Print this Article


පරිත්‍යාගය පුරුදු කළ යුතු ගුණ දහමකි

පරිත්‍යාගය පුරුදු කළ යුතු ගුණ දහමකි

" සත්වයාට උපතින් ම ඇති මනෝභාවයන් ප්‍රභාස්වර වුව ද, ආගන්තුක ව එළඹෙන අකුසල සිතිවිලි තුළින් මනස කිලිටි වනු ඇත. සිතේ ප්‍රසන්න බව, පැහැය, දීප්තිමත් බව ආගන්තුක ව පැමිණෙන කෙලෙස් සමූහයා තුළින් අපවිත්‍ර වනු ඇත. ඒ අනුව එම කිලිටි වන සිත තාවකාලික වශයෙන් පිරිසුදු කර ගැනීමට එක ම සාධකය වන්නේ දන් දීම ය."

දන්දීම ලොව ඇති ප්‍රධානතම පුණ්‍ය කර්මයකි. ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත් ප්‍රතිඵල ගෙන දෙන්නකි. ලෝකයේ දන්දීමේ ආනිශංස බුදු කෙනෙකුන් තරම් කිසිවෙකු නොදන්නාහ. බුදුහිමි දේශනා කොට වදාළ ආකාරයට දන්දීමේ ආනිශංස දන්නේ නම්, යමෙක් අතට ගත් බත් පතෙන්, බත් සරලුවක්වත් සතෙකුට නොදී අනුභව නොකරන් නේ ය.

එම සත්‍ය දැන හැඳින ගැනීමට නම් දානානිශංස පිළිබඳ අවබෝධයක් ලැබිය යුතු ය. ඒ සඳහා බුද්ධ චරිතය හා ශ්‍රාවක චරිත සේ ම, සූත්‍ර, ඇතැම් ජාතක කතා පිළිබඳව ද අවධානය යොමු කළ යුතු ය. බුද්ධ චරිතය තුළ දානය හා දානානිශංය පිළිබඳ නිරන්තරයෙන් උදාහරණ හමුවේ. උන් වහන්සේ පෙර ආත්මවල කළ දාන පාරමිතාව ඉතා ඉහළ ය.

සාගරයේ ජලකඳ පරදා රුධිරය දන්දීම.පොළොවේ පස්කඳ පරදා මාංශ දන්දීම අහසේ තරු කැළ පරදා ඇස් දන් දීම, මහාමේරු පර්වත රාජයා පරදා හිස් දන් දීම, ආත්ම වල පිරූ දාන පාරමිතාවේ සම්පිණ්ඩනයක් ලෙස පෙන්වා දීමට පුළුවන. වෙස්සන්තර ජාතකය තුළ අඹුදරුවන් පවා දන්දීමට උන්වහන්සේ සමත් වූ හ.

එසේනම්, දානය එතරම් ජීවිතයන් හා සම්බන්ධ වන්නේ කුමන හේතුවක් නිසා ද යන්න සිතා බැලිය යුතු ය. සත්වයාට උපතින් ම ඇති මනෝභාවයන් ප්‍රභාස්වර වුව ද, ආගන්තුක ව එළඹෙන අකුසල සිතිවිලි තුළින් මනස කිලිටි වනු ඇත. සිතේ ප්‍රසන්න බව, පැහැය, දීප්තිමත් බව ආගන්තුක ව පැමිණෙන කෙලෙස් සමූහයා තුළින් අපවිත්‍ර වනු ඇත. ඒ අනුව එම කිලිටි වන සිත තාවකාලික වශයෙන් පිරිසුදු කර ගැනීමට එක ම සාධකය වන්නේ දන් දීම ය. මනසට දිය යුතු කෙටිකාලීන විසඳුමක් හැටියට එදිනෙදා ජීවිතය නිරවුල් ව හා පිරිසුදු ව පවත්වාගෙන යෑමට දන්දීම තරම් පිටුවහලක් සත්වයාට තවත් නොමැත.

ලෞකික වශයෙන් ඕනෑම සත්වයෙකුගේ ප්‍රාර්ථනය වන්නේ වර්ෂ සියයකට වැඩි හෝ ඊට ආසන්න කාලයක් ජීවත් වීම ය. ඒ කාලය තුළ පැහැපත් වර්ණයක්, සැපයක්, බලයක් හා ප්‍රඥාවක් ඇතිව ද ජීවත්වීමට උත්සාහවත් වනු ඇත. නමුදු ඒවා ඉබේ නො ලැබෙනු ඇත.

ඒ සඳහා පෙර දන් දුන් පිළිවෙල හා වර්තමානය තුළ දන් දෙන පිළිවෙල ඍජුව ම බලපානු ඇත. ශක්‍රදේවේන්ද්‍ර හා දෙවි දේවතා සම්පත්ති, සක්විති සම්පත්ති, රාජ රාජ මහා මාත්‍යාදී සම්පත්ති, සිටු මැති තනතුරු ආදි සියල්ලටම දානය ඍජුව ම බලපා ඇති ආකාරය ත්‍රිපිටකය හා ඓතිහාසික කතා පුවත් තුළින් අනාවරණය වේ.

බුදුරදුන් දානයට දී ඇති ස්ථානය පිළිබඳ විමසීමේ දී ඒ බව තවත් පැහැදිලි වනු ඇත.

ත්‍රිවිධ පුණ්‍යක්‍රියා - 1 දානය

සතර සංග්‍රහ වස්තු - 1 දානය

දස පුණ්‍යක්‍රියා – 1 දානය

දස පාරමිතා – 1 දානය

දස රාජ ධර්ම – 1 දානය

ඒ සෑම තැනක දී ම දානය ම මුලට යොදා ඇත. දානයට ප්‍රමුඛස්ථානය දී ඇත . එයින් පැහැදිලි වන්නේ දානය ම සත්වයාගේ ලෞකික හා ලෝකෝත්තර සැපත ඇති කරවන බවයි.

ස.නි. දේවතා සංයුක්තයේ ආදිත්ත වග්ගයේ කිංදද සූත්‍රය තුළින් දන් දීමේ අනුසස් ගැන විවරණය කොට ඇත. එනම්

අන්නදො බලදො හොති –

වත්ථදො හොති වණ්ණදො

යානදො සුඛදො හොති –

දීපදො හෝති චක්ඛුදො

සොච සබ්බදදො හොති –

යො දදාති උපස්සයං

අමතං දදොච සො හොති –

යො ධම්මමනුසාසතීති

(ආහාර දෙන්නේ බලය දෙන්නේ වෙයි. වස්ත්‍ර දෙන්නේ වර්ණය දෙන්නේ වෙයි. යාන දෙන්නේ සැප දෙන්නේ වෙයි. පහන් දෙන්නේ ඇස් දෙන්නේ වෙයි. යමෙක් ආවාස දේ ද. හෙතෙම සියල්ල දෙන්නේත් වෙයි. යමෙක් ධර්මානුශාසනා කෙරේ ද හෙතෙම අමෘතය ( නිවන) දෙන්නේත් වෙයි

මේ ආදි වශයෙන් සත්වයාට දිට්ඨ ධම්මවේදනීය වශයෙන් දන් දීමේ ප්‍රතිඵල ලැබෙනු ඇත. ඒ සඳහා මනෝභාවයන් සකස් කර ගැනීම ඉතා වැදගත් වනු ඇත. ස්වභාවයෙන් ම පුහුදුන් සත්වයා ගොඩ ගසා ගැනීමට, තව තවත් රැස් කිරීමට , තව තවත් ලබා ගැනීමට ම උපන් ස්වභාවයෙන් යුක්ත වන්නේ ය. එම ආත්මාර්ථකාමී මමෝභාවයන් වෙනස් වනුයේ බුදුන් දෙසු දීමේ ආනිශංස දැක්වෙන ධර්මතාවයන් තුළිනි. ඒ අනුව ආත්ම ශක්තිය තුළින් සිතට නැගෙන ආත්මාර්ථකාමී සිතිවිලි මැඩපවත්වා, ඒවා යටපත් කොට, දානය පුරුදු පුහුණු කිරීම ලෞකික හෝ ලෝකෝත්තර දෙ අංශයට ම හේතුභූත වේ.

සත්වයා විවිධ ආභරණ පළඳිනු ඇත. විශේෂයෙන් ස්ත්‍රී පක්ෂයේ අය බහුවිද ආභරණ පළදින්නා හ. ඒ රන් ,රිදී, මිණි මුතු හා තවත් ලෝහමය ඝණ ද්‍රව්‍ය වලින් යුක්ත ඒවා ය. ඒවාට වටිනාකමක් ද ලැබෙනු ඇත. ඒවායේ ස්වභාවය නම්, නැතිවීම, සොර සතුරන් පැහැර ගැනීම, ස්වභාව ධර්මයෙන් විනාශ වීම, බියෙන් සැකයෙන් පළදින්නට සිදු වීම. නමුදු දානය නොහොත් පරිත්‍යාගය තුළින් ද සත්වයාට ආභරණයන් පැළදිය හැකි ය. එය සොරා ගැනීමට හෝ සොර සතුරන්ගෙන් කරදර වලට පත් නොවන්නකි. එනම්.

‘මේ ලෝකයෙහි දන්දීම තමා පැළඳ ගත් ආභරණයක් වැන්න. දන්දීම සතර අපායෙහි ඉපදීමත් වළකන්නේ ය. දන්දීම දෙව්ලොවට නැගෙන හිණක් වැන්න. දන්දීම නිවන් සැප සිද්ධ කරන්නා වූ මහත් සුවයෙකි.’ දන් දීම සත්වයාට බොහෝ දේ ලබාදෙනු ඇත.

තමා පැළඳගත් ආභරණය තුළින් නිතර දිස්නයක් දෙනු ඇත. හදිස්සියක් වන විට එය අලෙවිකොට හෝ මුදලක් ලැබිය හැක. වෙහෙර විහාර උදෙසා පරිත්‍යාග කිරීමට ද පුළුවන. (විසාඛා , බන්දුල මල්ලිකා ) මේ ආදි ආභරණයක් පැළැඳ සිටීම එදිනෙදා ප්‍රායෝගික ජීවිතය සෑම පැත්තකින් ම ජය ගැනීමට හේතු වන්නකි.

නමුදු ඊටත් වඩා දන්දීම තුළින් ත්‍රිවිධ ලෝකය ම ජය ගැනීමට පුළුවන් කමක් ඇත. ආභරණයක් පැළඳ සිටින්නෙකුට හිස් බවක්, පාළුවක්, අසම්පූර්ණ බවක් නොදැනෙන්නා සේ, දන් දෙන්නාට ද පාළුවක්, තනිකමක්, අසම්පූර්ණ බවක් නො දැනෙනු ඇත. ඔහු කවදාවත් අසරණ නොවනු ඇත. අතරමං නොවනු ඇත. දුක් නොවිඳිනු ඇත. එම දන් දීම තුළින් තමනට උපදින භවයක් භවයක් පාසා සැප විපාක ලැබෙනු ඇත. උපදින උපදින භවයක් භවයක් පාසා සාපිපාසා දී දුකකට පත් නොවීමට සතර අපාදී දුකකට පත් නොවීමට, දන් දෙනවා තරම් වටිනා බැබළෙන වස්තුවක් තවත් නොමැත්තේ ය.

“ඉදං මේ දානං ආසවක්ඛයා වහං හෝතු”

මාගේ මේ දානය කෙලෙසුන් නැසීම උදෙසා වේවා...

දානය කෙලෙස් නැසීමට උපකාරි වන්නේ ය.