UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදුදනට කරුණාවෙනි : සන්සුන් මනසින් ජීවිතය දකින්න

සන්සුන් මනසින් ජීවිතය දකින්න

යම් යම් පුද්ගලයන්ගේ හැසිරීම් රටාවේ වෙනස්කම් නො මනා ආකාරයට පැවතුණොත් කුමක් සිදුවේ ද? ශිෂ්‍යයන්, ගුරුවරුන්ට ගරු කරන්නේ නැතිනම්, ඒ ගරු නොකිරීම වචනය හා ක්‍රියාව හා සිතිවිලිවලින් වෙන්නට පුළුවනි.

භාග්‍යවතුන් වහන්සේ ආචාර්ය වත් උපාධ්‍යායා වත් ආදී වශයෙන් එනම් සේඛියා නම් ශික්ෂා පද ඔස්සේ මේ වතාවත් මැනවින් පෙන්වා දී තිබේ. එවැනි වතාවත් ඔස්සේ සංසිඳුණු මනසකින් කරුණාව, මෛත්‍රීය මුල්කරගෙන ජීවිතයේ යථාර්ථය දැක ගන්න. “යථා භූතං පජානාති” කියන ආකාරයෙන් විදර්ශනාව වඩන්න. එවිට අත්හැරීම කියන වචනයෙන් පෙන්වා දෙන ගැඹුරු දහම තේරුම් ගන්න පහසුයි. මුලින් සඳහන් කළ ආකාරයෙන් ඔවුුනොවුන්ට ගරු කිරීමේ පටන් පිළිවෙත් අනුව කටයුතු කිරීමෙන් බැහැරවීමෙන් සිදුවන්නේ ඔවුනොවුන් කෙරෙහි ගැටීම, අමනාපය, තරහව නොසන්සුන්කම, නො ඉවසීම ඇතිවීමයි. ධර්මයෙන් වඩාත් ම බැහැර වී ඔවුනොවුන් නසාගන්නා වූ වැඩපිළිවෙළක් සිද්ධ වීමයි.

බුදුරජාණන් වහන්ස්ගේ කාලයේත් සප්ත රසවග්ගිය, පංචවග්ගිය ආදී භික්ෂූන් වහන්සේ අතරත් මේ නොසන්සුන් ස්වභාවය නිසා ඇති වූ විනය විරෝධී ක්‍රියාවන් පිළිබඳ ව තේරුම්ගත හැකියි. ඔවුන් ධර්මාවබෝධයට පත්වුණේ නැහැ. එයට හේතුව ඔවුන් තුළ විනයෙන් ඇතිවිය යුතු හික්මීම, සංවරවීම නො සිදුවීම නිසා ය. ගෘහස්ථ ජීවිතයක වූවත් බුදු දහමේ පෙන්වා දෙන පස්පව්වලින් වැළකීම, දස අකුසල්වලින් වැළකීම නම් වූ ශික්ෂණයෙන් බැහැරවූ තැන ගිහි ජීවිතවල ඇති විය හැකි නොසන්සුන්තාවය, කලකෝලාහල ඔවුනොවුන් නසා ගැනීම්, ඔවුනොවුන් අතර ඇතිවිය හැකි රණ්ඬු දබර මොනවගේ ආකාරයකට පවතී දැයි ඔබට සිතා ගත හැකියි. ඔවුනොවුන්ට ගරු නොකරන පරිසරයක් තුළ, සත්ත්ව ලෝකයේ මෙන් ඇතැම් පුද්ගලයන් හැසිරෙන්නට යෑමෙන් සිදුවන විපත්ති වර්තමානයේ පවා බොහෝ අවස්ථාවල දී විමසා දැන ගත හැකියි. මේ නිසා අවබෝධයෙන් යුක්ත ව, සිරිත් විරිත් දන්නා නුවණින්, කුඩා අණු කුඩා, වරදෙහි පවා බිය දක්නා සුළු ව, තමන් පොරොන්දුවන සීලය සිතේ එකඟතාවයෙන් යුක්ත ව අවබෝධයෙන් යුක්ත ව, ආරක්ෂා කර ගත යුතුයි, යන අධිෂ්ඨානය මනසේ පවත්වාගත යුතුයි. ධර්මයේ පෙන්වා දෙන්නේ,

“පාතිමොක්ඛ සංවර සංවුතෝ විහරති
ආචාර ගෝචර සම්පන්නො
අණුමත්තේසු වජ්ජේසු භය දස්සාවි
සමාදාය සික්ඛති සික්ඛාපදේසු”
වශයෙනුයි.

මේ ශාසනයට යම් කෙනෙක් සැනසිල්ල සොයාගෙන පැමිණෙනෙවා නම්, එහි පළමු පියවර අවබෝධයෙන් යුක්තව හික්මුණු අයෙක් බවට පත්වීමයි. දඩබ්බරකම්වලින් යුක්ත, ඒ වගේ ම නොසන්සුන් ඇවතුම් පැවතුම්වලින් යුක්ත වූ කෙනෙකුට පරමාර්ථ ධර්මය දැක ගන්න තිබෙන අවස්ථාවක් කෙසේ නම් සැලසේ ද?

ව්‍යාකූල වූ මනසකින්, දැඩි ආශාවන්ගෙන් හා කේන්තියෙන් යුතු මනසකින් තමා උසස් කොට අන්‍යයන් පහත් කොට ඇතිකර ගන්නා වූ සිතිවිලිවලින් යුතු පුද්ගලයකුට බෞද්ධ දර්ශනයේ පෙන්වාදෙන මේ සියලු සංඛත සංකාර වස්තු ත්‍රිලක්ඛණයට යටත් කොට දක්නා වූ නුවණ පහළ කරගැනීම පහසුවෙන්නේ නැහැ. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ ගණක මොග්ගල්ලාන බ්‍රහ්මණයාට සඳහන් කළේ “හීලෑ නැති අශ්වයෙක් දමනය කරන්නට රැගෙන පැමිණි මොහොතක පළමුවෙන් ම සිදු කරන්නේ කටට මුව වැස්මක් යෙදීමයි.” ඒ වගේ ම පළමු කරුණ සීලයේ පිහිටීම යනුයි.

යම් කෙනෙක් වරදවා තේරුම් නොගත යුතුයි. සමහරවිටක සීලය අවශ්‍ය නොවේ කියන අය ඉදිරිපත් කරන උපමාවක් පෙන්වා දෙන්න පුළුවනි. එනම් සිල්ගත් අය කරන්නේ ව්‍රතයක් සමාදන් වීමයි. මම මේ සීලය අද දවසේ, මේ පැය ගණනාව තුළ රැකගෙන ඉන්නවා කියන අදහසයි. ඉන් පසු ව අර කියූ දේවල් සියල්ල අමතක කර පුරුදු ආකාරයෙන් ම ඇලීම් ගැටීම් එක්ක ජීවිතය පවත්වාගෙන යනවා කියන අදහසයි.

තවත් පිරිසක් මෙසේ ද සඳහන් කරනවා. උපෝසථ දිනයක් කියා යොදාගෙන ඒ දිනයෙහි වචන ටිකක් සඳහන් කොට නැවතත් පුරුදු පරිදි ජීවිතයේ ඒ ඒ කාර්යයන් හි නියැළෙමින් සිටීම යනුවෙනුයි. ඒවා සත්‍ය දේවල් හැටියට පිළිගන්නේ නැහැ. සමහර විටෙක ඒවායේ අඩුපාඩුකම් පවතින්නේ නම් ඒවා ධර්මයේ ඇති වරදක් නොව ඒ ඒ පුද්ගල චරිතවල ඇති අඩුපාඩු හැටියටයි අප දැකිය යුතු වන්නේ. යම් කෙනෙකුට කුසේ රුජාවක් පවතින්නේ යැයි පවසමින් සියලු දෙනාටම බත් ආහාරයට ගැනීමෙන් වළකින්නට යැයි පැවසීම සාධාරණදැයි ඔබම සිතා බලන්න. දුර්වලතාවයක් අඩුපාඩුවක් තියෙන අයට උපදෙස් දී ඒ දුර්වලතාවය හදාගැනීමට උපදෙස් දීම විනා, ධර්ම මාර්ගයේ සිටින සියලු දෙනා එයින් ඉවත් කිරීම සුදුසුවන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ විශාඛාවන් සමඟ විහාරයට පැමිණි කාන්තාවන් පිරිසක් මත් වතුර පානය කොට සිහිවිකල් වෙමින් හැසිරුණු ආකාරයත් දහම් කතාවල පෙන්වා දී තිබෙනවා. ඒ නිසා එය සීලයේ ඇති වරදක් නොව, මාර්ගයේ ඇති වරදක් නොව, ඒ ඒ පුද්ගල චරිතවල ඇති දෝෂයක් හැටියට දැකිය යුතුයි. ඒ නිසා උපෝසථ දවස ව්‍රතය සමාදන් වූ දවසක් ලෙස නොසිතා අප්‍රමාණ වැඩ කටයුතුවලින් පිරි සම්බාධක, කරදර බාධකවලින් යුක්ත ගිහි ජීවිතයේ මෙවැනි දවසක් හෝ ඔවුන් සම්‍යක් ප්‍රඥාවට ගැනීමට පසුබිම සකස් කරන දවසක් හැටියට සීලයේ පිහිටා සිටීම පුරුදු කළ හැකියි. හැබෑවට ම සීලය සමාදන් කොට ආරක්ෂා කරගෙන ප්‍රඥාව ලබා ගැනීමට විශේෂිත දිනයක් යොදාගත යුතු නැහැ. තමාගේ මුළු ජීවිත කාලය ම අවබෝධයෙන් යුක්තව කළ යුතුමයි.

සියලු කෙලෙස් නසන තෙක් ම මේ මාර්ගය අනුගමනය කළ යුතුමයි. සියලු කෙලෙස් නැසීමෙන් අරහත් බෝධියටපත්වීමෙන් අනතුරුව සීලය අමුතුවෙන් ඉගැන්විය යුතු, කළ යුතු දෙයක් නොවෙයි. ස්වභාවයෙන් ම එහි සීලය සකස්වන නිසා ය.එහෙත් බොහෝ කරදර බාධක ඇති, රැකියා වෘත්තිය කටයුතු, ඒ වගේ ම ස්වාමි භාර්යා, මවුපියන් දරුවන්, වැනි කටයුතු නිසා අප්‍රමාණ වෙහෙසට පීඩාවන්ට පත්ව ඇති පිරිසකට සතර පෝය හෝ අඩු ම තරමේ මාසයේ පසළොස්වක දවස හෝ මේ ආකාරයට පවතින්නට අවස්ථාව සලසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් සමාධි සංවත්තනික ලෙස ධ්‍යාන සමාපත්ති ඔස්සේ සීලය පවත්වා ගන්නට මාර්ගය සකසා දිය යුතුමයි. එනම් මේ සීලය සමාදන්වන්නේ අනුගමනය කරන්නේ දෙවියෙක්, බ්‍රහ්මයෙක් වෙන්නට හෝ තෘෂ්ණාවට දාසයෙක් වී මෙවැනි, මෙවැනි වස්තූන් කාම සම්පත් ලබන්නට නොව මේ කාමාදී අකුසල ධර්ම අවබෝධයෙන් යුක්ත ව යටපත්කොට දකිමින්, අනුපිළිවෙලින් යුක්තව ඒවා බැහැර කරමින් කෙලෙස් ප්‍රහාණය කිරීමේ අරමුණක් ඇතිකරගැනීමයි.

සීලය අන්න එතැනට ගෙන එන්නට උත්සාහ කළ යුතුයි. භාග්‍යවතුන් වහන්සේ ජටා සූත්‍රයේ දී දේශනා කරනු ලැබුයේ “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං” යනුවෙනි. ප්‍රඥාවන්ත මනුෂ්‍යයා සීලයේ පිහිටා ම සිතත්, ප්‍රඥාවත් වඩන බවයි. එනම් සමථ විදර්ශනා දෙක පුරුදු කරන බවයි. යම් කෙනෙක් පවසන පරිදි පොහොය දවසේ මේවා පවසමින් සිට සියල්ල අමතක කොට පුරුදු ආකාරයට ජීවිතයට පත්වෙනවා කියන අදහස සිදු නොකළ යුතුයි. යම් කෙනෙක් එසේ කරන්නේ යම් පුද්ගලයකුගේ චරිතයේ පවතින දෝෂයක් නිසාය. නමුත් අදහස නම් එදින පුරුදු කරන මේ මාර්ගය ජීවිතය පුරාම පුරුදු කරන්න අවස්ථාවක් උදා කරගැනීමයි. හැකියි. හැබෑවට ම වැඩි පිරිසක් ඒ දවස තමාගේ ජීවිතයට පුරුද්දක් හැටියට හොඳ පුහුණුවක් ලබන අවස්ථාවක් හැටියට යොදාගන්නා බව අපට අද්දැකීමෙන් ම කල්‍යාණ මිත්‍ර සේවනයක් හැටියට ම පෙන්වා දිය හැකියි.

යම් විටක ස්වාමියා බිරිඳ, මවුපියෝ දරුවන් හැටියට පැමිණුනත් උපෝසථ දිනය තුළ වෙන් වෙන් ව ගෘහස්ථ ජීවිතයේ පැවතුණු ස්වාමියා බිරිඳ, මවුපියෝ දරුවෝ යන හැඟීමෙන් තොරව එනම් සංඥා නොගෙන අත්හැරීමම පුරුදු කරගෙන සීලය උදව්වට ගෙන අත්වැලක් කොටගෙන සමාධිය වඩාගෙන සියලු සංඛත, සංකාර වස්තු අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ඛන ධර්මයට යටත්කොට දැකගෙන දුක්ඛ ආර්ය සත්‍යයේ පටන් උගන්වන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස වෙහෙස වී, දැඩි උත්සාහයක යෙදෙන පිරිස අපට දැක ගත හැකි ය. මේ නිසා එවැනි පිරිසකටත් මාර්ගය තුළ බාධා නොකොට අඩුපාඩුකම් පවතින පිරිස් ද කරුණාවෙන් පෙන්වා දී ධර්ම මාර්ගයට එකතු කර ගැනීම අප විසින් කළ යුතුමයි.

ඒ නිසා සීලය ප්‍රධාන නොවේ. සීලය අවශ්‍ය නො වේ යැයි නො පවසා යම් කෙනෙකුගේ චරිතයේ අඩුපාඩුකම් පවතිනවා නම් ඒවා නිවැරැදි කරමින් වැඩි පිරිසක් සකස් වී තිබෙන මේ සිල්වත් මාර්ගය තුළ අනුගමනය කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ වගේ ම අපේ රටේත් අනුරාධපුර, පොළොන්නරු යුගයේ පටන් උපෝසථ දිනවල දවල් කාලයේත්, රාත්‍රී කාලයේත් පැය විසි හතරම උපාසක උපාසිකාවන් ධර්ම මාර්ගය තුළ යෙදෙමින් ඔවුන් ධර්ම විනය ආරක්ෂා කරගෙන සම්‍යක් ප්‍රඥාව උපදවා ගැනීම පිණිස කළ කටයුතු පිළිබඳව ද විමසා බලා වර්තමානයට ද අප ඒවා උදව් උපකාර කරගත යුතුමයි.

 

වප්මස පුර අටවක පෝය


වප්මස පුර අටවක පෝය ඔක්තෝබර් 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.19 ට ලබයි. 17 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 16 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 24 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]