Print this Article


අඩ සිය වසක සසුන් දිවිය සපුරන තලල්ලේ මෙත්තානන්ද අනු නා හිමි

අඩ සිය වසක සසුන් දිවිය සපුරන තලල්ලේ මෙත්තානන්ද අනු නා හිමි

 

ශත වර්ෂයකට අධික ඉතිහාසයක් ඇති සද්ධර්මාකර විද්‍යාතන පිරිවෙන පානදුර පින්වත්තෙහි පිහිටි තක්ෂලාවකි. ගිහි පැවිදි විද්‍යාර්ථීන් දහස් ගණනක් බිහිකර මෙම ආයතනය උගත් යතිවරයාණන් වහන්සේගේ නොමඳ ආභාෂයෙන් පෝෂණයට පත් විය. එම නිසා සද්ධර්මාකර පිරිවෙන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පිරිවෙන් අතරට එක් වූයේ මීට අඩ සිය වසකට පෙර ය.

මෙම පිරිවෙනෙහි ශිල්ප ශාස්ත්‍රය හදාරා පණ්ඩිත පින්වත්තේ දේවානන්ද නා හිමියන් යටතේ හා තලල්ලේ ධම්මාලෝක අනු නාහිමියන් යටතේ හැදී වැඩුණු තලල්ලේ මෙත්තානන්ද හිමිපාණන් තුරුණු අවධියේ සිටම ඉතා විනීත, දක්ෂ කීකරු හිමිනමක් ලෙස කා අතරත් ප්‍රසාදයට පත් ව සිටි බව නො රහසකි.

පින්වත්තේ දේවානන්ද නා හිමියන්ගේ අපවත්වීමෙන් පසුව පින්වත්ත සද්ධර්මාකර පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී තනතුරට මෙන් ම විහාරාධිපති තනතුරට ද පත් උන්වහන්සේ ගල්කිස්ස තපෝධනාරාමයෙහි විහාරාධිපති තනතුරට ද පත් වූහ.

තලල්ලේ මෙත්තානන්ද හිමියන් ප්‍රථමයෙන් ම තමාගේ නායකත්වය යටතේ පින්වත්ත පිරිවෙන දියුණුවට පත් කළේ ය. ශ්‍රී ලංකාවේ පිහිට වූ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මණ්ඩප හතරෙන් එකක් පිහිටවනු ලැබුවේ, එම ආයතනයෙහි එමඟින් කාලයක් තිස්සේ ගෙන ගිය ශාස්ත්‍රීය වර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කරනු ලැබී ය. ඒ අනුව පුස්තකාල, ශිෂ්‍ය නිවාස, විද්‍යාගාර, පන්ති කාමර, දේශන ශාලා විහාර මන්දිර සහ රන්වැට සහිත බෝධි ප්‍රාකාරය එහි ගොඩනඟනු ලැබී ය. අද ශ්‍රී ලංකාවේ ඇති ඉතා නවීන විශාල දෙමහල් ලැගුම් ගෙය ද ඇත්තේ මෙම විහාරස්ථානයේ ය.

දකුණු කොරියාවෙහි යොරේ නිකාය හා සමග සහ එහි නායක සොක් ඉන් වන් නා හිමියන් සමග ඇති සබඳතා අනුව සොක් ඉන් වන් පුස්තකාලය ද ගල්කිස්ස තපෝධනාරාම විහාරස්ථානයෙහි සොක් ඉන්වන් භාවනා මධ්‍යස්ථානය ද ඉදිකරනු ලැබී ය. එමඟින් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ආගමික කටයුතු ඉතා සුව පහසුව ඇති ව කරගෙන යෑමට අවස්ථාව සලසනු ලැබී ය.

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායෙහි අනුනායක පදවියට පත්වීම හේතුකොට බෞද්ධ ශාසනයට මහඟු සේවාවක් කර ගැනීමට අවස්ථාවක් ඇති කරගනු ලැබී ය. වරක් බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක පදවිය ද හෙබවූ උන්වහන්සේ කා අතරත් ජනපි‍්‍රයත්වයට පත් විය. ඉතා සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් ලෙස ප්‍රදේශයේ ජනතාවගේ මහත් ගෞරවාදරයට පත් මෙත්තානන්ද නා හිමි නිරතුරුව ප්‍රදේශයේ ගරුතර ස්වාමීන් වහන්සේගේ අධ්‍යාපනය හා මූල්‍ය ප්‍රශ්න විසඳීමට මහත් සේ ප්‍රයත්න දරනු ලැබූහ.

විවිධ සමාජ සේවා කාර්යයන්හි නිරත වූ මෙත්තානන්ද අනු නා හිමියන් විශ්ව විද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩ සටහනක් නිහඬ ව ක්‍රියාත්මක කර ඇත. එසේ ම සුනාමි ව්‍යසන අවධියෙහි විපතට පත් ජනතාවට විදේශ ආධාර ලබාදීමත්, නිවාස තනා ගැනීමට ඉඩම් ලබාදීමත් උන්වහන්සේගෙන් සිදුවිය. මෙම කාර්යයෙහි දී අතිපූජ්‍ය තලල්ලේ ධම්මාලෝක අනු නා හිමියන්ගේ සහායද නොමඳව ලැබුණි. එසේ ම වියළි ආහාර හා රෙදි පිළි මෙන්ම පාවහන් ද, පොත්පත් ද දරුවන්ට ලබාදෙනු ලැබී ය.

සද්ධර්මාකර පිරිවෙන් ආයතනයෙහි ඉතා දිගු කලක සිටම ග්‍රන්ථ ප්‍රකාශනයට ප්‍රමුඛත්වය ලබා දී තිබුණි. මේ සඳහා නොමඳ සහාය හා සංස්කාරකත්වය උන්වහන්සේ විසින් දරනු ලැබී ය. සද්ධර්මාකර අභිමානය, තක්ෂිලාවක අභිමානය, සද්ධර්මාකර සංහිතා, ආකර කඨින පින්කම හා ප්‍රාතිමෝක්ෂය ධර්ම ප්‍රභා වැනි අගනා ශාස්ත්‍රීය ග්‍රන්ථ පළ කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබාදෙනු ලැබී ය.

විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතු රාශියකට උන්වහන්සේ නායකත්වය ලබා දුන් සේක. කොරියාව, ජපානය, චීනය සිංගප්පූරුව, ඉන්දියාව, තායිලන්තය ,හොංකොං, තායිවානය, ඉන්දුනීසියාව, හා මැලේසියාව යන රටවල නිරතුරව ධර්මප්‍රචාරයට වැඩම කරනු ලැබී ය. මෙවැනි බොහෝ රටවලදී පින්වත්ත සද්ධර්මාකර පිරිවෙනේ ආදි ශිෂ්‍ය ගිහි පැවිදි පිරිස මුණ ගැසීමට ලැබුණි. මෙම රටවල මහා නා හිමිවරු ලංකාවට වැඩම කර සබඳතා තර කරගැනීමට හැකි විය. වට්පට්නාට් තායිලන්ත මහ නා හිමි කොරියාවේ සොක් ඉන් නා හිමි, සිංගප්පූරුවේ බෞද්ධ නා හිමිවරුන් මෙරටට වැඩම කළ මහ නාහිමිවරුන් ය. එසේ ම, ජපානයේ විහාරාධිපති හිමිවරුන් රැසක් ම ඇසුරට පත් විය. එමඟින් ‘බුන්කා මධ්‍යස්ථානය’ ගල්කිස්ස විහාරස්ථානයට ලබා ගැනීමට සමත් විය. සද්ධර්මාකර පිරිවෙනෙහි පැවැති සෑම ආගමික උත්සවයක දී ම දේශීය මෙන්ම විදේශීය භික්ෂූන් වහන්සේලා දැක ගැනීමට හැකි විය. උන්වහන්සේලාට අප නා හිමියන් ඒ සඳහා ආරාධනා කර ඇත.

සිරිලක ව්‍යක්ත, ධර්ම කථික හිමිනමක් ලෙස ප්‍රචලිත අප නා හිමියන් සද්ධර්මාකර පිරිවෙනෙහි සිසුන්ගේ නැණස පෑදීමට සහාය වී ඇත. දකුණු ලක තලල්ල නම් සුප්‍රකට ග්‍රාමයෙහි උපත ලද ඒ හිමියන් අඛණ්ඩ ව අඩ සියවසක් ශාසනාභිවෘද්ධියට කැපවීම ප්‍රසංශනීය කාර්යයකි. සද්ධර්මාකර පිරිවෙන් විහාරස්ථ බෝධි ප්‍රාකාරය සහ රන්වැට විවෘත කිරීම මෙම 24 වනදා සිදු කෙරේ.

සිය දහස් ගණන් ජනතාවට ධර්ම ඥානය ලබාදීමට තලල්ලේ මෙත්තානන්ද අනු නා හිමිට නිරෝගී සුව ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

නාරා ආයතනයේ සභාපති සම්මානිත
මහාචාර්ය
දයා එදිරිසිංහ