Print this Article


කඨින පින්කම්

කඨින පින්කම්

බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ඓතිහාසික පුරාණ ගෝතමී විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජාව විහාරාධිපති, තෙල්වත්තේ නාගිත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා මෙවර කඨින පින්කමේ ප්‍රධානත්වය දරණ මහින්ද ගලගෙදර දම්පතින්ගේ මූලිකත්වයෙන් හා කප්පියකාරක දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 02 – 03 යන දෙදින තුළ පැවැත්වේ.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි කඨින පූජෝත්සවය නොවැම්බර් 03 සහ 04 දෙදින තුළ පැවැත්වේ. 03 වෙනි දා රාත්‍රී 9.00 ට මහපිරිත් දේශනය ආරම්භ වෙයි. 04 වෙනි ඉරිදා උදෑසන 6.00 ට කඨින චීවර පූජාව සිදු කෙරෙන අතර එදින දවල් සියක් නමක් විෂයෙහි සඟසතු මහාදානය පිරිනැමේ. එදින රාත්‍රී 7.00 කඨිනානිසංස ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසිනි. මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය බත්තරමුල්ල ධම්මෝදය මාවතේ පදිංචි උත්පල සුමිත්‍රආරච්චි මහතා සහ එම මහත්මිය විසිනි.

සංකල්ප විහාරයේ වස්සාන ධර්මදේශනා

පිළියන්දල, මාකන්දන, සංකල්ප විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කමට සමගාමීව පැවැත්වෙන වස්සාන ධර්ම දේශනා මාලාව නොවැම්බර් 05 සිට 16 දක්වා පැවැත්වේ.

නොවැම්බර් 05 වන දා ගොම්බද්දල දමිත හිමි, 06 වන දා පුහුල්වැල්ලේ විනයසිරි හිමි, 07 වන දා තල්ගමුවේ සුධිරානන්ද හිමි, 08 වන දා මකුරුප්පේ සෝමාලංකාර හිමි, 09 වන දා වෙන්නවත්තේ රතනජෝති හිමි, 10 වන දා කැස්බෑවේ පඤ්ඤානන්ද හිමි, 11 වන දා බැරගම ඤාණසිරි හිමි, 12 වන දා මොරගොල්ලේ සුමනජෝති හිමි, 13 වන දා කොරතොට වෙස්සභු හිමි, 14 වන දා උඩුවේ ධම්මාලෝක හිමි, 15 වන දා කොළොන්නාවේ සුමංගල මහා නා හිමි එම දම් දෙසුම් පවත්වති.

මෙයට සමගාමීව නොවැම්බර් 03 දා 100 වෙනි බෝධිපූජා පින්කම පැවැත්වෙන අතර නොවැම්බර් 04 මහරගම පදුම හිමියන් මෙහෙයවන සත්බුදු වන්දනාව ද නොවැම්බර් 17 කඨින චීවර පෙරහරත් 18 වන දා දවල් 50 නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවත් පැවැත්වේ. 18 රාත්‍රී 7.00 ට කඨිනානිශංස දේශනාව රාජාංගනයේ අනුරුද්ධ හිමියන් විසිනි, විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව හා විහාරස්ථ සංවිධාන ජාලය එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.

උතුරු කළුතර සුමිත්‍රාරාමය

කළුතර උතුර සුමිත්‍රාරාමයේ කඨින පින්කම චන්දානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. මෙම 27 වනදා පස්වරු 5.00 අටවිසි ගිලන්පස රැගත් මල්පෙරහර දායක සභාවේ හිටපු උප සභාපති ඩබ්.විජේසිරි මහතාගේ නිවසින් පිටත්ව පස්වරු 6 ට අටවිසි බෝධී පූජාව ද 9.30 සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද , 28 වනදා අළුයම 2.30 ට ජී.මල්ලිකා ද සිල්වා මහත්මියගේ නිවසින් කඨින චීවරය පෙරටුකොටගත් පෙරහර වීථි සංචාරය කිරීම ද, පෙරවරු 6.30 කඨින චීවරය ප්‍රමුඛ මහා සංඝගත දක්ෂිණාව සඟ සතු කොට පූජා කිරීම ද ,පස්වරු 7.00 කඨිනානිසංස ධර්ම දේශනය ආචාර්ය පරගොඩ විමලවංශ නාහිමියන් විසින් පවත්වනු ලැබේ.

පෙරගිරිගම

කතරගම පෙරගිරිගම බෞද්ධාශ්‍රමයේ මෙවර වස් ආරාධනය කතරගම රෝහල අසල පදිංචි අයිරින් සෙනෙවිරත්න මහත්මිය සිදු කළ අතර විහාරාධිපති රූමස්සල නාහිමි, කැබැතිගොල්ලෑවේ අස්සජි හිමි සහ කැරගල යසසිරි හිමිවරු වස් විසූහ. මෙම 23 වනදා රාත්‍රි ගිලන්පස පූජාව තිස්සමහාරාමයේ සුචින්තා සිල් මෑණියන් විසිනි. පෙරගිරිගම ධර්මදාස විජේමාන්න මහතාගේ දායකත්වයෙන් 24 රාත්‍රී ගිලන්පස පූජාවද එල්.ජී.ගයාල් මහතාගේ දායකත්වයෙන් 25 රාත්‍රී ගිලන්පස පූජාව ද එම්.එම්.රංග මහතාගේ දායකත්වයෙන් මෙදින රාත්‍රී විශේෂ ධර්ම දේශනය අහංගම තිලකසිරි හිමියන් විසින්ද 26 දින දවල් දානය හා කඨින පූජාවද සිදුකෙරේ.

මීරිගම විද්‍යාවාස පිරිවෙනේ කඨින පින්කම හා ගුණ සමරු පින්කම්

මීරිගම. මිණිඔලුව , විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයෙහි

133 වන වරටත් සිදුකරනු ලබන කඨින මහා පූජෝත්සවය හා විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයෙහි, විහාරාධිපති හා පරිවේණාධිපති ධුරයන් හොබවා අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත නිතලව ශ්‍රී ඤාණේශ්වර නාහිමි, ත්‍රිපිටකාචර්ය, පිදුමේ රතන නාහිමි, ත්‍රිපිටකාචාර්ය නුගදෙනියේ ධම්මානන්ද නාහිමි, ත්‍රිපිටකවේදී මකුලෑවේ විජය හිමි යන ස්වාමීන් වහන්සේලාගේ ගුණානුස්මරණ පින්කම් ද මකුලෑවේ විමල නාහිමියන් ගේ අනුශාසනා පරිදි මෙම මස 24,25 යන දිනයන්හි විද්‍යාවාස පිරිවෙනේ දී පැවැත්වේ.

25 වනදා අලුයම 3.30 ට පමණ කඨින වස්ත්‍රය පෙරහර නුගදෙණියේ එච්.පී.නිමල් පේමසිරි මහතාගේ නිවසේ සිට පිටත්ව උදේ 6.00 ට පමණ විහාරස්ථානයට පැමිණ නුගදෙණිය දායක දායිකාවන්ගේ මූලිකත්වයෙන් කඨින වස්ත්‍රය මහා සංඝරත්නය වෙත පූජා කිරීම ද එදින පෙරවරු 10.30 ට පමණ බුද්ධ පූජාව පැවැත්වීම ද 11.00 ට හැත්තෑපස් (75) නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාව පැවැත්වීම ද සිදුකෙරේ.

කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානය

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ (ශාන්ති පදනම) 33 වෙනි වාර්ෂික කඨින පින්කම, විහාරාධිපති කොටපොල අමරකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 23 සිට ඔක්තෝබර් 27 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. 23, 24, 25 යන දිනවල සවස 5.00 – 6.00 දක්වා පිළිවෙලින් කුකුල්පනේ සුදස්සි හිමි, මඩිහේ සුගතසිරි හිමි, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි යන ස්වාමීන් වහන්සේලා දම් දෙසුම පවත්වති. සවස 6.30 – 7.30 සෑම දිනකම බෝධි පූජා පින්කම් මාලාවක් ද 26 දා රාත්‍රී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද 27 දා උදේ 6.30 ට කඨින චීවර පූජාව සහිත සංඝගත දක්ෂිණාව පැවැත්වේ.

මෙවර කඨින පුණ්‍යොත්සවයේ දායකත්වය, කොළඹ හෝට්න් පෙදෙසේ හෂානිනොලීකා කුලසේන, කිෂාන් යසිත කුලසේන, හෂාන් සංජය කුලසේන යන මහත්ම මහත්මීන් විසිනි. පින්කමේ සංවිධාන කටයුතු ශාන්ති පදනම ප්‍රාදේශීය ශාඛා, ශිෂ්‍යත්ව කමිටු, ශ්‍රී සුමේධංකර දහම් පාසල, පි‍්‍රමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික ආයතනය සහ ශ්‍රී සුමේධංකර කාන්තා සමිතිය මඟින් සිදුකරනු ලැබේ.

රූමස්සල

ගාල්ලේ රූමස්සල ශ්‍රී සමුද්‍රගිරි විහාරාධිකාරි පිරිවෙන් කෘත්‍යාධිකාරි කෑගල්ලේ උදිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය වෙත, මුල්ලේගම එල්.ජයවර්ධන මහත්මිය සහ එම ඤාති පිරිසගේ ආරාධනයෙන් වස්වසා 44 වෙනි කඨින මහා පින්කම නොවැම්බර් 03 දින රාත්‍රී පිරිත් දේශනයෙන් අනතුරුව 4 දින දවල් ශතාධික මහා සංඝ රත්නය විෂයෙහි කඨින පූජාව සිදු කෙරේ.

යටලමත්ත

ගාල්ල යටලමත්ත ශ්‍රී සුමංගලාරාමයෙහි මෙවර කඨින චීවර පෙරහර ජගත් මැදදුව මහතාගේ මූලිකත්වයෙක් සතර පේරුවේ දායක දායිකාවන්ගේ ද සහායෙන් මෙම මස 26 දා රාත්‍රී වීථි සංචාරය කෙරේ. පසුවදා 27 දා උදේ දානය සහිත කඨින චීවරය මහා සංඝරත්නයට පූජා කෙරේ.

කොටගල පබ්බතාරාමය

කොටගල පබ්බතාරාම පුරාණ විහාරස්ථානයේ කඨින චීවර පින්කම මේ මස 26,27 දිනයන්හි සිදුකිරීමට විහාරස්ථදායක සභාව, කුලඟන සමිතිය සහ සාරිපුත්‍ර දහම් පාසල කටයුතු යොදා ඇත. 26 වෙනිදා අටවිසි බුද්ධ පූජාව සහ බෝධි පූජාව කප්රුක් පූජාවද 27 වෙනිදින කඨින චීවර පූජාව සිදු කෙරේ. එදින දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වේ.

මරදානේ ශ්‍රී මහින්දාරාමය

කොළඹ 10, මරදාන ශ්‍රී මහින්දාරාමයෙහි වාර්ෂික කඨින මහා පින්කම නොවැම්බර් මස 02 සහ 03 වෙනි දිනවලදී සිදු කෙරේ. මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය ප්‍රෑන්ක් වික්ප්‍රෙට් මහතා සහ ලීලානි වික්ප්‍රෙට් මහත්මිය හා දරු පිරිස ඥාති හිතමිත්‍රාදීන් ඇතුලු විහාරස්ථානයේ දායක පින්වතුන්ගේ සහභාගිත්වයෙනි. 2 වනදා රාත්‍රී 8.00 ට ගිලන්පස බුද්ධ පූජාව රාත්‍රී 8.30 ට මහ පිරිත් දේශනය, අලුයම 4.00 ට කඨින චීවරය රැගත් පෙරහර කොළඹ 10 ,ආනන්ද රාජකරුණා මාවතේ, අංක 92/2 දරණ නිවසින් පිටත් වේ. උදේ 6.00 ට කඨින වස්ත්‍රය හා පරිෂ්කාර සහිත කප්රුක මහා සංඝරත්නය වෙත පූජා කිරීම, උදේ 7.00 ට මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිරිනැමීම සහ දවල් 11.00 ට ආහාර බුද්ධ පූජාව, දවල් 11.30 ට මහා සංඝරත්නය විෂයෙහි දාවල සංඝගත දක්ෂිණාව පැවැත්වෙන අතර සවස 5 සිට 6 කඨිනානිසංස ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත. කරපුටුගල රේවත හිමියන් විසිනි. ජිනරතනාධිපති මාපලාවේ ධම්මාලෝක නා හිමියන් ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

රත්මලානේ මල්ලිකාරාමය

රත්මලාන මල්ලිකාරාමයේ කඨින පින්කම විහාරාධිපති රාජකීය පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර හිිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 26 - 27 දිනවලදී සිදුකෙරේ. 26 වනදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද 27 අළුයම කඨින චීවර පෙරහර ආරම්භ කෙරෙන අතර මෙවර පින්කමේ දායකත්වය අශෝක ගුණරත්න, ලලනි ගුණවර්ධන දම්පතීන් , සිසිල් ගුණවර්ධන, ජයන්ත ගුණවර්ධන , ගීතා ගුණවර්ධන , පද්මා ගුණවර්ධන හා හේමාලි ගුණවර්ධන දම්පතීන් ඇතුළු සැම දෙනා වෙතිනි.

කොහුවල ධාතුමළු විහාරය

කොහුවල ධාතුමළු විහාරයේ කඨින පින්කම නිමිත්තෙන් දිනපතා දම් දෙසුම් මාලාවක් පැවැත්වෙන අතර 24 වනදා මීගොඩ සුඛිත හිමි 25 වනදා කඹුරුගමුවේ මහානාග හිමි 26 වනදා අලුත්වැවේ සමිත හිමි 27 වනදා මහඔය අනුරුද්ධ හිමි 28 වනදා රජවත්තේ වප්ප හිමි 29 වනදා වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි, 30 වනදා සමන්එළියේ පියදස්සි හිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.

පිටිගල සෝණුත්තර හිමියන්ගේ අනුශාසනා පරිදි ඉල් පොහෝදා කඨින පින්කම යූ.බී.රත්නායක, ඤාණවතී ඒකනායක සහ දූ දරුවන්ගේ ප්‍රධාන දායකත්වයෙන් සිදු කෙරේ.

අනුරාධපුර සිරි සඟබෝ භාවනා මධ්‍යස්ථානය

අනුරාධපුර ඉසුරුමුණිය පාරේ සිරි සඟබෝ භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම මෙම මස 24 - 25 දිනවල දී සිදු කෙරේ. අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමියන්ගේ අනුශාසනා පරිදි ඩබ්.ඒ.එන්. කේ.විජේනායක මහතා සහ ශාස්ත්‍රපති රේණුකා දමයන්ති මහත්මිය ඇතුළු පුතුන් දෙදෙනා සහ පවුලේ ඥාති මිතාදීන්ගේ දායකත්යෙන් එම පින්කම සිදු කෙරේ.

ඇලයාපත්තුව සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය

ඇලයාපත්තුව සිරි සම්බුද්ධ පංච සතික ශ්‍රාවක චාරිකාරාමයේ කඨින පින්කම අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 26 - 27 දිනවල දී සිදු කෙරේ. මෙවර එම පින්කම පුසියන්කුලම මහා විද්‍යාලයේ ආචාරිනී දීපානි තෙන්නකෝන් මහත්මිය ඇතුළු ඥාති මිත්‍රාදීන් හා දායක පින්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

නාවල විමල විහාරය

බැරගම විමලධම්ම නාහිමියන්ගේ මෙහෙයවීමෙන් නාවල විමල විහාරයේ 62 වැනි කඨින චීවර පූජාව හා වැරැල්ලානේ විමලතිස්ස නා හිමියන්ගේ 13 වන වර්ෂ පූර්ණ ගුණානුස්මරණය නිමිත්තෙන් නොවැම්බර් 11 වනදා දක්වා ධර්ම දේශනා මාලාවක් පවත්වනු ලැබේ. නොවැම්බර් 10 වනදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද, කඨින පෙරහර නොවැම්බර් 11 වනදා අලුයම 3 ට නාවල පාරේ අංක 475/2 දරනා නිවසේ පදිංචි ඩබ්.ඒ.යමුනි ගනේගම මහත්මිය ඇතුළු දූ දරුවන්ගේ දායකත්වයෙන් එම නිවසෙන් පිටත්වී වීදි සංචාරය කොට පෙරවරු 6.00 ට ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි ඇතුළු මහා සංඝරත්නය විෂයයෙහි කඨින වස්ත්‍ර පූජාව පවත්වනු ලැබේ. නොවැම්බර් 11 වන දා උදෑසන පනස් නමක් (50) විෂයයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.

පින්කම සංවිධානය විමල විහාරස්ථ දායක සභාව, ශ්‍රී ගෝතමී මාතා කුළඟන සමිතිය, විමල විහාරස්ථ ප්‍රඥා ප්‍රදීප දහම් පාසල, දහම් පාසල් ආදි ශිෂ්‍ය සංගමය, විමල විහාර පදනම මගිනි.