Print this Article


ශ්‍රී දළදා පුරාණය - 19: අතිපූජනීය වූ දළදා වහන්සේ උදෙසා පවත්වනු ලැබූ විශේෂිත පුදපූජා

අතිපූජනීය වූ දළදා වහන්සේ උදෙසා පවත්වනු ලැබූ විශේෂිත පුදපූජා

ශ්‍රී දළදා මාලිගාව මගින් සිදුකරනු ලබන විවිධ පූජාවන්ට අමතර ව නියඟය , දුර්භික්ෂය, යුද බිය, රෝගබිය වැනි විපත් දුරුකරගැනීම සඳහාත්, සුදුසු කල වැසි ලබාගැනීමටත්, රටට සමෘද්ධිය, සෞභාග්‍ය, සමඟිය හා සමාදානය ප්‍රාර්ථනා කිරීමටත්, හුදී ජනතාවට ආශිර්වාදය ලබාදීම සඳහාත්, අතිපූජනීය වූත්, ගෞරවනීයවූත් දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම අතීතයේ සිට පැවතෙන පූජා චාරිත්‍ර ධර්මයක් ලෙස සඳහන් කළ හැකි ය.

ඒ සඳහා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනමගේත් ,දියවඩන නිලමේතුමාගේත් එකඟත්වය තිබිය යුතු ය . දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා තබන අවස්ථාවල දී දන්ත ධාතූන් වහන්සේ සුවිශේෂී කරඬුවක තැන්පත් කිරීම පුරාණයේ සිට පැවතෙන චාරිත්‍රයක් ලෙස සඳහන් වෙන අතර එම කරඬුව ප්‍රදර්ශන කරඬුව ලෙස ද හඳුන්ව යි. රනින් කළ නෙළුමක් මත තබන කොපුවක දළදා වහන්සේ වඩා හිඳුවා ප්‍රදර්ශනය සඳහා තැබීම සිදුකරයි . කිත්සිරිමෙවන් රාජ්‍ය පාලන සමයේ දී දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දඹදිව සිට ශ්‍රී ලංකාද්වීපයට වැඩම කර ඇත. අනතුරු ව දෙවුලේ බමුණුු නමැති පුද්ගලයාගේ මඟ පෙන්වීම යටතේ අනුරාධපුර මේඝගිරි මඩුකන්ද විහාරය ට දළදා වහන්සේ වැඩම කළ බව සඳහන් වේ. එහි දී දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. උතුම් දළදා වහන්සේ වැඩම කළ පුවත හා දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන පුවත ඇසූ මහා සංඝරත්නයත් මහජනතාවත් දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ අභිලාෂයෙන් යුක්ත ව පැමිණ ඇති බව ඉතිහාසයෙහි සඳහන්ව ඇත. එය ලංකාවේදී පවත්වන ලද ප්‍රථම දළදා ප්‍රදර්ශනය ලෙස සඳහන් වේ. මේඝ ගිිරිමඩුකන්ද විහාරයේ ඉදිකළ දළදා මැදුර පළමු දළදා මන්දිරය ලෙස සඳහන් කළ හැකි ය. පසුකාලීන ව දළදා වහන්සේ මහත් වූ පෙරහරින් අභයගිරි විහාරයට වැඩමවා මහජනතාවගේ වියදමින් වසරක් පාසා දළදා ප්‍රදර්ශන පවත්වා ඇත.

අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් අනතුරු ව පොළොන්නරු රාජධානියට දළදා හාමුදුරුවන් වහන්සේ වැඩම කිරීමෙන් පසු පළමු විජයබාහු රජතුමා අටදාගෙය නමින් හඳුන්වන මහාර්ඝ වූූ දළදා මන්දිරයක් ඉදිකරවා පූජා කර ඇත. විජයබාහු රජුගේ රාජ්‍ය කාලයෙන් පසු උද්ගත වූ යුද ආක්‍රමණ, අරගල හමුවේ මොග්ගල්ලාන නම් , ස්වාමීන් වහන්සේ හා රාජ්‍ය ඇමැතිවරු ඇතුළු සියලු බලධාරීන් සමග සාකච්ඡා කොට දළදා වහන්සේ වේලයික්කාර නමින් හඳුන්වන ලද කුලී හමුදාවකට බාර දී ඇත. රට එක්සේසත් කළ මහා පරාක්‍රමබාහු රජතුමා ද දළදා වහන්සේ මහජනයාගේ ගෞරවය සඳහා ප්‍රදර්ශනය කර තිබෙන බවට තොරතුරු දළදා පුවත තුළ විස්තර කර ඇත. පොළොන්නරු රාජධානිය බිඳවැටීමත් සමඟ එවකට සිටි වාචිස්සර ස්වාමීන් වහන්සේ දළදා වහන්සේ කොත්මලේ ප්‍රදේශයට වැඩම කර ඇත. බෙලිගල පර්වතය මුදුනේ දළදා මැදුරක් ඉදිකරවා එහි දී ද පුද පූජාවන් පවත්වා ඇත. ඉන් අනතුරුව දඹදෙණිය රාජධානිය අවසානයේ දී තුන්වන විජයබාහු රජු කොත්මලේ වැඩසිිටි දළදා හාමුදුරුවන් වහන්සේ පෙරහරින් වැඩමවා දඹදෙණියේ ඉදිකළ දළදා මන්දිරයක දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර පුද පූජා පවත්වා ඇත. රජුගේ උපන් දිනය දා ශ්‍රී වර්ධන පුරය දක්වා මහ මඟ විසිතුරු පෙරහරකින් දළදා වහන්සේ වැඩම කර වසරකට තුන් වතාවක් දළදා ප්‍රදර්ශන පවත්වා ඇත. දෙවන පරාක්‍රමබාහු රාජ්‍ය පාලන සමයේදීත් දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා වෙන ම නීති පද්ධතියක් සකස්කර, නියඟයක් පවතින අවස්ථාවල දී රටට වැසි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කළ බවට තොරතුරු දළදා සිරිත නම්, ග්‍රන්ථයෙන් අනාවරණය වේ.මාඝ නම් සොළී ආක්‍රමණිකයා ලංකාවට පැමිණීමත් සමඟ ලංකාවේ පැවති ව්‍යසනකාරී තත්ත්වයත්, අනාරක්ෂිත බවත් පදනම් කරගෙන විජයබාහු රජු දළදා වහන්සේත් , පාත්‍රා ධාතූන් වහන්සේත් නැවත පොළොන්නරුවට වැඩම කර වටදාගෙය තැන්පත් කර පුදසත්කාර පවත්වා ඇත. ඉන්පසු දඹදෙණි රාජධානිය තුළ සිටි පළමු බුවනෙකබාහු රජු තුන්වන පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුවේ අටදාගේ දළදා වහන්සේ වඩා හිඳුවා පුදසත්කාර කරමින් දළදා හාමුදුරුවන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම ආදී කටයුතු සිදු කර ඇත. පරාක්‍රමබාහු රජතුමා ඒ සඳහා වගන්ති 38 ක් අතුළත් නීතිමය වශයෙන් ව්‍යවස්ථාවක් සාදවා ඒ යටතේ දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා පැවැත්විය විය යුතු පුද පූජා, ප්‍රදර්ශන කටයුතු සිදුකර ඇත.

කුරුණෑගල රාජධානිය තුළ ඇතිවුණු ගැටලුකාරී තත්ත්වයන් මත දළදා වහන්සේ ගම්පොළට වැඩම කර ඇත. ගම්පොළ නියම්ගම් පාය නමින් හඳුන්වන ලද දළදා මන්දිරය තුළ වසර පනහක් පමණ කාලයක් දළදා වහන්සේ වැඩසිටි අතර එහි දී දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමක් නොකළත්, උන්වහන්සේ උදෙසා පවත්වන ලද පුදසත්කාර ආදිය නොපිරිහෙලා ඉෂ්ට කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියට පැමිණි 5 වන බුවනෙකබා රජතුමා දළදා වහන්සේ කෝට්ටේ රාජධානියට වැඩම කර පුදසත්කාර කිරීම කටයුතු සිදුකළා. ඉන්පසු රජ පැමිණි 6 වන පරාක්‍රමබාහු රජු කෝට්ටේ තෙමහල් දර්ශනීය දළදා මැදුරක් කරවා ඒ තුළ දළදා වහන්සේ තැන්පත් කරමින් පුදසත්කාර සිදු කර ඇත. 1551 දී ධර්මපාල කුමාරයා කෝට්ටේ රජවීමත් සමඟ පෘතුගීසීන් විසින් කෝට්ටේ දළදා මන්දිරය සහ දළදා මාලිගාවේ වස්තුව කොල්ලකා මහාවිනාශයක් සිදුකර ඇත. එවකට දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා ලෙස කටයුතු කළ හිරිපිටියේ නිලමේතුමන් කෝට්ටේ තිබුණ දළදා වහන්සේ පෘතුගීසීන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා සීතාවක රාජධානියට රැගෙන ගොස් කැලණි ගඟදිගේ දළදා වහන්සේ වැඩමවා, සීතාවක මායාදුන්න රජතුමාට බාරදී ඇති බව සඳහන් ව ඇත. අනතුරු ව සබරගමුවේ දෙල්ගමුව වෙහෙරේ දැඩි ආරක්ෂාව සඳහා දළදා වහන්සේ කුරහන් ගලක අවුරුදු තිහක පමණ කාලයක් වඩා හිඳුවා විදේශීය ආක්‍රමණිකයන්ට නො පෙනෙන සේ රහසිගත ව දළදා වහන්සේ උදෙසා පුදසත්කාර ආදිය සිදු කර ඇත මේ කාලවකවානුව තුළ සෙංකඩගල රාජධානිය ආරම්භ කළ පළමු විමලධර්මසූරිය රජතුමා දෙල්ගමු විහාරයේ වඩා හිදුවා තිබුණු දළදා වහන්සේ තමාගේ රාජධානියට වැඩම කරවා දෙමහල් දළදා මන්දිරයක් සකස්කර දළදා පුද පූජාවන් විධිමත් ආකාරයෙන් පැවැත්වීම නැවත ආරම්භ කර ඇත .


ශ්‍රී දළදා පුරාණය - 18:  අසිරිමත් සිරි දළදා ඉතිහාසය