වැඩ සිටියා. බුදුන් වහන්සේ ඒ කාලය වෙද්දී සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියා. දැන් මේ අයට ධර්ම දේශනා කර අවුරුදු විස්සක තරම් කාලයක් ගත වුණා. වස් කාලයට දින ළඟා වෙද්දී තිස් නමක් වූ ස්වාමීන් වහන්සේලා කල්පනා කළා, අප දැන් පැවිදි ව බොහෝ කාලයක් ගත වුණා. අපට බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයකින් දකින්න බැරි වුණා. උන්වහන්සේ මේ දිනවල සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිනවා ලු. අප තිස් දෙනා ම උන් වහන්සේ බැහැ දැක, උන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාමයේ ම වස් කාලය ගත කරමු ‘යි කථිකා කර ගෙන ගමන ඇරැඹුවා. හැබැයි, මේ ගමනේ නොයෙකුත් බාධා ඇතිවී, වස් කාලය එද්දී වැඩම කරන්නට නො හැකි වුණා. මේ භික්ෂූ පිරිසට වැඩම කරන්න පුළුවන් වුණේ සාකේත නුවරට යි. ඒ නිසා සැවැත් නුවරට යොදුන් ගණනාවක් තිබිය දී මඟ දී උදා වූ වස් කාලයේ වස් සමාදන් වුණා. මේ නිසා ස්වාමීන් වහන්සේ තිස් නම ම සැවැත් නුවරට නොබෝ දුරකින් පිහිටි ප්‍රදේශයක වස් කාලය ගත කළා. වස් මාස තුන අවසන් ව, මේ තිස් නම ම වස් පවාරණය කර බුදුන් වහන්සේ වැඩ සිටින සැවැත්නුවර ජේතවනයට පිටත් වුණා. මේ එන ගමනේ දී මාස තුනක් මහා විශාල ධාරානිපාත වර්ෂා ඇද හැලී, කැඩී බිදිලා, අශ්ව කරත්ත, ගොනුන් බැඳි කරත්ත ආදියෙන් ද සතුන් පාරේ එහා මෙහා ගිහින්, විශාල වලවල් හෑරී තිබුණා. මේ එන මඟ ස්වාමීන් වහන්සේ තිස් නම අතුරින් සමහරු මඩ මත ඇද වැටුණා, සමහරුන්ගේ සිවුරු ඉරී ගියා, වැඩම කරන ගමනේ ස්වාමීන් වහන්සේ අත රැඳි මැටි පාත්‍ර වැටී සුණු විසුණු විී ගිහින්, තුවාල ව ගිය ස්වාමීන් වහන්සේලා සිරුරේ මඩ තවරාගෙන, නොයෙක් අපහසුතා මධ්‍යයේ තිස්නමක් භික්ෂූන් වහන්සේ බුදුන් වහන්සේ වන්දනා මාන කරන්න වැඩම කළා.

මේ මොහොතේ බුදුන් වහන්සේ වැඩ සිටියේ දම්සභා මණ්ඩපයෙයි. බොහෝ ගමන් වෙහෙස , තුවාල වේදනාව, මේවා දරාගෙන වැඩම කළත්, බුදුන් වහන්සේ දකින විට ම සිතේ ඇතිවුණු ශ්‍රද්ධාවෙන් සිරිපතුල් වන්දනා මාන කර එකත් පසකින් වාඩි වී මෙලෙස පැවසුවා. ‘බලන්න, භාග්‍යවත් බුදු පියාණන් වහන්ස, අප තථාගතයන් වහන්සේ දකින්න බොහොම ශ්‍රද්ධාවෙන්, පිටත් වෙලා වැඩම කළා. හැබැයි, වස් කාලය ළඟා වෙද්දී සැවැත් නුවරට වැඩම කරන්න බැරි වුණා. මඟ ඇතිවුණු කරදර , අපහසුතා නිසා සාකේත නුවරට එද්දී වස් එළඹෙන දිනය උදා වුණා. ඒ නිසා අප වස් මාස තුන සාකේත නුවර ගත කර, පිටත් වුණේ බොහොම ශ්‍රද්ධාවෙන්, තථාගතයන් වහන්සේ දකින්න. නමුත් එන ගමනේ දී පාර මඩවෙලා, ඒ මත ඇද වැටුණා. මේ බලන්න, ස්වාමීනී, අපේ ශරීර දෙස, මඩ තැවරී අපේ සිවුරු ඉරුණා, මෙලෙස බුදුන් වහන්සේ ඉදිරියේ තමන් විඳි අපහසුතා ගැන තිස් නමක් ස්වාමීන් වහන්සේ පවසා සිටියා.

එදා බුදුන් වහන්සේ මේ තිස් නමක් ස්වාමීන් වහන්සේලාට, අනවතග්ඝ සංයුක්තයේ සඳහන් වන ‘සංසාරයේ භයානක බව ගැන’ දේශනා කර වදාළා. ‘මහණෙනි, වැඩම කළ ගමන දුකක් කියා සිතන්න එපා, මේ දීර්ඝ සංසාර ගමනේ විඳි දුක දිහා බලන්න. මේ දීර්ඝ සංසාර ගමනේ ධර්මය අවබෝධ නො කිරීම නිසා, නිරයන්හි වැටී , තිරිසන් ලෝකවල, පේ‍්‍රත ලෝකවල, පැමිණි ගමන් මඟෙහි දුක මේ විඳි දුකත් සමඟ බලන කල ඉතා ම සුළු අල්ප මාත්‍ර දුකක්. මෙලෙස පෙර සංසාරේ ගමනේ ස්වභාවය මතු කරමින්, බුදුන් වහන්සේ දහම් දෙසා, චතුරාර්ය සත්‍ය ගැන සාමුක්ඛංසික දේශනාවක් වදාළා.