Print this Article


සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා සොළොස්මස්ථානයන්හි සිදුකළ සත්ජන සත්‍යක්‍රියාව

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා සොළොස්මස්ථානයන්හි සිදුකළ සත්ජන සත්‍යක්‍රියාව

“අසද්ධර්මය යටපත් වී සද්ධර්මය ස්ථාපිත ව සම්බුදු සසුන සුරක්ෂිත වේවා” යන අධිෂ්ඨානය ඇති ව සත්ජන සමාජ සංවර්ධන පදනමේ අධ්‍යාත්මික අධ්‍යයන හා පර්යේෂණ අංශය විසින් සංවිධානය කරන ලද ‘සත්ජන සත්‍යක්‍රියාව හා ආලෝක පූජාව‘ අගෝස්තු මස 22, 23 දිනයන්හි සොළොස්මස්ථානයන්හි දී සිදු කරන ලදී.

රට, ජාතිය, සංස්කෘතිය හා සම්බුදු සසුන සුරක්ෂිත කිරීම සඳහා කැපවන ගිහි පැවිදි සැම දෙනා තුළ ප්‍රඥාලෝකය හා අධ්‍යාත්මික ශක්තිය අවදි කිරීමේ පරමාර්ථය ඇතිව එම වැඩසටහන සංවිධානය කෙරිණි. රට, ජාතිය, ශාසනය පිළිබඳ හැඟීමක් ඇතිව ක්‍රියා කරන දහස් ගණනක් සත්පුරුෂයෝ පොසොන් පොහොය දින සිට පංචශීලය ආරක්ෂා කරමින්, මත්ස්‍ය, මාංශ අනුභවයෙන් පවා වැළකී ප්‍රතිපත්ති ගරුකව සිට එම සත්‍යක්‍රියාව සඳහා සහභාගි වූ හ.

සම්බුදු සසුනේ චිර පැවැත්ම සඳහා පන්සල් වෙහෙර විහාර මෙන් ම, ගිහි පැවිදි ශ්‍රාවක පිරිසක් අවශ්‍ය වන නමුත් ඒ සියල්ල අර්ථවත් වනුයේ සම්‍යග් දැක්ම හා සම්‍යග් ප්‍රතිපදාව මත ය. එහෙයින් බෞද්ධ ප්‍රජාව තුළ ප්‍රඥාව අවදි කිරීමේ හා ඔවුන් ධර්මානුධර්ම ප්‍රතිපදාවට නැඹුරු කිරීමේ අරමුණින් සත්ජන සමාජ සංවර්ධන පදනම විසින් එම සත්‍යක්‍රියාව සංවිධානය කරන ලදී.

භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායම් දහසක් අගෝස්තු මස 22 වැනි දින මහියංගනය, නාගදිපය, කැලණිය, ශ්‍රීපාදස්ථානය, දීඝවාපිය, මුතියංගනය, තිස්සමහාරාමය, ජය ශ්‍රී මහා බෝධිය, මිරිසවැටිය, රුවන්වැලිසෑය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනාරාමය, සේල චෛත්‍යය සහ කතරගම කිරිවෙහෙර යන ස්ථානවලට ගොස් රාත්‍රී 8.00 සිට 9.00 දක්වා මෙත්ත සූත්‍රය සජ්ඣායනා කළහ. අගෝස්තු මස 23 වැනි දින උදෑසන 5.45 ට සොළොස්මස්ථානයන්හි මෙන්ම දළදා මන්දිරයේ ද විශේෂ ආලෝක පූජාවන් පවත්වා උදෑසන 6.00 ට, තම තමන් ආරක්ෂා කළ ප්‍රතිපත්ති සත්‍යවාදී ව සිහිකොට සත්‍යක්‍රියා කළහ.

යම් ප්‍රතිපත්තියක පිහිටා සිටිමින් සත්‍යක්‍රියා කිරීම තම තමන්ගේ මානසික හා අධ්‍යාත්මික ශක්තිය තහවුරු කරගැනීමට මෙන්ම විපත් වැළැක්වීමට ද ඉතා ඵලදායක ලෙස යොදාගත හැකි ආකාරය ශාසන ඉතිහාසයෙන් ජාතක දේශනාවලින් ප්‍රකට වේ. සත්ජන සමාජ සංවර්ධන පදනමේ අධ්‍යාත්මික අධ්‍යයන හා පර්යේෂණ අංශය ද රටට, ජාතියට, ශාසනයට, මනුෂ්‍ය වර්ගයාට හා සමස්ත ලෝකයට අභියෝග එල්ලවන අවස්ථාවන්හි දී අධ්‍යාත්මික සත්‍යක්‍රියාව ඵලදායී ලෙස භාවිතයට ගත හැකි බව වසර තිස් එකක් මුළුල්ලේ අත්දැකීම් තුළින් තහවුරු කරගෙන ඇත. සම්බුද්ධ පාදස්පර්ශයෙන් සුපරිශුද්ධ වූ සොළොස්මස්ථානයන්හි දී මින් පෙර ද ජාතික ශාසනික අවශ්‍යතාවයන් හි දී, සත්‍යක්‍රියා කිහිපයක් ම සිදු කොට ඇති අතර, මෙවර ද දහස් සංඛ්‍යාත ප්‍රතිපත්තිගරුක පිරිසකගේ සහභාගිත්වයෙන් එම අධ්‍යාත්මික සත්‍යක්‍රියාව සිදුකරන ලද්දේ එම අත්දැකීම සහිතව ය.

1987 වසරේ දී පී.කේ.යූ. අදිකාරම් මැතිතුමන් විසින් කිහිප දෙනෙකු සමඟ ආරම්භ කරන ලද සත්ජන සමාජ සංවර්ධන පදනම මේ වන විට දෙස් විදෙස් දසලක්ෂ සංඛ්‍යාත සාමාජික පිරිසක් සමඟ මනුෂ්‍යත්වයේ ගරුත්වය සුරකින විමසිලිමත් සමානාත්මතා සත්ජන සමාජයක් ගොඩනැගීමේ මෙහෙවරෙහි නිරත ව සිටී.

ප්‍රජාවකගේ කායික, මානසික, අධ්‍යාත්මික හා සාමාජික ස්වස්ථතාව ඇතිකරමින් සත්ජන සමාජයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව සත්ජන සමාජ සංවර්ධන පදනම විසින් ඉටුකළ හා ඉටු කරමින් පවතින මෙහෙවර සුළු පටු නොවේ. ඒ අතර, වසර තිහක් මුළුල්ලේ පැවති යුද බිය නිම වී සාමය සමගිය තහවුරු වේවායි අධිෂ්ඨාන කරමින් බුදුරදුන්ගේ පාදස්පර්ශය ලැබූ සිද්ධස්ථාන වෙත පාගමනින් ගොස් සිදුකළ සත්‍යක්‍රියාවන්. රටට, ලෝකයට, මනුෂ්‍ය වර්ගයාට හා සම්බුදු සසුනට පැමිණෙන විපත් වළක්වනු පිණිස සෑම වෙසක් පොහොය දිනකම සිදුකරන අධ්‍යාත්මික සත්‍යක්‍රියාව, පිරිතේ ශක්තිය අධ්‍යයනය කරමින්, එම ශක්තිය විශ්වයට මුදාහරිමින් ස්වභාවික විපත් වළක්වනු පිණිස පුරා වසරක් අඛණ්ඩ ව පැවැත්වූ පිරිත් දේශනය, ලක්දෙරණේ සුරක්ෂාව තහවුරු කරනු පිණිස තෙමසක් පුරා පිරිත් කරනලද බෝධි අංකුර ලංකාවේ අටකොන හා මැද රෝපණය කිරීම, විදේශවලින් ලක්දෙරණට එල්ල වූ බලපෑම් වළක්වනු පිණිස සොළොස්මස්ථානයන්හි එකවර රාත්‍රී පහන්වනතුරු පිරිත් සජ්ඣායනා කිරීම, සම්බුදු සසුනට ජාතික හා ආගමික වශයෙන් පැමිණෙන උවදුරු දුරු වී සම්බුදු සසුනත් , ලක් දෙරණත් සුරක්ෂිත වේවා යන අධිෂ්ඨානය ඇතිව සිදුකරන ශතාධික කඨින පින්කම් මාලාව, මිහිතලය හා ජීවීන් දිගු කලක් සුරකිනු පිණිස නා පැළ දසලක්ෂයක් රෝපණය කිරීමේ ‘සුව තුරුවියන’ වන රෝපණ වැඩසටහන, දුෂ්කර විහාරස්ථානවලට සැදැහැවත් දානපතීන් යොමුකරමින් භෞතික සංවර්ධන කටයුතු සිදු කිරීම, භික්ෂූන් වහන්සේලාගේ ආකල්ප හා කුශලතා සංවර්ධනය කිරීම උදෙසා සිදුකරන ලද භික්ෂු පුහුණු වැඩසටහන්, ධර්ම සන්නිවේදනය හා නායකත්වය පිළිබඳ පුහුණු වැඩසටහන්, දුෂ්කර ගම්මානවලට පළපුරුදු වෛද්‍ය කණ්ඩායම් කැඳවාගෙන ගොස් සිදුකරන විවිධ වෛද්‍ය සායන, දුෂ්කර ගම්මානවල ගතින් රෝගී ව, සිතින් අසරණ ව සිටින ජනතාවගේ මානසික සුවතාව සඳහා සිදුකරන ‘මානසික සායන’ වැඩසටහන්, ස්වභාවික ආපදා අවස්ථාවන් හි දී වහාම ක්‍රියාත්මක වෙමින් සිදු කරන ආපදා සහන සේවාවන්, අඩු ආදායම්ලාභී පවුල්වලට මහන මැෂින්, කිරි ගවයන්, පොල් පැල ආදිය බෙදාදීම,දුෂ්කර ගම්මානවලට ගොස් ඇස් පරීක්ෂා කිරීම හා ඇස් කණ්ණාඩි ලබාදීම, දුෂ්කර ගම්මානවල වෙසෙන දෙපා වාරු නැති මව්පියවරුන්ට සහ ආබාධිත පුද්ගලයන්ට රෝද පුටු පරිත්‍යාග කිරීම, පානීය ජල පහසුකම් නැති ගම්මාන සහ විහාරස්ථානවලට ජල පහසුව සැපයීම හා වකුගඩු රෝගයෙන් පෙළෙන ප්‍රදේශවලට ජල පිරිපහදු සවි කර දීමේ වැඩසටහන, නිවාස අහිමි, අඩු ආදායම්ලාභී පවුල්වලට නිවාස ඉදිකර දෙන ‘හිසට සෙවනක්’ වැඩසටහන, මනුෂ්‍යත්වයේ ගරුත්වය සුරකින සත්පුරුෂ දරු කැළක් නිර්මාණය කිරීමේ අරමුණින් දරුවන්ගේ සාරධර්ම, ආකල්ප හා කුසලතා වර්ධනය කරන ‘බෝසත් දරුවන් වෙමු අපි ලංකා’ ළමා සංවර්ධන වැඩසටහන, පාසල්, දහම් පාසල් හෝ විහාරස්ථාන පුස්තකාල සඳහා පොත් ලබාදීම, දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම හා අධ්‍යාපන සම්මන්ත්‍රණ ඇතුළත් ‘නැණ සරණ’ වැඩසටහන, පිරිත් දේශනය සඳහා භික්ෂූන් වහන්සේලා උනන්දු කරවීම හා පිරිතේ ගුණාත්මක බව සුරකිනු පිණිස අක්ෂර දෝෂ විරහිත ව මුද්‍රණය කරන ලද පිරුවානා පොත් වහන්සේ ලංකාවේ සියලුම විහාරස්ථානවලට පූජා කිරීම, මනුෂ්‍යත්වය වෙනුවෙන් කැප වන සුවිශේෂ සත්පුරුෂයන් උදෙසා තිළිණ ප්‍රදානය. ගිහි පැවිදි දෙපක්ෂයේ ම ධර්ම විනය පිළිබඳ ගැටලු නිරාකරණය කර දෙමින් සිදු කරන ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන්, ජීවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මඟ පෙන්වන්න උපදේශන වැඩසටහන්, ආදිය ප්‍රධාන වේ.

පෝරුවදණ්ඩ සත්ජන මධ්‍යස්ථානයේ සත්ජන සමාජ සංවර්ධන පදනමැති ලිපිනයෙන් විමසා එම සමාජ සංවර්ධන කටයුතු සඳහා දායක වීමට හැකි ය.