Print this Article


හාත්පසින් ම සංවර වීම වැදගත් ය

හාත්පසින් ම සංවර වීම වැදගත් ය

කායෙන සංවරො සාධු
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු
සාධු සබ්බත්ථ සංවුතො

(කයෙන් වචනයෙන් මනසින් සංවර වීම යහපත පිණිස හේතු වේ)

සංවරකම යන වචනය ඇසූ සැණින් ම අප හදවත්වලට ක්ෂණයකින් ම මතකයට එන්නේ මොන වගේ හැඟීමක් ද? බොහෝ විට ඒ හැඟීම වැඩි දෙනෙක්ට සර්ව සාධාරණ හැඟීමක් වන්නට ද පුළුවන්. ‘එයානම් හරිම සංවරයි’, ‘බලන්නකෝ එයාගේ නිවුණු ශාන්ත පෙනුම. මේ වගේ වදන් අප ජීවත් වන සමාජයේ බොහෝ දෙනා අනෙකුත් අය දෙසා බලා පවසනු ඔබට මේ මොහොතේ මතකයට එනු නො අනුමානයි. එහෙනම් සංවරකම කියන්නේ මොකක්ද කියන එක ඔබත් යම් තරමකින් හරි දන්නවා ඇති.

සැම දෙනෙකුම ළඟ තිබිය යුතු වටිනා ලක්ෂණයක් තමයි සංවරකම. සංවරකම ඇති කරගත යුතු දොරටු තමයි ඉහතින් සඳහන් කරලා තියෙන්නේ. ඒ දොරටු තමයි සිත, කය, වචනය කියන්නේ. සංවරකම ඇති වීමටත්, නැති වීමටත් ප්‍රබල ව බලපාන දොරටුවක් තමයි සිත කියන්නේ. සිතට කරන්න බැරි දෙයක් නෑ. අද සමාජයේ බොහෝ දෙනෙක් යහපත් තත්ත්වයකට හරි අයහපත් තත්ත්වයකට හරි පත් වෙලා ඉන්නවා නම්,ඒ සඳහා වැඩි වශයෙන් බලපා තියෙන්නේ ඔහුගේ හෝ ඇයගේ සිත. අප කරන කියන ගොඩක් දේ සිත මූලික කරගෙන තමයි සිද්ධ කරන්නේ. බෝධිසත්ත්ව චරිතයක් වෙන්නත්, සමාජය ගරහන චරිතයක් වෙන්නත් පුළුවන් සිතෙහි ක්‍රියාකාරිත්වයට අනුව.

දෙවැනියට සංවර කරගත යුතු දොරටුව තමයි කය කියන්නේ, සිතෙන් උපද්දවන හැඟීම්, අදහස් ක්‍රියාවට නංවන්නේ කය මගින්. අතින් පයින් ඇසෙන් නාසයෙන් හා අනෙකුත් ශාරිරික ඉන්ද්‍රියයන් මගින් අපි විවිධ ක්‍රියා කරමු. ඒවා ද මනාව සිතා බලා කිරීම යහපත පිණිස ම පවතින බව අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවෙයි. තෙවැනි දොරටුව තමයි වචනය කියන්නේ. වචනය හරියට ආයුධයක් වගේ. වචනයෙන් මිනිසෙකු මරණයට පත්කළ හැකියි. ලොවම විනාශ කළ හැකියි. ඒ තරම් බිහිසුණු බවක් වචනයේ තියෙනවා. ඒ වුණත් අපි වචනය යොදා ගත යුත්තේ අපේ සාර්ථකත්වය මුදුන් පමුණුවා ගැනීම පිණිසම පමණයි. එහෙනම් දැන් අපට හොඳින් ම අවබෝධ වන දෙයක් තමයි අපි හාත්පසින් ම සංවර විය යුතු බව, මිනිසත් බව ලැබූ අපි සැබෑ මිනිසුන් බවට පත් වෙන්නේ සහ අර්ථ සම්පන්න වෙන්නේ ඉතාමත් සංවර ව ජීවත්වීම නිසා නොවේ ද?