Print this Article


ස්කන්ධ විදර්ශනාව - වියපත් දසුනක උරුමය

ස්කන්ධ විදර්ශනාව:

වියපත් දසුනක උරුමය

සතිපට්ඨාන භාවනා ක්‍රමයෙහි භාවනා ක්‍රම පිළිබඳ ව මුල සිට ම සඳහන් කළා. සතිපට්ඨාන භාවනාවෙන් සිත පිරිසුදු කර ගැනීම ප්‍රධාන ආනිසංසය වෙයි. ඇඬීම, වැළපීම දුක් සංසිඳුවා ගන්නට පුළුවන්. එසේම කායික දුක, මානසික දුක සංසිඳුවා ගැනීමට, නිර්වාණ මාර්ගයට බැස ගැනීමට, නිර්වාණය අවබෝධයට, සතර සතිපට්ඨාන භාවනාව ඉවහල් වෙයි.

සිහි නුවණින් කටයුතු කිරීම සතිපට්ඨාන භාවනාව වෙයි. ඇවිදීම, සිට ගැනීම , වාඩි ව සිටීම සහ සැතපීම ආදී සතර ඉරියව්වෙහි ම සිහි නුවණින් වාසය කිරීම සතිපට්ඨානය වෙයි. එසේනම්, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාවේ නීවරණ පහ පිළිබඳව , ඒවා හට ගන්නා ආකාරය, නැතිවන ආකාරය පිළිබඳව ද පෙර ලිපි මඟින් සඳහන් වුණා.

අද සඳහන් කරන්නේ ධම්මානුපස්සනාවේ ස්කන්ධ විදර්ශනාව පිළිබඳව යි. ස්කන්ධ යනු ‘ගොඩ’ යන අදහස යි. අපේ ශරීරයේ ගොඩවල් පහක් තිබෙනවා. එය පංච උපාදානස්ඛන්ධය නම් වෙයි. මෙම නාමයට ඇතුළත් වන්නේ අල්ලා ගැනීමේ කොටස් පහකි. රූප උපාදානස්ඛන්ධය, වේදනා උපාදානස්ඛන්ධය, සංඥා උපාදානස්ඛන්ධය, සංඛාර උපාදානස්ඛන්ධය, විඤ්ඤාණ උපාදානස්ඛන්ධය යනුවෙන් කොටස් පහකට බෙදා දක්වයි. ඒ පංච උපාදානස්ඛන්ධය සිහි නුවණින් යුතුව මෙනෙහි කළ යුතු යි. පංච උපාදානස්ඛන්ධය ගැන දැනීම වැඩිකර ගත යුතු යි.

මෙම කියමන අනුන් ගැන නො වෙයි, තම ‘ශරීර කූඩුව’ ගැනම යි. ස්කන්ධ ගැන මනා වැටහීමක් තිබිය යුතු යි. ශරීර කූඩුවට තවත් නමක් වන්නේ ‘ස්කන්ධ’ නාමය යි. භාවනා කරන යෝගියා නැවත ද රූපස්ඛන්ධ ආදී පංචවිධ උපාදානස්ඛන්ධයන් කෙරෙහි ධම්මානුපස්සීව නොහොත් ධර්මයට අනුව බලමින් වාසය කරනවා. ඒ පංචඋපාදානස්ඛන්ධයන් කෙරෙහි ස්කන්ධානුකූලව තමන්ගේ සිත යොමුකරගෙන බැලිය යුතු යි. රූපය පිළිබඳ ව, රූපය හට ගැනීම, රූපය නැතිවීම ආදී ක්‍රම බැලිය යුතු යි. එසේම ඉතිරි කොටස් හතරේ ද අධ්‍යාත්මිකව හෝ බාහිර ව පංචස්ඛන්ධයන් පිළිබඳ ව හොඳට නුවණින් බලමින් වාසය කළ යුතු යි. අනුන් පිළිබඳ ව පංචස්ඛන්ධයන් කෙරෙහි හෝ ඒ ස්කන්ධ ධර්මයන් අනුව බලමින් වාසය කළ යුතු යි.

තමන් පිළිබඳවත් අනුන් පිළිබඳවත් පංච උපාදානස්ඛන්ධයන් කෙරෙහි සිත පිහිටුවා ගැනීමෙන් වාසය කිරීම ස්කන්ධ භාවනාව යි. ඇතිවීම, නැතිවීම අනුව බලමින් වාසය කිරීම ස්කන්ධ විදර්ශනා භාවනාව නම් වෙයි. එය සාමාන්‍ය දෙයක් ලෙස නො සලකා ගැඹුරු කොටසක් බව තේරුම් ගත යුතු යි. තමන්ගේ ශරීරය ගැන වුව ද මෙලෙස සඳහන් කරන්නේ බොහොම ගැඹුරු කොටසක් ගැන යි. භාවනාවට යොමු වූ යෝගීන් පංචස්ඛන්ධය පිළිබඳ ව සිහියෙන් වාසය කළ යුතු යි. ඒ සිහිය මතු මත්තෙහි තිබෙන්නේ නුවණ යි. එසේනම්, සිහිය සහ නුවණ එකට යෙදුණු විට ස්කන්ධ පිළිබඳ ව මනා වැටහීමක් ඇති කරගන්න පුළුවන් වෙයි.

තණ්හාවෙන්, දෘෂ්ඨීන්ගෙන් තොරව වාසය කළ යුතු යි. පංචස්ඛන්ධය පිළිබඳ ව මම, මාගේ යන හැඟීම ඉවත් කර ගැනීමට නුවණ පහළ කරගෙන මෙනෙහි කළ යුතු යි. මගේ ශරීරය යනුවෙන් අප නිබඳව ම භාවිත කළ ද, ඒ දෙස සිහි නුවණින් බුදු දහමට අනුකූලව බැලූ විට ‘මම, මගේ’ යනුවෙන් කිසිවක් ඉතිරි වන්නේ නැත. කෙනෙක් මිය ගිය විට ශරීරයේ මුකුත් ම ඉතිරියක් නැහැ. හුස්ම ටික ගිය සැනින් දවසින් දෙකෙන් පළාතෙ ම ඉන්නට බැරි තරමට දුර්ගන්ධය හමනවා. එලෙස කුණුවන ශරීරයක්, අපට ලැබී තිබෙන්නේ. ඒ ශරීරයේ කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී වශයෙන් කොටස් තිස් දෙකක් තිබෙන බව ඔබ දන්නවා. මේවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනුවෙන් සතර මහා ධාතූන්ගෙන් සමන්විත යි. කෙස් ගසක් ගත් විට සතර මහා ධාතූන්ගෙන් සමන්විත යි. එසේනම්, සෑම දෙයක ම සතර මහා ධාතූන්ගෙන් යුක්ත යි. සිරුරේ ඇස, ඇටකටු ගත්ත ද එලෙස ම යි.

එසේනම්, පංච උපාදානස්ඛන්ධය පිළිබඳ ව හොඳ වැටහීමකින් කටයුතු කරද්දී තමන්ට හොඳ දැනීමක් ඇති කර ගත යුතු යි. මුලින්ම ස්කන්ධ යනු ගොඩක් බව වටහා ගත යුතු යි. ශරීරයට තවත් නමක් වන්නේ ස්කන්ධ යි. ගොඩවල් පහක් නිසා පංචඋපාදානස්ඛන්ධය යනුවෙන් ව්‍යවහාර වෙයි.

ශරීරය හෙවත් පංචඋපාදානස්ඛන්ධය අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් හොඳින් සැලකිය යුතු යි. මුලින් ම කොටස් වලට නොගොස් මාතෘකාවට පමණක් අවස්ථාව සලසා මෙනෙහි කළ යුතු යි. මේ ශරීරය හෙවත් පංචඋපදානස්ඛන්ධය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි යනුවෙන් හොඳින් ම සිතන්න. මේ ශරීරය හෙවත් පංචඋපාදානස්ඛන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය, දහස්වර මෙනෙහි කළ යුතු යි.

වියපත් මුතුන් මිත්තන් දෙස බැලුවොත්, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ හොඳින් වටහා ගත හැකි යි. දිරාපත්වන නිවහනක්, කැඩී බිඳී ගිය නගර ආදියෙහි ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වටහා ගන්න පහසු යි. හොඳට තිබුණු දේ නොබෝ දිනකින් වෙනස් ව යයි. උපන්නොත් ජීවත් ව මරණයට පත් වෙයි. මේ ගැන හොඳ වැටහීමකින් නුවණ දියුණු කරමින් කටයුතු කළොත්, පංච උපාදානස්ඛන්ධය පිළිබඳ ව මනා වැටහීමකින් කටයුතු කරන්න පුළුවන්.

බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා, පමණක් පංච උපාදානස්ඛන්ධය නිවැරැදිව අවබෝධ කළා. ආර්යන් වහන්සේලාට ඇත්තේ පංචස්ඛන්ධය පමණ යි. ඒ උතුමන්ට උපාදාන කොටස නැහැ. ඒ හැර සැමට ම ඇත්තේ පංචඋපාදානස්ඛන්ධය යි. එනම්, ඇලීමක් ඇති බව යි. ඒ නිසා මේ කොටසින් සඳහන් කරන්නට යෙදුණු භාවනා වගන්තිය නමස්කාරය, ඉතිපිසෝ, ස්වාක්ඛාත, සුපටිපන්න ගාථා සජ්ඣායනා කර, වාඩි වී, උකුල මත දෑත තබාගෙන, දෑස වසාගෙන හෝ අඩක් විවර කරගෙන, කිසිවක් නොසිතා, තමන්ගේ ශරීරයේ ඉහළ සිට පහළට ද, පහළ සිට ඉහළට ද හොඳින් බලන්න. තමන්ගේ ද අනුන්ගේ ද, ශරීර දෙස එලෙස නුවණින් බැලිය යුතු යි. මුතුන් මිත්තන් දෙස බලා, ඔවුන්ගේ කෙස් පැසී, දත් වැටී, ඇඟ රැළි වැටී, කුදු ව හැරමිටයක් රැගෙන යන වයෝවෘද්ධ දසුන දැක තමා ද මෙවැනි තත්ත්වයට පත් වන බව සිතන්න. මේ කාරණය වටහා ගන්න පුළුවන් නම්, අනිත්‍ය , දුක්ඛ, අනාත්ම තේරුම් බේරුම් කරගන්න පහසුවක් වෙයි. මුතුන් මිත්තෝ ද මා ද මරණය කරා යන බව සිතන්න. එසේනම්, ස්ථිර වශයෙන් කාටවත් කලක් ඉන්නට බැරි බව හොඳින් දැනගෙන ශරීරය හෙවත් පංචඋපාදානස්ඛන්ධය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා පංචඋපාදානස්ඛන්ධය හෙවත් මේ ශරීරය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් හැම ඉරියව්වක දී ම සිය දහස්වර මෙනෙහි කළ යුතු යි. බස් රියේ දී, කඩයට යද්දී, රැකියාවට යන විට දී, නින්දට යන තුරා මේ කරුණු පහ එක්තැන් කර මෙනෙහි කළ හැකි යි. මේ ශරීරය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා මේ ශරීරය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිතුවත් ප්‍රමාණවත්. වැඩි විස්තර මතකයේ තබා ගන්න අපහසු නම්, මේ ශරීරය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සිතීම ද ප්‍රමාණවත් වෙයි. අනිත්‍යය යි යනුවෙන් නිකරුණේ සිතුවත් පුදුමාකාර පිනක් අත්වන බව ලොවුතුරු තථාගත ධර්මයේ සඳහන් වෙනවා.

සතිපට්ඨාන සූත්‍රය නිවන් මාර්ගය යි. සිහි නුවණින් භාවනා කරන නිසා එයට විශුද්ධි මාර්ගය, නිවන් මාර්ගය යනුවෙන් සඳහන් කරනවා. මේවා හොඳට තමන් දියුණු තියුණු කරගෙන ශීල, සමාධි, ප්‍රඥා ගුණයන් ද දියුණුවෙන් ලොවුතුරු දහම කුමක්දැ’යි තමන්ට ම වටහා ගත හැකි යි. ස්කන්ධ විදර්ශනාව හොඳින් වටහා ගත හැකි යි. ස්කන්ධ පහ ඇතුළාන්තය මෙනෙහි කිරීමට පෙර ම පංචඋපාදානස්ඛන්ධය හෙවත් මේ ශරීරය යනුවෙන් හොඳින් වටහා තේරුම් බේරුම් කරගත යුතු යි. හොඳින් නුවණ යොදවා මේ ශරීරයේ තත්ත්වය වටහා ගත යුතු යි. උපන් පුද්ගලයා ජීවත් ව මරණයට පත් වෙනවා, උපන් පුද්ගලයා ජීවත් වෙනවා, ලෙඩ වෙනවා, දුක් විඳිනවා, රෝහල් ගත වෙනවා, සිහි නැති වෙනවා, මරණයට පත් වෙනවා යනුවෙන් ද කල්පනා කළ යුතු යි. අසවල් පුද්ගලයාට පමණක් නො වෙයි, මට ද එලෙස ම බව නිබඳව ම සිතිය යුතු යි. එවිට භාවනා ක්‍රමය සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි යි.