Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


පැන විසඳුම්හි ජයග්‍රාහිකාව:

ප්‍රාණඝාතයෙන් වැළකීම

අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින්, උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද බුද්ධ භාෂිතය ධර්ම රත්නය ලෙස හැඳින්වේ. රත්නයක් යනු මැණිකකි. මේ ලෝකයේ කිසිවෙකුටත් මිල කළ නො හැකි රත්න තුනකි. ඒ බුද්ධ රත්නය, ධර්ම රත්නය හා සංඝ රත්නය යි. අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ද, වැඩිහිටියෝ ද බොහෝ කටයුතු ආරම්භ කිරීමට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන්වීම සිදු කරති. ගිහියාගේ නිත්‍ය ශීලය වන්නේ පඤ්ච සීලය යි. පොහෝ දිනට සමාදන් වන්නේ ‘අෂ්ටාංග සීලය හා දස සීලය යි.’ පොහොය දින පෙහෙවස් සමාදන් වන ගිහි පිරිස් පෙර දින හොඳින් ස්නානය කර මනාව පිරිසුදු වෙති. මෙම ශික්ෂා පදවලින් එක් සිල්පදයක් ලෙස ‘පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ යන සීල ශික්ෂා පදය ගත හැකි ය. “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” (මම ප්‍රාණඝාතයෙන් වැළකීම නමැති ශික්ෂා පදය සමාදන් වෙමි.) සියලු ජීවීහු ජීවත් වීමට කැමැත්තෝ ය. මරණයට අකැමැත්තෝ ය. දඬුමුගුරු, අවි ආයුධවලට හිංසනයට පීඩාවට බිය වෙති. එවැනි සතකු ඝාතනය කිරීම හෙවත් ප්‍රාණය නිරුද්ධ කිරීම මෙලොව පරලොව දෙලොවට ම දුක් ගෙන එන්නේ ය. ප්‍රාණය යනු ජීවිත ය යි. මනුෂ්‍යයකුගේ හෝ තිරිසන් සතකුගේ හෝ ඇසට පෙනෙන නො පෙනෙන භූතයකුගේ හෝ අන්තිම වශයෙන් උකුණකු, මකුණෙකු හෝ මදුරුවෙකුගේ ද, ජීවිතය නිරුද්ධ කිරීම ප්‍රාණඝාතය යි. එසේම, මව්කුස සිටින සත්ත්වයකුගේ ද බිත්තරයක පිළිසිඳ සිටින සත්ත්වයකුගේද ජීවිතය ස්වභාව ධර්මය අනුව පවතින්නට නො දීම ප්‍රාණඝාතය යි. වෙඩි තැබීම, බෝම්බ ගැසීම, ඇසිඩ් ගැසීම, උගුල්වලට අසු කිරීම, රථවාහනවලට යට කිරීම, ගින්නෙන් දැවීම, වස කැවීම, බිය ගැන්වීම, වරදවා බෙහෙත් දීම,යනාදි යම්කිසි උපක්‍රමයකින් තමා විසින් හෝ අනුන් ලවා හෝ නැති කිරීම හෙවත් සතකු මැරීම, මැරවීම ප්‍රාණඝාතයට අයත් වෙයි. ශීල සමාදානයෙන් පසු මේ කුමන සිදුවීමකින් හෝ සතකුගේ ප්‍රාණය නිරුද්ධ කෙරේ නම්, එයින් මෙම ශික්ෂා පදය බිඳේ.


තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමි

පෙර නො තිබි දෙයක් නිර්මාණය කිරීමේ හැකියාව ප්‍රතිභාව යි. තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියෝ කෝට්ටේ යුගයේ වැඩවිසූ ශ්‍රේෂ්ඨ කවියෙකි. ප්‍රතිභාවයෙන් යුතු උන්වහන්සේගේ විශිෂ්ට කවිත්වය සැළලිහිණි සංදේශය, පරෙවි සංදේශය, ආදි සංදේශ කාව්‍ය තුළින් විදහා දැක් වේ. බොහෝ විශිෂ්ට කෘති රචනා කරන ලද්දේ ද, තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියන් ය. අපවත්වීම පිළිබඳ නිශ්චිත තොරතුරක් නැත. භාෂා හයක් පිළිබඳ ව පරතෙරට ගිය උන්වහන්සේ “ෂඩ් භාෂා පරමේෂ්වර” යන අන්වර්ථ නාමයෙන් ද, හඳුන්වනු ලබති. තොටගමුව විජයබා පිරුවන්පති ව වැඩ විසූ තොටගමුවේ රාහුල මා හිමියෝ දෙස්, විදෙස් ජනයාගේ ගෞරවාදරයට පත් වූ හ.


මෙත්තාව

මෙත්තා හෙවත් මෛත්‍රිය යනු මිතුරුකමයි. සෑම පාලකයකුම තම මිතුරකු සම්බන්ධ ව පවත්නා මිතුරුකමට සමාන හිතවත්කමක් තම රට වැසියන් කෙරෙහි ද, සියලු සත්ත්වයන් කෙරෙහි ද දැක්වීමට යොමු විය යුතු ය. එය කළ හැකි වන්නේ දියුණු කළ සිතිවිලි ඇති අයට පමණි. එබඳු පාලකයන්ගෙන් ජනතාවට ද කිසිදු අගතියක් සිදු නොවේ.


සැමදා දිනේවා –ගුරු මව්පියන් ගරු

යහතින් ජීවමාන ව කල් ගෙවන්නට
දරුවන් රැසක් උගතුන් ලෙස තනන්නට
ඔබ දෙන සහය රට දැය සරසවන්නට
අගයනු පිණිස මා සතු බස මදිය මට

ලස්සන රුවට මුදලට ඔබ බැඳී නැත
හැම දරුවෙක් ම දරුවකු ලෙස දකිනු ඇත
නිසි දඬුවමට නිසි තැන යොමු වුණත් තද
ගුරු මවුපියනි කිසිදා අප තරහ නැත

ඉර හඳ නැකත් තරු නුඹ ගැබ සරණ තුරු
බුදුගුණ කමල හද විල මත පිපෙන තුරු
දළදා සමිඳු සිරිලක් මව රකින තුරු
යහතින් දිනේවා ගුරු මවුපියන් ගරු